දික්කසාද තීන්දුව ලබා දෙන්නට මොහොතකට පෙර මගේ නීතිඥවරිය මගෙන් විමසූ ප්‍රශ්නයක් තිබුණා.ඇය ඇගේ හැම සේවාදායකයෙකුගෙන්ම අහන ප්‍රශ්නයක් වෙන්නත් ඇති.
“ඔයාට වන්දි කීයක් ඕනෑද අනුරාධා”
ඒ ප්‍රශ්නයට මඳ සිනාවක් එක්ක මම මගේ නීතිඥවරියට ලබා දීපු පිළිතුර ඔබ පුදුමයට පත් කරාවි.
“අවුරුදු විසි හතේ ඉඳලා තිහ වෙනකම් කාලේ කියන්නේ ගෑනු ළමයෙකුගේ ජීවිතයේ ලස්සනම කාලේ.ඒ ලස්සන කාලේ එක දවසක්වත් ලස්සන විඳින්න මට ලැබුණේ නෑ.ඉතිං ඔබතුමියට පුළුවන්ද ඒ අවුරුදු හතට මට නැති වුණු දේවල් වලට මට නොලැබුණු සතුටට වටිනාකමක් තක්සේරු කරන්න..”
තර්ක ගැන ඉතාම හොඳින් දන්න නීතිවේදිනියත් මගේ පිළිතුරට ගල් ගැහෙන්න ඇති.ඒත් මං ඒ උත්තරේ දුන්නේ හදවතින්මයි.උසාවියකින් දික්කසාද වන ගැහැනියකට අවශ්‍ය වන්දි මුදල පිරිනැමීම ඇත්තටම හොඳ දෙයක්.ඒත් දුක්ඛිත කසාදයක සිර වුනු ගැහැනියකට ඒ වන්දි මුදල ඇත්තටම සැබෑ වන්දියක් නෙමෙයි.මම වගේ මනසින් පීඩා විඳපු ගැහැණු,සමහර වෙලාවට අතිශය කටුක කායික හිංසන වලට ලක්වෙන ගැහැණු,සැමියාගේ අනියම් සම්බන්ධතා දරාගනිමින් පීඩා විඳින ගැහැණු දික්කසාද වෙන්න තීරණය කරනවා.ඒ කිසිම ගැහැනියකට ලැබෙන මුදල සැබෑ වටිනාකමක් ඇති එකක් නෙමේ.ඇය ඒ මුදලට වඩා බොහෝ දුක් විඳ අවසන්.නැති වූ කාලයට සහ ඇති වූ වේදනාවට මිලක් දෙන්නේ කොහොමද? ආදරය කියන්නේ බරපතල හැඟීමක්.මුදල්වලින් එය තීරණය කරන්න බැහැ.ජීවත්වෙන්න මුදල් අවශ්‍යයි තමයි.නමුත් දුක්ඛදායක කසාදයක හිරවන ගැහැණියක විඳි වේදනා වලට වටිනාකමක් නියම කරන්න පුලුවන්ද?
සුන්දර සහෝදරියනි,
කිසිම දවසක කසාදය කසායක් කරගන්න එපා.සැබෑවටම ගෙවී ගිය අතීතයක් මුදලින් තක්සේරු කරන්නට බැහැ.ඔබේ සමූහයේ පළවෙන ගැටලුවලදී දුක් කසාද දරාගෙන සිටින ගැහැනුන්ට run run ලෙස උපදෙස් දෙන සෙසු සහෝරියන් ගැන මට දකින්නට ලැබෙනවා.
“තව ටිකක් ඉවසන්න වෙයි නේද..”
එහෙම කියන මිතුරු මිතුරියන් මිසක් අනුරාධෝ පස්ස නොබලා දුවපං කියන කිසිම යාළුවෙක් මට හිටියේ නෑ.ඒ නිසාම වසර හතක් මම මගේ කාලය නාස්ති කරගත්තා.
“දික්කසාද වුණාට පස්සේ අසංකගේ අක්කලා එහෙම මොකද කීවේ?”
ලියන්නිය බොහොම කුතුහලයෙන් අහනවා.කෙල්ලන්ටත් මතක් වෙන ඕපාදූප! නැඟෙන හිනාව අතරින් මම හදන්නේ ඇයව හිනා ගස්සවන්න.
“දැන් ඔයා ගියාම මේ ෆ්‍රිජ් එක,වොෂින් මැෂින් එක,ටීවී එක එහෙම අපේ චූටි මහත්තයටද?”
අසංකගේ අක්කා කට හද හද මගෙන් එහෙම අහපු හැටි මතක් වෙනකොට මට තාම හිනා යනවා.
“ඒවට හිනා වෙන්නේ කොහොමද? මොනතරම් නරුම මිනිස්සුද? “
ලියන්නිය මගේ හිනාවට එරෙහි වෙනවා.මට වඩා අවුරුදු දහපහලොවක් වයසින් බාල කෙල්ලක් මට වුණු අසාධාරණයක් වෙනුවෙන් කෝප අරගෙන.නමුත් මට නොනවත්වාම හිනා යනවා.
“ඇත්තටම මිනිස්සු ඒ තරම් පල්ලෙහාට වැටෙනකොට හිනා වෙලා සමාව දෙන්න..”
මම ඇයට වගේම ඔබටත් දෙන උපදේශය අන්න ඒකයි.ඒ වගේ හදන්න බැරි මිනිස්සු වෙනුවෙන් ලේ පුච්චාගෙන මොකටද?
දික්කසාද වෙන්න තරම් තිබුණු ප්‍රශ්නේ මොකක්ද හෝ මෙතැනින් එහාට මං කරන්නේ මොකක්ද කියලා අහනවට වඩා මගේ නෑනන්ඩි ඇහුවේ දෑවැද්ද ආපහු ගෙනියනවද කියන කාරණාව විතරයි.ඒවා අරන් යන්නේ මොකටද? ආපහු බඩුමුට්ටු ඔතාගෙන අරන් ගියාට මට ලැබෙනවද නැති වෙලා ගිය සතුට? ඒවා නැවත රැගෙන යන්නට උවමනා බව කියූ අම්මලාටත් මම කෑගැහුවේ එහෙමයි.
“එතකොට අනුරාධා අක්කේ ඔයාගේ රත්තරන් බඩු ටික”
ලියන්නියට ආයෙමත් ප්‍රශ්නයක්.ඒ කතාවට මං දීපු උත්තරය හෙට කියනකම් අනුමාන කරලා බලන්න.දවස් හතලිස් පහක් තිස්සේ මාව තේරුම් ගනිමින් ඉන්න ඔයාලට මම දීපු පිළිතුර අනුමාන කරන්න අපහසු නෑ.