හසරැලි වැස්සේ -51

“ඔයා ඉක්මනින් හිත හදා ගත්තු එක ගැනනම් මාරම සතුටක් තියෙන්නෙ.මං දෙනෙත්ව ෆේස්බුක් එකෙනුත් බ්ලොක් කරා..ආයේ මට ඒ මිනිහව බලන්නවත් ඕන නෑ..”

නැවත උසස් පෙළ විභාගයට සැරසෙමින් මගෙන් උදව් ගන්නට අපේ නිවසට එන යෙත්මි පැවසුවේ කෝපය මුසු කටහඬකිනි.මම කිසිත් නොකියා දෙතොල් මත අඩ සිනාවක් පැළඳ ගත්තෙමි.

“ඔයාගේ අත බලන්නකො.කැඩුණාට දැන් හොඳයිනෙ.හිත වුණත් එච්චරයි හසරැලි..”

යෙත්මි ප්‍රශ්න පත්‍රයකට හිස ඔබාගෙන එහි නැති කාරණා ගැන කියවයි.මම මගේ අත දෙස බැලීමි.සැබෑවටම දැන් එහි වේදනාවක් නොවේ.අභ්‍යන්තර හානි සුව වූ නමුත් තුවාල කැලැලක් ඉතිරි ය.ඒ කැළැල් මා මුහුණ දුන් අනතුර සිහි ගන්වයි.නමුත් හදවත තවම කැබලි සිය ගණනකට බිඳී තිබේ.ඒවා කවදා පිළිසකර වේදැයි කියන්නට මට සහතික දිය හැකි නොවේ.අත බිඳී යාම ද හිත බිඳී යාම ද පැහැදිලි ලෙස කාරණා දෙකකි.අතෙහි සුව වූ තුවාල කැළැල් පවා පිටතට පෙනේ.එය සුව වූ බවට මට අසත්‍යය පැවසීමට නොහැකි විණ.තුවාල හොඳින් සුව වන තුරුම ප්‍රතිකාර කරන්නට සිදු විණ.නමුත් හදවත පිළිසකර වී ඇතැයි හැමදෙනාම පවසද්දී මම හිස වනමින් එය පිළි ගනිමි.එය එසේ නොවන බව දන්නේ මා පමණකි.

“එක අතකට දෙනෙත් මාව රැවැට්ටුවෙත් නෑනෙ.මං එයා එක්ක වුණත් තරහකින් ඉන්න නරකයි.”

මම එසේ කියද්දී මට රැවූ යෙත්මි උස් හඬින් හිනැහුණා ය.ඇය එසේ හිනැහෙන ගමන් කටු වැඩ කොළයේ කමකට නැති බලියක් ඇන්දා ය.

“දෙනෙත් මේ බලිය වගේ කැත මිනිහෙක්..”

ඇය කියන්නේ තරහිනි.ඔහු මා නොරැවටූ බව කියන්නත් රැවටූ බව කියන්නටත් සාක්ෂි නැතත් දෙනෙත්ට තිබුණේ කමකට නැති හැසිරීමක් බව ඇය අනතුරුව මට සිහි කළා ය.

“එදා අපි ඔයාගෙ කැමැත්ත නොකීවනම්..දෙනෙත් ඊයේ පෙරේදා දවසක ඔයාගෙන් කැමැත්ත අහයි.අපි වගේ එක්සෑම් අනාගෙන නාගෙන හිටියනම් අහන් නෑ.හොඳටම පාස් නිසා අහයි.ඊට පස්සෙ අර කලින් කෙල්ලන්ට වගේ යටත් වෙලා බයේ ජීවත් වෙන්න තිබ්බා.හොඳ වෙලාවට මටයි උවීටයි ඉවසීමක් නැත්තෙ.ඔයා නරක ජරා ළමයෙක් වෙලා හරි ඕකෙන් නිදහස් වුණා මදැයි..”

නමුත් මා තවම හිඳින්නේ ඔහු අහිමි වූ ශෝකයෙන් ය.ආදරයේ තවත් වර්ණයක් හද බිතෙහි අඳින්නට වූයේ ඔහුගේ නමින් බව මට අමතක කිරීම ඉතා අසීරු ය.ඒ වර්ණය අඳුරු පැහැති වර්ණයක් බව මට වටහා දෙමින් දෙනෙත් මගේ ලෝකයෙන් සදහටම නික්මීම මා දරා හිඳින්නේ අසීරුවෙන් වග කිසිවකුටත් පවසන්නට මට නොහැකි ය.

“අම්මා නං තාමත් තරහින් ඇත්තේ..”

මම ඒ වෙනුවට වෙනත් ගැටලුවක් ගැන යෙත්මිට පැවසුවෙමි.අම්මා මේ ප්‍රශ්නය ගැන හිඳින්නේ කෝපයෙන් බව මා දන්නා බැවින් මට තවම අම්මාට මුහුණ දෙන්නට බියක් දැනේ.

“දැන් ආන්ටි ඉන්නේ දෙනෙත් එක්ක තරහ වෙලා.මමත් හොඳ බොරුවක් කිව්වා ආන්ටිට.”

මහා හපන්කමක් කළ අයෙකු මෙන් ආඩම්බරකාර සිනාවක් පැළඳ ගනිමින් යෙත්මි පැවසුවා ය.ඇය මගෙන් පාඩම් අසා ගන්නට පැමිණ එය පමණක් ඉටු කරගෙන යන්නියක නොවේ.අම්මා හා මම්මා සමඟ කියවන්නට ද සැලකිය යුතු කාලයක් යෙත්මිට වැය වේ.

“මං කිව්වා අපේ උවී එක්ක යාලු වෙලා ඉන්න ගමන් මිනිහා ඔයා බයිට් කරන්න ගියා.ඒක අහු වෙලා අපි රණ්ඩු කරනකොට දෙනෙත් ඔයාව බය කරන්න හැදුවෙ කියල.”

මම දෑස් නලලට ගතිමි.යෙත්මි නොනවත්වාම හිනැහෙන්නී ය.දෙනෙත් සහ අයියා අතර අමනාපයට හේතුව එය බව කියන්නට තමන් සුවිශාල රංගනයක් කළ බවද යෙත්මි කියන්නේ හපන්කමක් කළ දැරියකගේ සතුටිනි.

“අන්න අර මෝඩයා ආව.දැන් තියන මෝඩකමට මගෙ බොරුව නිවැරදි කරයිද දන් නෑ..”

සචිර අයියා! ඔහු දකින්නේ සති කිහිපයකට පසුව ය.මගේ වේදනාත්මක මොහොතක මා කෙරේ වේගයෙන් ආ ඔහු ජයග්‍රහණය සමරන්නට ඉක්මනින් දිව නොආවේ ය.යෙත්මිගේ කෙළවරක් නැති සිනාව ගැන විපරමෙන් අප වෙත ඇවිද එන ඔහු දෑසේ ඇඳී ඇති සිනාව කාන්තිමත් නොවේදැයි මට හදිසියේ සිතිණ.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles