ආතුරයන් මැද ආදරෙන් 17

කේසර ලොකු සර්ගේ උපදෙස් වලට අනුව ජාදුට වෙන් වෙලා තිබුනෙ කුස්සිය ළඟ කාමරය උනත් ජාදු ඒ කාමරය ගත්තේ නැහැ. වර්ණාසිගේ කාමරයේ දොර ඉස්සරහින් මෙට්ටයක් බිමට දාගෙන නිදාගන්න ලෑස්ති වෙන ජාදු  දිහා වර්ණාසි පුදුමයෙන් බලන් උන්නා.
” ලොකු සර් මට කිව්වේ.. මැණිකක් රකින නාග රාජයෙක් වෙයන් කියලනේ…. ඔන්න ඒ හින්දා නයා මැණිකගෙ දොර හරහට දරණේ ගහගන්නයි යන්නේ”…

ජාදු මෙට්ටෙ ඉඳගන්න ගමන් හිනා වෙවී කිව්වා.

ජාදු ට පුරුද්දට වගේ ඕන උනා ගේ වටේට ඇවිදල බලන්න.සීතල
මීදුම් පින්න මැද ගේ වටේටම
ජාදු තමන්ගේ උණ්ඩ පුරවපු පිස්තෝලෙත් දකුණු අතේ ඇඟිලි වලින් තද කරගන්න ගමන්  ගියා. සීතල හුළඟේ සද්දයයි
බස්සෙකුගේ ප්‍රේම ආරාධනාවකුයි ඇරෙන්න වෙන මුකුත්ම සද්දයක් ජාදු ගේ බිලාල කුලේ කන් වලට ඇහුනෙ නෑ..ජාදු රෑ එකොළහත් පහුවෙලා මෙට්ටෙ ළඟට එනකොටත් වර්ණාසි තමන්ගේ ඇඳේ ඉඳගෙන අරගෙන ආපු පොතක් බල බලා උන්නා.

“බේබි  නිදාගන්න නැද්ද?”…

වර්ණාසි ජාදු දිහා බලලා කියව කියව ඉන්න පොත දිහා ආයිත් බලා ගත්තා.

“අප සමග ආදරය කරන තවත් පුද්ගලයෙකු නිදහස් කළ යුතුය..ආදර සම්මුතිය, ගිවිසුම් සහගත සම්බන්ධතාවයක් නොවිය යුතුය…
ඒ යමක් දීම හා ගැනීමේ සම්බන්ධතාවයක් නොවිය යුතුය…
එසේ වුවහොත්, එය අසාර්ථක වෙයි.
සැබෑ ආදරයකදී කෝපය හා ඊර්ෂ්‍යාව නැත..
එයට ඇතුළත් වන්නේ කිසියම් අපේක්ෂාවක් නැතුව හැඟීම් ශුන්‍යව තිබීමේ ක්‍රියාව පමණයි…

මේ පොතේ තියෙන්නේ එහෙමයි.”..

වර්ණාසි කැඩුණු සිංහලෙන් බොහොම අමාරුවෙන් පොතේ ඉංග්‍රීසියෙන් තිබිච්ච දේ සිංහලෙන් ජාදුට තේරෙන්න කිව්වා.

“ඒක ඇත්තද ජාදු”.. .

වර්ණාසි පොත වහන ගමන් ඇහුවා.වර්ණාසිගේ කාමරයට නොගිහින් තමන්ගේ ආරෝහපරිණාම දේහය දොර හරහට එළා ගත්ත ජාදු
” මහාභාරතය “
කියලා ඉංග්‍රීසියෙන් ලියලා තිබුණු පොතේ නම අකුරු ගැට ගහලා අමාරුවෙන් කියවල ගත්තා.

