සුමිත්‍රා රාහුබද්ධ මහත්මියගේ අගපිපි මල් නවකතාව ඔබ කියවලා තියනවද? ඒ පොත ගැන දන්නා අය ඒ ඇසුරෙන් කළ ටෙලි නාට්‍යයත් නරඹලා ඇති.ඒ ටෙලි ටෙලිනාට්‍යයේ බොහොම ජනප්‍රිය වුණු තේමා ගීතයේ මෙහෙම පද පේලියක් තියනවා.
“කාලයක් නැති තාලයක් නැති
විජිතයේ කටු ඔටුනු හැර යමි”
ආදරය අහිමි ලෝකයක ගැහැනියක රැඳිය යුතුද? ඇත්තටම පිළිතුර වන්නේ නැහැ කියන එකයි.දරිද්‍රතාවය දරාගෙන සැමියා සමඟ ධෛර්යමත් ලෙස ජීවත් වෙන එක මට හරිම කැමැත්තකින් කරන්න තිබුණා.මගේ අම්මා වගේම ස්නේහයක් මට දුන්නු නුවර අම්මාව බලා ගනිද්දී විඳින්නට වූ දුක් ගැහැට මට කොහොමහරි හරි දරා ගන්න තිබුණා.ඒත් ආදරයක් නැති, ආදරේ තාලයක් නොදන්නා මිනිසෙක් එක්ක ජීවිතය ගැහැනියෙකුට පහසු වෙයිද?
තිබුණු අඟහිඟකම් නිසාම මට සෙරෙප්පු කුට්ටම් තිබුණේ එකම එකයි.ඒ බාගෙට කැඩුණු සෙරෙප්පු දෙකත් දාගෙන නුවර වීදිවල වේගයෙන් දුවගෙන යනකොට මම ඇදගෙන වැටුණු දවස් ඕනෑතරම්.රිදෙන කකුල් අරගෙන ගෙදර එන මට ඊට වඩා හිත රිදෙන්නේ ඊටපස්සේ.
“අසංක අනේ මගේ කකුලේ බාම් ටිකක් ගානවද?”
මං අහන්නෙ මට කොහොමත් පාදයේ ආබාධයක් තිබුණු නිසා.ඒ වේදනාවට වැටුණු වේදනාවත් එකතු වුණාම කැක්කුම එන්නේ දෙගුණ තෙගුණ වෙලා.දරාගෙන ඉන්න පුදුමාකාර අමාරුයි.ඉතින් මගේ කකුලේ අසංක වේදනානාශක ගාලා පිරිමදිනකම් මම බලාගෙන ඉන්නවා.
“තමන්ගේ කකුලේ තමන්ට බාම් ටිකක් ගාගන්න බැරිද අනුරාධා?”
එහෙම අහනකොට අවුරුදු විසි ගාණක කෙල්ලෙකුට මොනවා හිතෙන්න ඇති කියලා ඔබට හිතා ගන්න පුලුවන්ද? ඇත්තටම මොනවද නොහිතුණේ? ගැහැනියෙකුට ඕනෑම දෙයක් දරා ගන්න පුලුවන්.තමන්ගේ ආදර කතාව හෝ විවාහය ඇතුළේ ප්‍රතික්ෂේප වීම සහ නොසලකා හැරීමට ලක් වීම තරම් මරණීය වේදනාවක් කොහෙවත් නැහැ.
වේදනාව නිමාවක් නැති වුණු පාදයේ ආබාධයට විසඳුමක් කරගෙන ආවේ මගේ තාත්තා.ඔහු හොඳින් හිඳ ගත්තු ආයුර්වේද තෙලක් අරගෙන ඇවිල්ලා මගේ කකුලේ ආලේප කරේ මාව බලන්න ආව දවසක.
“වෙද මහත්තුරු කියන්නේ තෙල් හොඳට කකුලට උරාගන්න තදට කකුලේ ගාන්න කියලා.”
තාත්තා එහෙම කිය කියා කකුලේ තෙල් ගානවා.මේ ලෝකයේ මට ආදරය කරන එකම පිරිමියා මගේ තාත්තා විතරයි කියන හදිසි සිතුවිල්ල මාව මහා වේදනාවකට පත් කරා.මං වෙනුවෙන් තාත්තා ඉන්නවා! තාත්තා වගේ මට ආදරේ කරන සැමියෙක් ලබා ගන්න මට පිනක් නැතුව ගියා.එහෙම සිතුවිලි හිතට ආවේ එකම වෙලාවක.තාත්තා ඒ තෙල් ගාපු වෙලාව පුරාම මට ඇඬුණු බව මට මතකයි.
ආදරය අහිමි වූ ලෝකයක ජීවත් වෙන ගැහැනියකට වෙන ආදරයක් හොයා ගැනීම සරල සහ එකම විසඳුම කියලා බොහෝ දෙනෙක් කියන්නේ.අනිත් කාරණාව ලිංගික සතුට කියන දේ මට ලැබුණේම නැහැ.අනියම් සම්බන්ධතාවයක් වෙනුවෙන් පාලමක් හදන්න ඒ කාරණා දෙකම හොඳටම ප්‍රමාණවත්.ඒත් මම එතැනට වැටුණේ නෑ.ලිංගිකත්වය නැති වී ගියාම කවුරු හෝ ළං කරගෙන ඒ අවශ්‍යතාවය සපුරා ගන්න ගෑනු පිරිමි කවුරුත් උත්සාහ කරන්න පුලුවන්.ඒ ශාරීරික අවශ්‍යතාවයක්.ඒත් මට ඒකට උවමනාවක් තිබුණේ නෑ.
මෙහෙම හිතන්න!!
රසම රස අයිස් ක්‍රීම් කියලා ජාතියක් මේ ලෝකේ තියන බව දැන ගත්තට පස්සේ තමයි පුංචි උන්ට අයිස් ක්‍රීම් ඕනෑ වෙන්නේ.බිම පෙරළි පෙරළි අයිස් ක්‍රීම් ඉල්ලන්නේ.කවදාවත් ඒ රහ නොදැනුණු පොඩ්ඩෝ කිසිම කරදරයක් නැතුව අයිස්ක්‍රීම් වාහන ගාවින් අරන් යන්න පුලුවන්.
මම ඉතා යහපත් ගැහැනියක බවට ආත්ම වර්ණනා කර ගන්න මට අවශ්‍යතාවයක් නැහැ.සරලවම මට වෙනත් සම්බන්ධතාවයක් අවශ්‍ය නොවුණු කාරණාව අන්න ඒක.මම දන්නේ නෑ එහි රසයක්.නොලැබුණු ඉඳහිට ලැබුණු රසක් පස්සේ හති හලාගෙන දුවන්න මට ඕනෑකමක් තිබුණේ නෑ.
හැබැයි ආදරය නැති ලෝකයක තනිවීම කියන දරුණු දඬුවම විවිධ වේශයෙන්ගෙන් මාව හොයාගෙන ආවා.ඒ තනිකම ගැන මට හොඳටම දැනුණේ ඩෙංගු උණට බඳුන් වූ මොහොතකදී.