දික්කසාදය ලබා දෙන දිනය පැමිණියා.අවුරුදු හතක් එකට හිටියට අසංකගේ සැබෑ වර්ණය මම දුටුවේ ඒ දවසේ කියලයි මට හිතෙන්නේ.එදා අපේ තාත්තට අපිත් එක්ක නුවර යන්න එන්න ලැබුණේ නැහැ.අම්මත් මමත් බස්රියෙන් නුවරට ගියා.වෙනදා වගේම අපි කලින් දවසේ උයා පිහාගෙන නුවර ගෙදරම නැවතුණා.
නඩුවේ අවසාන තීන්දුව! තීරණාත්මක දවසක්!
අම්මාත් මමත් හිටියේ සූදානම් වෙමින්.අසංකට රිය පදවන්න බැරි නිසා ඔහුගේ මිතුරෙක් වුණු නාලක අයියා ඇවිත් අපි සූදානම් වෙනකම් බලාගෙන හිටියා.එකපාරටම අපිට ඇහුණා වාහනය ස්ටාර්ට් වෙනස සද්දේ!
“අපි තාම ලෑස්ති නෑනේ..”
අම්මා මා දිහා බලා පුදුමයෙන් එහෙම කිව්වා.ඇත්තටම ඉතින් අසංක අපිව වාහනේ ගෙනියන්න ඕනි කියල නියමයක් නැහැ තමයි.සුදු වෙන්න ජෝඩුවක් එකම වාහනේ එකට උසාවියට යන එක ටිකක් අභව්‍ය සිදුවීමකුත් තමයි.ඒ උනත් අපි මෙච්චර දවසක් ඒ විදිහට ගියා.ඒක වැරැද්දක් කියලා මම කිසිම මොහොතක හිතුවේ නැහැ.
අන්තිම මොහොතේ අසංක එහෙම කරපු එක ගැන මට දැනුණේ මහා වේදනාවක්!
ඔහුට කිසිවක් ම නැති කාලේ මම ඔහුත් එක්ක හිටියා.මංගල දිනය දවසෙම රත්තරන් බඩුවක් ම ඔහුට ගලවලා දීලා ණය බේරගන්න උදව් වුණා.ඊට පස්සෙ හැම දුකක් වේදනාවක් ම දරාගෙන අගහිඟකම් මැද්දේ ඔහුත් එක්ක ජීවත් වුණා.
අසංකට වාහනයක් නැතත් මගේ තාත්තා ඔහුගේ ඔහුගේ වාහනයෙන් අපිව රට වටේ චාරිකා එක්කගෙන ගිය දවස් ඕනෑතරම් පහුගිය අවුරුදු හතටම තිබුණා.අසංකට වාහනයක් නැති වීම ඒ ගමන්වලදී වියදම් කරන්න බැරි වීම ගැන අපි වචනයක්වත් කතා කළේ නැහැ.ඔහුගේ අම්මා තාත්තා අනුරාධපුර වන්දනාවේ පවා එක්කන් ගියේ අපි.එය කිසිවක් ම අපි අකමැත්තෙන් කරපු දේවල් නෙමෙයි.බොහොම කැමැත්තෙන් ආදරයෙන් කරපු දේවල්.
තමන්ගේ ජීවිතේ අරමුණක් සපුරා ගත්තු මොහොතක අසංඛ මාව අමතක කළා.ඒ අපි වෙන් වෙන්න පැය කීපයක් ඉතුරුවෙලා තිබියදී තමයි.ඒත් ඒක මට වේදනාබර සිදුවීමක්.
ගමන යන්න ගිය නාලක අයියා ආපහු බැහැලා දුවගෙන ඇවිත් අපිට කතා කරා.
“කොහෙද ඔයාලා තවම ලෑස්ති නැද්ද නංගි? ඉක්මන් කරන්න.තව පොඩ්ඩෙන් ඔයාලව දාලා යනව..”
නමුත් මම අම්මා එක්ක ගිහින් වාහනයට නැග්ගේ නැහැ.ඒ වෙනුවට මම නාලක අයියාට මෙහෙම උත්තරයක් දුන්නා.
“මගේ හස්බන්ඩ් වෙලා හිටියේ ඔයා නෙවෙයිනෙ අයියෙ.අසංක.එයාට මාවයි අම්මවයි එක්කගෙන යන්න ඕන කියන එක අමතක වුණානම් ඔයා ඇවිත් කතා කරාට මම එන්නේ නැහැ.මොකද අසංකනෙ මගේ හස්බන්ඩ්.ඔයාලා යන්න..”
ඉතින් අසංක සහ ඔහුගේ මිතුරා යන්න ගියා.අම්මාත් මමත් ටැක්සි එකකින් උසාවියට ගියා.එදා ආපහු උසාවියෙන් එනකොටත් මම පාරට ඇවිත් ටැක්සි එකකට අත දාලා අම්මා එක්ක් එයට ගොඩ වුණා.ඒ අතරේ මං තදබල තීරණයක් ගත්තා.
“අද දික්කසාදයේ අන්තිම තීන්දුව ලැබුණා.මෙතනින් එහා ජීවිතය මට පහසු වෙන එකක් නැහැ.මීට කලින් අවුරුදු හතත් පහසු නොවුණට අවුරුදු හතකට කලින් නුවර ආපු පොඩි ගෑණු ළමයා නෙවෙයි තවදුරටත් අනුරාධා කියන්නේ. මම ජීවිතය එක්ක සටන් කරනවා.කොහොමහරි මේ සටන දිනනවා.ඒ වගේම තමයි මම දවසක මටම කියලා වාහනයක් ගන්නවා.”
මම ඒ තීරණයට තදින් එළඹියා.
එහෙත් මම ජීවිතය දුර එන්නේ මට පුළුවන් විදියට.බැරි දේවල් මම කරන්නේ නැහැ.අපහසුවක් දැනෙන දේවල් කරන්න මම කැමති නෑ.ඒ නිසා ජීවිතේ මට අවශ්‍ය විදියට හදා ගන්න මම තදින් තීරණය කළා.මගේ තත්ත්වය සහ වෘත්තිය හදා ගන්න ඕනෑ.හැබැයි මේ අවුරුදු හත මතකයේ තියාගෙන.ජීවිතේ මොනදේවල් ලැබුණත් ආයේ මේ වගේ බටකොළ කන අවුරුදු මට ලැබෙන්න පුලුවන්.නොලැබී හිඳින්න සටන් කරන අතරම මම ජීවිතේ එන විදියට බාර ගන්න තීරණයක් ගත්තා
ජීවිතය තවත් සංක්‍රාන්ති අවුරුදු හතක් ඒ විදියට අවසානයට පත්වුණා!