“දීමෙහි ගැනීමෙහි ගනුදෙනුවක් නැතුව මේ ලෝකෙ තියෙන්නේ හුස්ම ගැනිල්ලයි පිට කිරිල්ලයි විතරයි බේබි.. ඔය පොත්වල තියෙන ආදර කතා ඇත්ත කියලා මම නම් හිතන්නෙ නෑ…”

ජාදු මෙට්ටේ ඉදගත්තේ  ෆ්ලොරීඩා මතක් වෙලා.

“ෆ්ලොරිඩා  කෝදාගොඩ …බේබි අහලත් ඇති අර ප්‍රසිද්ධ නිරූපිකාව.අන්න ඒකි එක්ක මගේ පොඩි සම්බන්ධයක් තිබ්බා.හැබැයි එතනත් තිබුණේ ඔය කියපු ගනුදෙනුව විතරයි.ආදරය ප්‍රේමය මට ඕවා තේරෙන්නෙ නෑ බේබි….
හැබැයි …ආදරය කරන්න ගත්තම මිනිස්සුන්ට මැරෙන්න බය හිතෙන බවනම් මං දන්නවා”….
එහෙම කියලා කිව්වේ ජාදු  බොහොම හෙමින්…

“ඕක නිකං මුල් නැති ගහක් වගේ.ඕනෙ නම් කපන්නත් පුළුවන් …ඕන නම් වැවෙන්න අරින්නත් පුළුවන්….සමහර වෙලාවට ලියලනවා… සමහර වෙලාවට වේළිලාම යනවා…”

වර්ණාසි ජාදු දිහා බලාගෙන උන්නේ පොතක් ලියන්න තරම් ජීවිතේ විස්තර මේ මනුස්සයා ළඟ තියෙනවා නේද කියන හැඟීමෙන්.

“ජාදුට පිස්සු ..මුලක් නැත්තං ගස් ලියලයිද…”

කියලා ඉංග්‍රීසි සිංහල කලවමින් වර්ණාසි  ඇහුවේ  මේ කළු සිංහලයව ටිකක් ඇවිස්සුවම හොඳ හොඳ විස්තර එළියට ගන්න පුළුවන් කියලා හිතිච්ච හින්දා..ආයිත් ඉතින් කවදාවත් මේ වගේ වෙලාවක් හම්බවෙයිද කියලත් හිතුනා.කාත් කවුරුවත් නැතිව තට්ට තනියම පාළු ගෙයක් ඇතුලේ..

“බේබි කවදාවත් ආදරේ කරල නැද්ද”..

“මං හිතන්නෙ නෑ…ජෙරම් මගේ ළඟම හිටපු කෙනෙක් තමයි. ඒ කියන්නේ විශේෂ වෙන්න හුඟක් උත්සාහ කරපු කෙනෙක්…
මං වෙනුවෙන්… ඒත් මොකද්දෝ හේතුවකට මට ජෙරම්ව  දැනුනේ නැහැ. “…

එහෙම කියපු වර්ණාසී ඇඳෙන් නැගිටලා ගිහින් දත් මැදගෙන ආපහු නිදාගන්න   එනකොටජාදු එක එල්ලේම වර්ණාසි දිහා බලාගෙන හිටපු බව දැක්කා.

“ඇයි තාත්ති කිව්වද ඇහිපිල්ලමක්වත් නොගහ මා දිහා බලාගෙන ඉන්න කියලා…”

වර්ණාසි හිනා වුණා…
ජාදු කැමරාකාරයෙක් වගේ අතේ මහපට ඇඟිලි දෙක එකට තියලා එක රාමුවකට වර්ණාසිගෙ හිනා වෙන මූණ අරගත්තා..අත් දෙකේ ඉතිරි ඇඟිලි පින්තූර රාමුව වෙලා තිබුණා. වර්ණාසී හිනාවෙලා ලැජ්ජාවෙන් බිම බලා ගත්තා.

