බිඳී ගිය බඳුනක් නැවත පිළිසකර කරන්නට අපහසු ය.නමුත් ඒ බඳුනේ අලංකාර මල් පැළයක් පැලවෙන්නට ඉඩ හැර එහි මල් පිපෙනතුරු බලා හිඳින්නට පුළුවන.මල් පිපෙන්නට කාලයක් ගත විය යුතු බව මම සිතුවෙමි.මල් පිපෙන කාලය එනතුරු ඉවසන්නට තීරණය කළෙමි.
නමුත් මල් පිපෙන්නට සමහර කුණාටු කාලයන් දරා ගන්නට ද සිදු වේ.එක් මහ මද්දහනක එවැනි ආරංචියක් අප සොයා ආවේ ය.හදිසියේ නාද වූ දුරකථන ඇමතුමකින් තාත්තා මහත් කලබලයට පත් වූ අතර වහා ගෙදරින් නික්ම ගියේ මම්මාට මොනමොනවාදෝ පැවසීමෙන් පසු ය.මම වහා මම්මා වෙත ගියෙමි.තාත්තා හිඳින්නේ කලබලයෙනි.පිටව ගියේ ද මහා හදිසියකිනි.මට මම්මාගෙන් එයට හේතුව අසන්නට ඕනෑ විය.
ඇය කඳුළු පිසිමින් අම්මාගේ ඇඳුම් කිහිපයක් බෑගයකට දමමින් සිටියා ය.
“මම්මේ ඇයි?”
මම්මා මදෙස බැලුවේ උරහිසේ කඳුළු පිස දමන අතර ය.
“අම්මා ඔෆිස් එකේදි ලෙඩ වෙලා පුතේ.මොකක්ද ඔලුවෙ කැක්කුමක් ඇවිල්ලා..”
අම්මාට ඔලුවේ කැක්කුමක් පැමිණීම මම්මාට අඬන්නට කාරණාවක් වූයේ කෙස්දැයි මම සිතීමි.එය කිසිලෙසක සත්‍යයක් විය නොහැක.කුමක් හෝ සැබෑ අනතුරකි.
“ඇයි මම්මෙ..කියන්නකෝ.”
එයට පිළිතුරු දෙන්නට ප්‍රථම නිර්මාණි අක්කා ටැක්සියක් රැගෙන අප වෙත ආවා ය.ඇය සිටියේ අප රෝහලට රැගෙන යන කලබලයෙනි.මම භීතියකින් කිසිවක්ම සිතා ගත නොහැකිව මම්මාගේ අත තදින් අල්ලාගෙන සිටියෙමි.අප උසස්පෙළ ඇරඹූ කාලයේ මගේ මිතුරියකට අම්මා අහිමි වූ දවස් මට සිහි විණ.ඇය එය දරා ගන්නට නොහැකිව ඉකිලූ අන්දම මට මැවෙන්නාක් බඳු ය.ඉතින් හිත හදා ගැනීම කොහොමටත් පහසු නොවේ.
“අම්මට කරදරයක්ද අක්කේ?”
මම අක්කාට ළං වී විමසුවේ අප රෝහල වෙත පැමිණි පසුව ය.ඇය ප්‍රවේසම් සහගතව මගේ අතකින් අල්ලා ගත්තා ය.සහෝදර උණුසුම ඉතා තදින් දැනෙද්දී මා මඳක් සන්සුන් වූ බව මට සිතිණ.
“අම්මා ඔෆිස් එකේදී වැටිලලුනෙ නංග..” අක්කා තවත් යමක් පැවසුවා ය.නමුත් මට ඒ කිසිත් නෑසිණ.මම්මා කියන්නේ අම්මා හිසරදයකින් බව ය.නිර්මාණි අක්කා පවසන්නේ වෙනත් කාරණාවකි.තාත්තා ද අයියා ද ඈත දකිද්දී කොහෙන්දෝ ආ ශක්තියකින් මා පිරී යනු මට දැනිණ.
“තාත්තේ…තාත්තේ..”
කෑගසා ගොස් තාත්තාගේ තුරුලට බට මට දැනුණේ ඉමහත් සහනයකි.ඒ සැනසීමෙන් මා පිරී යන අන්දම මට දැනිණ.නමුත් හදවත ගැහෙමින් තිබේ.අසන්නට ඇති අනුවණම ප්‍රශ්නය තාත්තාගෙන් අසන්නට මට බයක් නොදැනිණ.
“තාත්තේ..අම්මට මොකක් වෙලාද? අම්මා මැරිලද?”
කලබලකාරී සහ වෙහෙසකාරී බව පිරුණු තාත්තාගේ මුහුණට කොහෙන්දෝ සිනාවක් පැමිණියේ ය.ඔහු මගේ නළල මත හාදුවක් තැවරී ය.මට එය පිළිතුරකි.ඔහු සිටින්නේ තිගැස්මෙන් මිසක වේදනාවකින් නොවේ.
“අම්මට ප්‍රෙෂර් ඇවිල්ල පුතේ.අපි බලමු හොඳේ.එයාට ඉක්මනින් සනීප වෙයි.”
නපුරු සහ කෝපයෙන් පිරී ගිය අම්මා මට අත්‍යවශ්‍යම බවත් ඇය නැතිව ජීවිතයක් නැති බවත් මට වැටහෙන්නට වූයේ ඒ මොහොතේ ය.ඇගේ ජීවිතයෙන් අහුලාගෙන ළඟ තබා ගත යුතු දෑ බොහෝ ය. ඇතැම් විට අම්මා අතටම දුන්නද මා අතින් මඟ හැරෙන දෑද සුවිසල් ය.අප අතර ගැටුමට හේතු වන්නට ඇත්තේ ද එයම බව මට සිතිණ.
කාලය අපිට කියා දෙන පාඩම් පුදුමාකාර වන්නේ එනිසා ය. සමහර පාඩම් වැටහෙන්නට අපිට ලොකු කාලයක් වැය වේ. මම අම්මා ගැන ආරංචියක් ලැබෙන තුරු එය සිතමින් ඒ ගැන දුක් වන්නට පටන් ගතිමි.