ඔයාගේ දරුවත් Teenager කෙනෙක්ද? එහෙනම් ඔයා මේ දේවල් කරන්න එපා.

අම්මා කෙනෙක් වෙනවා කියන්නෙ ලේසි පාසු දෙයක් නෙවෙයිනේ. ලොකු වගකීමක්. වගකීම් සහගත විශාල කාල පරාසයක්.

අපි ගොඩක් වෙලාවට හිතනවනේ දරුවන්ව හොඳටම බලාගන්න ඕන පුංචි කාලේ කියල. ඒත් ඇත්තටම දරුවන්ට අම්මලගේ වැඩි අවධානය, ආරක්ෂාව සහ ආදරය ලැබෙන්න ඕන විශේෂයෙන්ම එයාල ළමා කාලයේ ඉඳල තරුන කාලෙට යද්දි.

මොකද්ද මේ සංක්‍රාන්ති සමයෙදී සිදුවන හෝමෝන වල ක්‍රියාකාරිත්වය නිසා පොඩ්ඩො ලෝකෙ දිහා මිනිස්සු දිහා විතරක් නෙවෙයි තමන් දිහාත් වෙනස් විදියට බලන්න පුරුදු වෙනවා.

ඉතින් ඒ කාලෙදි දරුවන්ට හරි පාර හරියට පෙන්නල දෙන්න අම්මලට ලොකු වගකීමක් දරන්න වෙනවා.

දරුවන්ට ඕන දෙයක් කරගන්න කියල අත ඇරල දාන්න අපිට පුලුවන් කමක් නැනෙ.

ඉතින් අපි අද ලිපියෙන් කතා කරමු , දරුවන්ව එයාලගේ Teenage කාලයේදි අම්මල විසින් කල යුතු සහ නොකල යුතු දේවල් මොනවද කියලා.

Over controlling වෙන්න එපා!

මේන්න මේක හරිම වැදගත්.දරුවන්ගේ මේ Teenage කාලයේදි අම්මල කරන නරක දෙයක් තමයි දරුවන්ව ඕනවට වඩා ආංඩු මට්ටු කරන්න හදන එක. කෝටු පාර දෙන්නෙ නැතුව ලමයි හදන්න බෑ කිව්වට මේ කාලෙ වෙනස්, ලෝකෙ වෙනස්. ඉතින් ළමයින්ව බලන විදිය, එයාල කරන කියන දේවල් වලට ප්‍රති උත්තර දෙන එකත් කාලය සහ ලෝකය එක්ක අප්ඩේට් වෙන්නම ඕන.

පමණට වඩා පුංචි දේටත් තහංචි දාන එකෙන් වෙන්නෙ දරුවො ඒ දේවල් හොරෙන් හරි කරන්න බලන එක. එහෙමත් නැත්තම් මානසිකව පීඩාවට පත් වන එක. ඒක ඔක්කොටම වඩා ප්‍රශ්නයක්.

ඒ වෙනුවට ඔයා කරන්න ඕන දේ තමයි පුංචි නීති මාලාවක් ඇතුලෙ වුනත් නිදහසේ හැදෙන්න දරුවන්ට ඉඩ දෙන එක. ඒ ඔස්සේ දරුවන්ට පුලුවන් වෙයි බාහිරින් තියන බලවේග, ප්‍රශ්න සහ බාධක ගැන නිදහස් ඒත් ආරක්ෂිත වට පිටාවක ඉඳල අඳුරගන්න සහ ඉගෙන ගන්න.

කතා බහ අඩු කරන්න එපා!

මේ කාලෙදි දරුවො සෑහෙන උත්සාහ දරනවනෙ බොහොම නිහඬව හැංගිල වගේ ඉන්න. හැබැයි ඒකෙන් අදහස් කෙරෙන්නෙ නෑ ඔයා අම්මා කෙනෙක් විදියට දරුවත් එක්ක තියාගත යුතු කතා බහ අඩු කරන්න ඕන කියල.

ඵලදායි සන්නිවේදනය දෙමාපිය-යොවුන් දරු සබඳතාවය ශක්තිමක් කරන දෙයක් බව තමයි කියවෙන්නෙ.

හැම තිස්සෙම උත්සහ කරන්න එයාලා කියන්න හදන දේ අහගෙන ඉන්න.අවංක බොහොම විවෘත සන්නිවේදන ක්‍රමයක් ඔස්සේ ඔයාට පුලුවන් කම ලැබේවි එයාව තේරුම් ගන්න. ඒ වගේම එයාටත් අවස්තාව ලැබේවි ඔයා අම්මා කෙනෙක් විදියට කරන, දරන වගකීම ගැන තේරුම් ගන්න.

තව කෙනෙක් එක්ක දරුවෙක්ව සසඳන්නම එපා!

මේක අපි අතින් නිතරම වන වරදක්. “ඔයාට වඩා එයාට ලකුණු වැඩියි, ඔයා වගේ නෙවි එයා ලස්සනයි” වගේ සැසඳීම් දරුවන්ට කරන්නම එපා. ඔයා නොහිතන තරම් ජීවිත කාලයක් දුර ඒ සැසඳිම් යන්න පුලුවන්.

හැම දරුවෙක්ම විශේෂයි. ඒ දරුවො මේ ලෝකෙ වෙනස් කරන්න ආව අය. අපේ අනාගතේ තමයි එයාලා. ඉතින් තව කෙනෙක් එක්ක එයාව සසඳන්න එපා. මොකද එයා වගේ මේ ලෝකෙටම ඉන්නෙ එක්කෙනයි.

දරුවන්ටත් පෞද්ගලිකත්වයක් තියෙනවා

අන්න ඒකත් අමතක කරන්න එපා. ඔයා අම්මා උනාට තරුණ දරුවෙක්ගේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගහන්න ඔයාට සදාචාරාත්මක අයිතියක් නෑ කියන එක අමතක කරන්න එපා.

දරුවන්ටත් එයාලටම කියල වෙන්වුණ ප්‍රශ්න තියෙනව. ඒ සමහර ප්‍රශ්නවලට උත්තර දෙන්න අපිට බෑ. එයාලා විසින්ම ඒවට උත්තර හොයාගන්න ඕන වෙනවා.

ඒ නිසා දරුවන්ව රැක බලා ගන්න හැබැයි එයාගේ පෞද්ගලිකත්වය අගය කරන්න.

Stereotypical වෙන්න එපා!

හැම දරුවම එකම වයසෙදි එකම දේ කරන්නෙ නෑ. මම කරෙත් නෑ ඔයා එහෙම කරෙත් නෑනෙ. ඉතින් ඇයි අපි අපේ දරුවන්ට එහෙම වෙන්න කියන්නෙ.

“ ඒ ළමය ෆස්ට් ශයිම කැම්පස් ගියා, ඔයාට තමයි බැරි, තව අවුරුදු හයකින් එයා දොස්තර කෙනෙක්, ඔයාට එයාගෙ ගෙදර වැඩකාරකම්වලට තමයි යන්න වෙන්නෙ” වගේ සිතුවිලි කියන්න හිතෙනවනම් අනේ ප්ලීස් කටවහගන්න.

ළමයි හැමෝම එක වගේ නෑ. එකම දේ කරන්නෙත් නැ. එකම කාලෙ කරන්නෙත් නෑ. ඒ නිසා අල්ලපු ගෙදර ළමය කරන දේම අපේ දරුවත් කරන්න ඕන නෑ!

ලෙක්චර්ස් නම් අරහං!

ඔයා ආසාවෙන් අහන් ඉඳියද ඔයාගේ අම්මගෙ ලෙක්චර්ස්? නෑනෙ. එහෙනම් ඒ ධර්මෙ ඔයාගේ දරුවටත් පොදුයි. ඒක අමතක කරන්න එපා.

වරදක් කලොත් ඒ මොහොතේ ඒ වැරැද්ද පහදල දෙන්න. ආයෙ වැරැද්දක් වෙන හැම වෙලාවෙම අරකම ඇදල ගන්න එපා.

ශිෂ්‍යත්වෙත් ෆේල් උනානෙ කියල ඕලෙවල් කරද්දි කියල වැඩක් නෑනෙ නේද?

එයාටත් එයාගේ පැත්තෙන් උත්තර දෙන්න ඉඩ දෙන්න. ගෙදරට හිට්ලර් වෙන්න නම් එපා ඔන්න.

ඒ නිසා ළමයින්ට ලෙක්චර්ස් දෙන්න කලින් මේ ආටිකල් එකෙන් මං දෙන ලෙක්චර් එක හොඳට මතක තියාගන්නකො.

Judge කරන්න මේක උසාවිය නෙවෙයි!

දරුවො කරන හැම දෙයක් දිහාම සැකෙන් බලන්න එපා, ඒවට නිකන් දෙපිට කැපෙන දේවල් කියන්න එපා. වැරදි තීරණයක් නම් කියල දෙන එක වෙනම කාරණාවක්. ඒත් ඕනවට වඩා දරුවන්ව Judge කරන්න එයාලගේ තීරණ Judge කරන්න යන්න එපා.

එයාලටම ඉඩ දෙන්න ඉගෙන ගන්න තේරුම් ගන්න තමන් කරන දේකින් ලැබෙන ප්‍රතිපල මොනවගේද කියල. ඒක තමයි හොඳම පාඩම.

ඕනවට වඩා පරිස්සම්

මේක නම් ඉතින් නැති ගෙදරක් නෑනෙ ලංකාවෙ! විශේෂයෙන්ම අම්මල හරි ආසයි මේ ලොකු ළමයිව පවා උකුලෙ දාන් නලවන්න. ආදරේ බව ඇත්ත, ඒත් අමතක කරන්න එපා දරුවො ටික ටික ලොකු වෙනව, එයාලා තීන්දු තීරණ ගන්න කටයුතු කරනවා.

එයාලට අදහස් තියෙනවා.

ඒ දේවල් වලට අපි ඉඩක් දෙන්න ඕන. එයාලගෙ අදහස් වලට හඬක් දෙන්න ඕන. ස්වාධීනත්වය කියල දෙයක් මේ ලෝකෙ තියෙන බව දරුවො දැනගන්න ඕන.

“පරිස්සම් වෙන්න ඕන දේවල් කියල දුන්නට ඔයාලගෙ පරිස්සම ඔයාලා බලාගන්න ඕන” කියන වගකීම පොඩි ප්‍රමාණෙකින් හරි දරන්න ඔයාගෙ දරුවන්ට ඉඩ දෙන්න.

මොකද නොහිතපු වෙලාවක අපිට යන්න උනත් එයාට පුලුවන් වෙන්න ඕන කකුල් දෙකෙන් හිටගෙන හැමදේටම තනියෙන් මූණ දෙන්න.

ඒකට අත්තිවාරම වැටෙන්න ඕන ගෙදරින්.

දරුවො කියන්නෙ ගෙදරක ආලෝකෙ. දෙමව්පියන්ගෙ වටිනම වස්තුව. ඒත් ඒ ආලෝකෙ නැති කරගන්න අඩියක් ඉස්සරහට තියන්න එපා.

දරුවන්ට හොඳම අනාගතේ හදල දෙන්න අත්තිවාරම දාන්න ඕන ඔයා. ආදරය, රැකවරණය එක්කම නිදහස, ඉඩකඩ සහ ගෞරවය දරුවන්ටත් හිමිවිය යුතු බව අමතක කරන්නම එපා.

Related Articles

Don't Miss


Latest Articles