හසරැලි වැස්සේ -50

“මට අනෝමා ආයේ ලබා ගන්න කිසිම දවසක උවමනාවක් තිබුණේ නෑ.එයාව අමතක කරලා වෙන කෙනෙකුට ළං වෙන්න හිත හදා ගන්න අමාරු නිසා තමයි මම කසාද නොබැඳ හිටියේ..”

සුගත් අංකල් පැවසුවේ ය.ඒ අයියාත් මමත් ඔහු දකින්නට ගිය නිසා ය.ඔහු අත වරදක් නැති බව මම තරයේම විශ්වාස කළ නිසා මට සුගත් අංකල් දකින්නට උවමනා විණි.අයියා ඒ ගමන යෑම ප්‍රතික්ෂේප නොකළේ ය.

“මම ඇත්තටම වරදක් කළා.සීයා අකමැති වුණාට මට ඔයාලගේ අම්මව කසාද බඳින්න තිබුණා.ඒත් එයාටත් එයාගෙ තාත්තව අතැර ගන්න ඕන වුණේ නෑ.”

බොහෝ අවස්ථාවල බොහෝ දෙනා තෝරා ගන්නේ තමන්ගේ දෙමාපියන් ය.ආදරය මවුපිය ස්නේහයට පැරදෙන තැන් ඕනෑ තරම් ය.අම්මා ද එය එසේ සිතන්නට ඇත.නමුත් ඇය තීරණයෙන් පසු ඇගෙන්ම පලිගැනීම නිසා පීඩාවට පත්වූයේ අප ය.

“මට පුතාලා වෙනුවෙන් කරන්න දෙයක් තියෙනවද?”

සුගත් අංකල් ඇසුවේ ය.නමුත් කරන්නට දෙයක් ද ඉතිරිව නැත.ඔහු අම්මා සමඟ හෘදයාංගම කතාබහ කළහොත් අම්මාගේ මුදු මෙලෙක් ස්වභාවය මතු වෙතැයි මම අනුමාන කළෙමි.

“මේ චිත්‍රපටයක්වත් නවකතාවක් නෙමෙයිනේ පුතා.ඇත්ත ජීවිතේ.එදා පුතා ඇක්සිඩන්ට් වෙච්ච වෙලාවේ අහම්බෙකින් මුණ ගැහුණා මිසක් මට අම්මා මුණගැහෙන්න ඇත්තටම උවමනාවක් තිබුණේ නෑ.ඒක එයාටවත් මටවත් යහපත් දෙයක් වෙයි කියලා මම හිතන්නෙත් නෑ..”

ඔවුන් වෙන් වන්නට ඇත්තේ සමුගැනීමෙන් ඉනික්බිතිව ය.නැවත මුණ ගැසී වේදනා සහ මතක ගැන කතාබහ කිරීම ඵලරහිත වේයැයි මම ද සිතීමි.අයියා ඒ අදහස ස්ථිර කරේ නැවත එන අතරමඟ ය.

“සමහරුන්ගේ සමහර දේවල් කවදාවත් වෙනස් කරන්න බෑ.අම්මා හරි සැහැල්ලුවෙන් හිටපු කෙනෙක් කියලා මම්මා,සුගත් අංකල් කිව්වට අපි එහෙම අම්මා කෙනෙක් දැකලත් නෑ නේ සූකිරි.”

අයියා එසේ පැවසී ය.එය තරමක ගැඹුරක් ඇති කතාවකි.විවාහය අම්මා වෙනස් කර ඇත.අප උපන් දා සිට දුටුවේ ඒ අම්මා වය.ඒ ඇගේ ස්වරූපය ස්වරූපයෙහි සිත හදා ගැනීම මිස ඇගේ අතීතය සොයන්නට යාම අම්මාටවත් අපටවත් යහපතක් නො කරන බව අපි තේරුම් ගතිමු.

“අතීතයේ ජීවත්වෙන එකෙන් යහපතක් වෙන්නේ නෑ..”

මා එසේ මුමුණා ගනිද්දී අයියා මදෙස බැලුවේ සිනාමුසු දෑසිනි.ඒ හසරැල්ල පැමිණ මගේ ඇස්වල වදිද්දී ඔහු අදහස් කරන්නේ කුමක්දැයි මට වැටහිණි.

“මාත් දැන් ඒව හිතන්නෑ අයියේ..”

එසේ කීවාට මට අයියාගෙන් අසන්නට දෙයක් තිබිණ.ඔහු බොහෝ කල් රැක ගත් මිත්‍රත්වයක් තිබේ.එය මා නිසා අහිමිව ගියා නම් ඒ ගැන මට සැබෑ දුකක් ඇත.

“දැන් දෙනෙත් අයියා ඔයා එක්ක කතා කරන්නෙම නැද්ද?”

අයියා ඒ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට මඳ වෙලාවක් ගත කළේ ය.අනතුරුව මට දුන්නේ ඇසූ ප්‍රශ්නයට පිළිතුර නොවේ.

“ජීවිතේ කියන්නේ අපි ලඟ ඉන්න හැමෝම හැමදාම අපිත් එක්කම ඉන්න එක නෙමෙයිනෙ නේද?”

කුඩා දරුවන් කාලයේ පටන් පැවැති පිරිසුදු මිත්‍රත්වයක් මා නිසා විනාශව ගිය බව මට ක්ෂණික සිතුවිල්ලකින් සිතිණ.අම්මා හෝ මම්මා හදන රස කෑම පවා පසුවදා පාසල් ගෙනයන්නට ඔතාගත් අයියා මගේ දෙනෙත් මත ඇඳෙන්නට පටන් ගත්තේ ය.පාඩම් කරන්නට යැයි එකතුවී ගේ සෙලවී යනතුරු හිනැහෙන මිතුරන් තුන්කට්ටුවකගේ සුන්දර මිත්‍රත්වය අප ඉරිසියා කළ තරමේ එකකි.ඒ මිත්‍රත්වයට හානි පැමිණුනේ මා නිසා යන හැඟීම මහත් වරදකාරී හැඟීමකි.

“මම නිසා ඔයාලා තරහ වෙලා ඉන්න එපා අයියෙ..”

අයියා රිය පදවන අතරම මගේ කෙහෙරැළි අවුල් කළේ ය.ඔහු දුකින් සිටින බවක් නොහැඟුණ ද මට ඇත්තේ වේදනාවකි.

“මට ඔයා වෙනුවෙන් මුළු ලෝකෙම එක තරහ වෙන්න පුළුවන්.ඔයාගෙ හිතට දුකක් එනවා නම් ඒ වෙනුවෙන් මං මට කරන්න පුළුවන් ඕන දෙයක් කරනවා..”

මගේ ජීවිතයේ සැබෑ සිනාව මගේ අයියා බව මට ඒ මොහොතේ සිතිණ.අපට අප හිඳීමම මොනතරම් භාග්‍යයක්දැයි මම සතුටින් සිතන්නට ගතිමි.සිනාවෙන්නටත් සතුටින් සිටින්නටත් හේතු සොයමින් හෝ හැඬීම වළකා ගත යුතු බව මට සිතුණේ ඒ මොහොතේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles