අම්මා රෝහල් කාමරයට රැගෙන එද්දී මට හැඬිණ.ඇගේ තේජාන්විත බව අතුරුදහන් වී අසරණ කුඩා බවක් ලැබී ඇතැයි සිතෙද්දී මට ඇය වැළඳගෙන හඬන්නට ඕනෑ විය.උණක් හෙම්බිරිස්සාවක් හැරුණු විට ඇයට මා දන්නා කාලයේ පටන් කිසිම රෝගයක් නොතිබිණ.එනිසාම ඇය හිටිහැටියේ තදින් අසනීප වීම මට ඉමහත් වේදනාවක් ඉතිරි කර තිබිණ.
“අමාරුවක් නෑ නේද අම්මේ..”
මගේ හැඬුම් හඬ අසා අම්මා අත ඔසවන්නට උත්සාහ කළා ය.නමුත් ඇයට එය සිතූ තරම් පහසු නොවිණ.කඩියෙකු සේ ගේ පුරා එහෙමෙහෙ යන අම්මා මෙහෙම හිඳීම දරන්නට කොහොමටත් අමාරු ය.
“ඔහොම අඬන්න ගියාම අම්මා තවත් අප්සට් යනවනෙ නංගා..”
නිර්මාණි අක්කා වහා මවෙතට පැමිණියා ය.අම්මා ඇයට කෙඳිරිලි ස්වරයකින් මා ගැන බලන්නට කියද්දී මට ඉකි ගැසුණේ වේගයෙනි.
“මම එයාව බලන්න දෙයක් නෑ.අම්මා හෙට අනිද්දා ගෙදර එනවනෙ..අම්මට පොඩි හොර ලෙඩක් ගන්න ඕන වුණා නේද? තාත්තා ආව නිසා අම්මට හුරතල් වෙන්න හිතිලා..”
නිර්මාණි අක්කා අම්මාගේ අත පිරිමදිමින් එසේ කියන්නී ය.අම්මා හිනැහෙන්නට උත්සාහ දැරුවා ය.ඇයට අක්කා වැනි ලොකු දුවක් සිටීම ගැන මට එක්තරා ආකාරයක සතුටක් දැනිණ.අම්මා මේ තරම් මට ඕනෑම බව දැනෙන්නේ ඇය මෙසේ හිඳිද්දී ය.
“ප්‍රෙෂර් නෙවේ හාට් ඇටෑක් එන්න ඕන හිතේ ඔච්චර වේදනාවක් හිර කරගෙන ඉන්නකොට..”
මා සමඟ ආපසු ගෙදර එන අතර මම්මා කීවේ බර සුසුමක් සමඟිනි.ප්‍රේමය ගැහැනුන්ව එවැනි තැනකට ඇද දමන බව මට ද නොවැටහෙනවා නොවේ.එහෙත් ප්‍රේමය නිසා වේදනාවට පත් වූ අම්මා ප්‍රේමයෙන්ම සුවපත් විය යුතු බව මම සිතීමි.
එය එලෙසින්ම සිදු වෙමින් තිබිණ.තාත්තා අම්මා අසල රැඳුණේ ය.මම්මාට හෝ මට අම්මා ළඟ ඉන්නට ඉඩ නොදී තාත්තා ඇය අසල රැඳීම ම විශාල යහපතක් බව අයියා පැවසුවේ ය.සැබෑවකි.ඔවුන් දෙදෙනා ඔවුන් දෙදෙනාව දරා ගත් තැන් අල්ප ය.කෙනෙකුගේ ජීවිතයේ හමුවිය යුතු පහසුම අත්වාරුව වන්නේ තමන්ගේ ජීවන සහකරු විය යුතු බව මම සිතමි.ඒ අත් වාරුව ගැන නොසලකාම සිටි අම්මාට තාත්තාගේ ප්‍රේමය පිළි ගන්නට තවමත් ඉඩ ඇතැයි මට සිතේ.
“සචිර මාත් එක්ක කතා කරා සූකිරි.”
අම්මා නැති පාළු නිවහනේ නින්ද ළඟා නොවන හන්දා බරාඳයේ බිම අසුන් ගෙන කල්පනාවට වැටී සිටි මම අයියාගේ කටහඬින් පියවි ලෝකයට ආවෙමි.අයියා සචිර අයියා කතා කළ බවක් මට පැවසීම අමුතු ය.ඒ ඔහුගේ හොඳම මිතුරා ය.හොඳම මිතුරාගේ ඇමතුම් ගැන ඔහු වෙනදාට මට කියන්නේ නැත.
“එයා කතා කරේ ඔයා ගැන නංගි..”
ඔහු කතා කරන්නේ බරැති හඬකිනි.ඒ ඇස් ආදරයෙන් පිරී ඇති බව මම දුටුවෙමි.තමන්ගේ නැගණිය ගැන හොඳම මිතුරා විමසීම ඔහුට කුමනාකාරයේ හැඟීමක් ඇති කරන්නට ඇතිදැයි මම සිතන්නට ගතිමි.එය කොහොමටත් අමුතු හැඟීමකි.
“ඔයා සචිරට කැමතිද? අම්මටයි තාත්තටයි මම්මටයි මටයි නිරූටයි ඔයාටයි සචිරටයි එක පවුලක් හැටියට සන්තෝසෙන් ඉන්න පුලුවන් කියල මං හිතන්නේ..”
කුඩා කාලයේ අම්මාගෙන් ගුටියක් කන බටු ඇට කෙල්ලක් අයියාගේ පිට තද කර වැලඳ ගන්නා අතර ඉන්පසු සද්දෙන් හූ තබා හඬන්නට හුරු වී සිටියා ය.මේ මොහොතේ ඇයට හූ තබා හඬන්නට නොහැකි ය.නමුත් ඈ අයියාගේ පිටට හේත්තු හඬන්නට ගත්තා ය.
“දෙනෙත් කියන්නේ හරියට දෙයක් නෙවේ සූකිරි..”
අයියා ආපසු හැරී මා වැළඳ ගත්තේ ය.මම අඬමින් ම හිස සැලීමි.ඔහු කොහොමටත් මායාවකි.මගේ සැනසීම අහිමි කර දැමු හිත් පිත් නැති ගල් පර්වතයකි.ඔහු ගැන සිතමින් මායාවක සැරිසැරීම අම්මා ගත කරන්නාක් බඳු ජීවිතයකට මා ඇද දමන බව මට වටහා දී දැන් ටික දවසක් ගෙවී ඇත.
“මං දන්න දා ඉඳන් ඔයාට ආදරේ වුණේ දෙනෙත්නම් නෙවෙයි..”
අයියා එසේ කියද්දී මම අඳුර සමඟ හිනැහුණෙමි.මගේ මුහුණ නොදැක ආපසු යාම කැඳත් නැතිවන වැඩක් බව කියමින් ගේ මැද්දට වී “සූකිරියෝ” යැයි හඬ තලන දඟකාර තරුණයා මගේ දෑස් මත මැවී පෙනෙන්නට විය.එසේනම් මා දෙනෙත් වෙනුවෙන් සිහින දකිද්දී ඔහු මා ගැන සිහින දැක තිබේ.