ජාදු ට කොයිවෙලේ නින්ද ගියාද.. වර්ණාසිට කොයිවෙලේ නින්ද ගියාද කියන්න කවුරුවත් දැනගෙන හිටියේ නෑ..තමන්ගේ ඇඳ පාමුල මේ විදිහට පිරිමියෙක් කවදාවත් ඉඳලා නෑ කියල වර්ණාසිට හිතුනා . සීතලයිනං තුරුල් කරගන්නද කියලා මධුරිගෙන් ප්‍රියංවදාගෙන් ඇහුවට
මේ රාජකීය කුමාරිගෙන් ඒ විදිහට අහන්න තමන් කවුද කියලා ජාදු ට හිතුනා .
ශක්තිමත් පිරිමි අත් දෙකකට මැදි වුණ සියුමැලි ගැහැණියකට දැනෙන ආරක්ෂාව උනුහුම මෙන්න මේකයි කියලා තේරුම් කරවන්න පුළුවන් නං කියලා වර්ණාසි ට හිතුනා .

“අම්මෝ… සුවද ….”

උදේ වර්ණාසි කුස්සියට ආවේ ජාදු  මොකක් හරි තෙල් දාපු එකක සුවඳ ඉවසගන්න බැරි තැනයි.

“ඔන්න බේබිට මම කිරිබත් හදලා ලූනු තෙල් දැම්මා.ලුණු මිරිස් සැර වැඩි ඇතිනේ..ඊයේ  සැමන් එකත් සැර වැඩි වුණානේ..”

“ජාදු ..බොරුත් කියනවා නේද දැං…ඔය උයන්න දන්නේ නැහැ කියලා එක එක ජාති හදන්නේ..”

“ලස්සන කුමාරිකාවක්ව බඩගින්නෙ තිබ්බහම දුක හිතෙන්නේ මට..මං ආස නෑනෙ බේබි මට දුක හිතෙනවට.. ඒකයි මං මේ නොදන්න කෑමත් හදන්නේ.. “

ජාදුගෙයි වර්ණාසිගෙයි  දෙන්නගෙම හිනා සද්දේ  එළිය රෝසවැලේ රොන් ගන්න ඇවිල්ල හිටිය බඹරුන්ටයි සමනළුන්ටයි ඇහුනා.

“නර්මදා ආන්ටි  මොනා කරනවද දන්නෙ නෑ?.. අඩුම තරමේ කෝල් එකක්වත් දෙන්න පුළුවන් උනා නම්..”

“ඒක ඇත්ත …කරන්ට් නැති නිසා ටීවිත් නෑනෙ බේබි..වාහනේ රේඩියෝ එක වැඩ කරනවද කියලා මම බැලුවා.මේ හද්ද වනාන්තරයේ කොහෙද සිග්නල්.චරබර චරබර ගානවා විතරයි.හැබැයි ලොකු සර් නම් බැහැලම රැස්වීම්වල වැඩ ඇති..ඡන්දෙත් කට ළඟටම ආවනේ..හැබැයි අපි දෙන්නගේ ඡන්දේ නම් අපරාදෙ..හැබැයි ඒ මනාප දෙක නම් කොහොම හරි ලොකු සර් ගේමක් ගහලා එකතු කරගනියි..”

එහෙම කිව්වහම වර්නාසි ට හිනා ගියා. වර්ණාසිගේ හිනාවට ජාදු ට හිනා ගියා.

“මේ මධ්‍ය පාන බීම රසය ගෑනු නොදන්නේ…. ගෑනු නොදන්නේ….”

කිය කියා ජාදු බිබී උන්නු තේ කෝප්පෙ ඔලුව උඩ තියාගෙන වෙරි උනු මනුස්සයෙක් නටන විදියට සින්දු කිය කියා නැටුවා.වර්ණාසි තමන්ගේ සෞම්‍ය හිනාව ඉස්සරහට දාගෙන ජාදු  දිහා බලාගෙන උන්නා.

“ඇත්තටම ජාදු  කවදාවත් බීලා නැද්ද.”…

හිනාවත් හතිඇරිල්ලත් අස්සෙන් ජාදු  කුස්සියේ බංකුවේ ඉඳ ගත්තා.

“අයියෝ බේබි! බේබි හිතන තරම් මම හොඳ මිනිහෙක් නෙමෙයි…තුන් හතර දෙනෙක්ව මරලා තියෙනවා. තුන් හතර පාරක් හිරෙත් ගිය මිනිහෙක්…ගුදං ගණන් බීපු මිනිහෙක්. ජීවිතේ ඇඟිලි තුඩෙන් අල්ලන් ඉන්න මිනිහෙක්… අතාරින්න බය නෑ… අතාරින්න දේකුත් නෑ. මගේ ජීවිතයට ඉන්නේ මං විතරයි.
මං තනියමයි. අන්න  එහෙමයි. කියාපු ජාදු තේ එක බිව්වා …

වර්ණාසි  වචන අමතක වුණු කෙනෙක් වගේ බිම බලාගෙන හිටියා..

“ඇත්තටම ජාදු ගෙ ජීවිතයට ඉන්නේ ජාදු විතරද.. ඇත්තටම ජාදු මැරෙන්න බය නැද්ද.. “

වර්ණාසි මොනවද අදහස් කරන්නේ කියන එක නොතේරෙන්න තරම් ජාදු බොළඳ මනුස්සයෙක් නෙමෙයි.මෝඩයකුත් නෙමෙයි. ඒ වුණත් ඒ වගේ සංවේදී දෙබස් ඊට වඩා දුරදිග ගෙනියන්න ජාදු ට ඕනේ  උනේ නෑ. දුරදිග ගෙනිච්චයි කියලා අවසානයේදී ඇතිවෙන්නෙ හිත් රිදීමක් විතරයි කියන එක ජාදු  හොඳටම දැනගෙන හිටියා.

“බේබි  මම නානකාමරයට වතුර පුරවලා තියෙන්නේ.. උදේ බේබි නැගිටින්න කලින් මං ඒ ටික ඉවර කළා.තාම වතුර රස්නය ඇති..උණු කරලයි පිරෙව්වේ.බේබි නාගෙන එන්න කන්න..”

තමන් අහපු දේට උත්තරයක් නොදී වෙනමම කතාවක් ඇදලා ගත්ත හේතුව නොතේරෙන්න තරම් වර්ණාසි ත් බොලද වෙලා උන්නෙ නෑ…

“ජාදු …”

කියලා වර්ණාසි කිව්වේ  වෙව්ලන කටහඬකින් …

“බේබි … හින්දි ෆිල්ම් වලත් ඔහොම යි… පුළුවන් තරම් කෙල්ල පිරිමියගෙ හිත හොල්ලලා ඌ පොඩ්ඩක් අතින් අල්ලපු ගමන්
බචාව්… බචාව් ගාලා කෑ ගහනවා …”

කියලා ජාදු  කුස්සියේ දොර ඇරගෙන එළියට බැහැල ගියා.ජාදු  මොකක්ද ඒ කිව්වේ කියන එක තේරුම් ගන්න වර්ණාසිට ටික වෙලාවක් ගියා.
වර්ණාසි ට තනියම හිනාගියා.
තමන් හිටපු රටේ නම් මේ විදිහට ගැහැණු පිරිමි සම්බන්ධයක් පටන් ගන්න මෙච්චර බයවෙන්නෙ නැහැයි කියලා වර්ණාසිට මතක් වුනා.ඇයි මේ රටේ මිනිස්සු මේ තරම් ආදරේ කරන්න බය..මිනිස්සුත් එක්ක රණ්ඩු කරන්නයි වෙඩි තියාගන්නයි විතරයිද මේ රටේ මිනිස්සු බය නැත්තේ..
වර්ණාසි තනියම හිතුවා ..

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles