“කොච්චර අපි අපේ වැඩ ඇතුළෙ හිරවෙලාද කියනවනම් මට අනෝමා බලන්න එන්න ඉවරයක් තිබුණේ නැහැ..”
සචිර අයියාගේ අම්මා අප වෙත ආවේ ඇගේ පුළුල් සිනාව පිපෙන්නට හරිමිනි.මම ඇගේ දෑස දෙස නොබලා ඉවත බලන්නට තැත් දැරීමි.නමුත් ඇය මගේ අතකින් අල්ලාගත්තේ ආදරයෙන් ය.ඒ සිනාව මම්මාගේ සිනාවට සමීප සිනාවක් බව මට හදිසියේ සිතිණ.
“පුතා..ඔයා එක්සෑම් පාස් වුණාට බලන්න ආවෙත් නෑ මම..”
ඇය මා අතින් පාර්සලයක් තැබී ය.එය ජනප්රිය ප්රකාශන ආයතනයක දවටනයකි.අතක් බර පොත් මල්ලක් අතට ලැබෙද්දී මගේ හිත පිරී ගිය බව මට දැනිණ.
“හසරැලි පොත් කියවන්න ආසයිනෙ.හරිම ආසයි කියල මට සචිර කියනව..ඒ නිසා ගත්තේ..”
එසේ කී ඇය මගේ කම්මුලක් සෙමින් මිරිකා පැවසුවේ මගේ කම්මුල් රත් පැහැයට හැරෙන කතාවකි.
“ඒ නිසා මං පොත් ගත්තා.මල් අරන් එන්න ඕන මං නෙවේනෙ කියල මතක් වුණු නිසා මල් ගන්න සල්ලිත් තව පොත් කීපෙකට දැම්මා..”
ඇගේ සිනාව රිදී සීනු සිනාවකි.අම්මා බලන්නට යන්නට හදිසි නොවී ඇය සාලයට ආ මම්මා සමඟ ඇගේ කාර්යබහුල ජීවිතය දිගහරින්නට වූවා ය.ප්රාදේශීය ලේකම්වරියක වුණු ඇය ගැන සචිර අයියා කියන්නේ “ඉඳහිට දකින අම්මා” කියා ය.සැබෑවටම ඇය ගෙදර රැඳෙන අම්මා කෙනෙකු නොවේ.ඇය ලෝකයේම දරුවන්ගේ යහපත සොයන්නියක සහ තනන්නියක බව ඇගේ කතාබහ අසා සිටියදී මට සිතිණ.
දරුවන් සම්බන්ධ රාජකාරි ගැන ඈ කියද්දී මම්මා වඩා ඉදිරි පියවරක් තැබුවා ය.ඇය හීන් සීරුවේ දෙනෙත් ගැන විමසී ය.එසේ විමසන්නට ඉඩ තැබුවේ ද සචිර අයියාගේ අම්මා ය.
“පුතාත් ඉතින් පේරාදෙණියේනෙ.මට ඒ හන්දා ඔහොම දරුවො ටිකකට උදව් කරන එක සැනසීමයි අක්කෙ.නැත්නම් කොච්චර කළත් කොල්ලා නැති පාළුව යවා ගන්න බෑ..”
දෙනෙත් නිවසේ රැඳෙන නිසා ඒ පාළුව අඩු නොවේදැයි මම්මා ඇසුවේ ඒ මොහොතේ ය.ආන්ටී පසුතැවීමක සිනාවක් අප අතර බෙදා හැරියා ය.සියල්ලන්ටම අපහසු කලාපයක් නිර්මාණය වූයේ මා නිසා බව සිතෙද්දී මට දැනුණේ වේදනාවකි.නමුත් ඇගේ වචනවල අරුත වෙනකක් විය.
“මං අවුරුදු ගාණක් දෙනෙත්ටයි සචිරටයි එකම වගේ තමා සැලකුවේ නම් අක්කා.කොච්චර කිරි වතුරෙන් නෑව්වත් අඟුරු සුදු කරන්න අමාරුයි කියල හිතෙන දවසක් එනවනෙ..”
ඇය අම්මා කෙනෙකුට පමණක් ආවේනික බර සුසුමක් මුදා හැරියේ ඉනික්බිතිව ය.මම ඇයට තේ පිළියෙල කරන්නට සිතමින් නැගී සිටියෙමි.කොහොමටත් මේ වචනවල ඇත්තේ නුවුමනා තරමේ බරකි.ඒ බර හරි අඩක්ම නිර්මාණය කළේ මා බව සිතීම මට තදබල වේදනාවකි.
“දෙනෙත්ට කරපු උදව් හැමදෙයක්ම ඒ විදියටම මම කරනව.දක්ෂ දරුවෙක්.එයා හොඳට ඉගෙන ගන්න ඕන.හැබැයි එයාගේ අරමුණුවලට යනකොට හේතුවක් ඇතිව නැතිව අනිත් මිනිස්සු රිද්දන එකයි ලෝකෙටම එයා විතරක් හිටියම ඇති කියල හිතන එකයි එයාගෙ වටේ ලෝකෙම කැරකෙන්න ඕන කියල හිතන එකයි එයා නවත්තා ගන්න ඕන..”
ආන්ටි එසේ කියද්දී අයියා හඬ අවදි කළේ ය.මම මුළුතැන්ගෙයට නොගොස් ඔහුගේ වචන අසන්නට තාවර වූයෙමි.
“ජීවිත කාලයක් ආස්සරේ කරත් දෙනෙත්ව තේරුම් ගන්න අමාරුයි ආන්ටි..”
අයියා පැවසුවේ වචන හත අටකි.නමුත් එහි ඉතා පීඩනයක් සැඟවී තිබේ.දෙනෙත් ඔහුගේ පහසු කලාපය නිර්මාණය කරන්නට මිනිසුන් පරීක්ෂණ මීයන් කරගැනීමත් අනිත් අයගේ හැඟීම් සුණුවිසුණු කර දැමීමත් කරන්නේ වැටහීමක් ඇතිව ද නැතිනම් නොදන්නාකම නිසාදැයි මට සිතෙන්නට විය.
“කිසිම ආදරයක් කරුණාවක් නැති ගෙවල්වල උස්මහත් වෙන සමහර ළමයි ගල් වෙච්ච උදවිය වෙනව පුතේ.එහෙව් දරුවන්ට මොනතරම් ආදරයක් දුන්නත් තද ආත්මාර්ථකාමීකම් වෙනස් කරන්න අමාරුයි.”
සචිර අයියාගේ අම්මා මගේ අයියාට කියන හඬ ඇසේ.දෙනෙත් ලෝකය ඔහුට ඕනෑ අන්දමට තිබිය යුතු බව සිතන අතර ඔහු වෙනුවෙන් යමක් කළ මිනිසුන්ට පහසුවෙන් අසීරුතා නිර්මාණය කිරීම මොනතරම් අභාග්යයක්දැයි මම සිතීමි.