ඔහු නිවසට ආවේ බොහෝ දවසකට පසුව ය.අතීතයේ දෙනෙත්ටත් සචිර අයියාටත් අපේ නිවසට පැමිණීම ඉතා සාමාන්‍ය කාරණාවක් විණ.නමුත් ඔවුන් ඒ ගමන දැන් අතැර දමා තිබේ.හරිහැටි කල්පනා කරද්දී ඒ ඉතා දුර අතීතයක් ද නොවේ.වඩා මෑත දවස් ය.මා නිසා ඔවුන් තිදෙනා ඔවුන්ගේ මිත්‍රත්වය බිඳ දැමූ බව සිතද්දී මට දැනුණේ මහත් වරදකාරී හැඟීමකි.
“ආ සූකිරියෝ කොහොමද?”
සචිර අයියා වෙනදාට මා සොයා එන්නේ එසේ ය.නමුත් අද ඔහු මා ගැන විපරම් නොකළේ ය.මා ගැන විපරම් කරන්නට තරම් දෙයක් ඔහුට ද දැන් නොවන බව වැටහෙද්දී මට ශෝකයක් නොදැනුණා නොවේ.නමුත් කළ හැක්කක් නැත.ජීවිතය මේ වාගේ දෙයක් බව සිතමින් මම උද්‍යාන බංකුවට වී ඔහේ සිටියෙමි.
“ගස් අස්සෙ හැංගිල මොනවද බං කරන්නේ..”
ඔහුගේ හඬ පිපුණේ මා නොසිතූ මොහොතක ය.ගැස්සී ගිය මගේ දෑස ඔහු මඟ හරින බව මට දැනේ.මා මඟ බැලුවේ සචිර දකින්නට මිස දෙනෙත් දකින්නට නොවන බව සිතමින් මම මොහොතක් සිටියෙමි.මන්දහාසයක් සොයා පළඳන්නට සිදු වේ.සැබෑ සිනාව මා අතැර ගොස් අවසන් ය.
“මල් දිහා බලාගෙන හිටියා..”
කාලාන්තරයකට පසු සචිර අයියා මගේ නළලතට දබරැඟිල්ලෙන් තට්ටුවක් දැමී ය.ඔහු තවමත් හුරුපුරුදු තැන බව සිතුණේ ඉනික්බිතිව ය.මම හිනැහෙන්නට ගතිමි.
“හසරැල්ට වුණානං කියනව හොඳ එකක්..”
සචිර අයියා හිනැහෙන්නට ගත්තේ එසේ කියමිනි.මම උස් හඬින් හිනැහෙන්නට ගතිමි.මම්මා ආලින්දයට පැමිණ අප දෙස බලා යන්නට ගියා ය.
“එක්සෑම් නිසා තිත්ත වෙලා හිටියෙ ජීවිතෙත් එක්ක..”
එසේ නම් ඔහු නෑවිදින් සිටීමට හේතුව විභාග ය.එය එසෙ නොවුණ ද කම් නැත.ඔහු පවසන අන්දමට හේතුව එය බව පිළිගැනීම ම මට ද සැනසීමකි.සරසවි ජීවිතය තුළ ඇති කටුක තැන් කියමින් සචිර අයියා බොහෝ වෙලා ගෙවා දැමී ය.ඔහු දෙනෙත් ගැන කිසිවක්ම නොපවසයි.මට යමක් විමසන්නට සිතුණද ලැජ්ජාව මා වළකාලන බව මට දැනේ.
“මොකුත් අවුලකද ඉන්නේ හසරැලි? ඔහු එසේ අසද්දී මම මම්මාගේ කහ රෝස ගසේ පොහොට්ටු ගනිමින් කාලය කා දැමූවෙමි.ඔහු අසන ප්‍රශ්නයට පිළිතුරු මා සතු වේ.නමුත් එය පැවසීමට නොහැකි තරමට මගේ වචන මට අමතක වේ.
“හරි..මම එන්නම්කො මාතෘකාවට.”
සචිර අයියා මගේ දෑස් දෙස බලන්නේ සෘජුව ය.මම ඔහුගේ දෑස් මඟ හරින්නට තැත් කළෙමි.නමුත් ඔහු දිගටම කතා කරන්නට පටන් ගත්තේ ය.
“හසරැලි,අපිට කා ගැන හරි ආදරයක් ඇති වෙන්න පුලුවන්.අපේ මේ වයසෙදි ඇති වෙන සම්බන්ධතා බිඳෙන්න පුලුවන්.වැඩියෙන් වෙන්නේ ඒකනෙ.ඒ වුණාට අනිත් මනුස්සයට අපිව විනාස කරන්නයි බ්ලැක්මේල් කරන්නයි සාක්කි ඉතුරු කරන්න එපා..”
මම රෝස වදුලක් තුළට ගිලී යන්නට සිතුවෙමි.මේ පවසන්නේ දෙනෙත් මගේ හඬපට එකතු කර ගැනීම ගැන බව මම දනිමි.ඒවා සචිර අයියාට අපුලක් වූ බව ඔහු නොකියා කියන බව මට දැනේ.මට එය මහත් අපහසු හැඟීමකි.
“ඒවා ගණන් නොගන්න මිනිස්සු වගේම ගණන් ගන්න අයත් ඉන්නව.මට,ඔයාගෙ යාලුවන්ට ඒව නිසා දෙනෙත්ව විහිළුවක් වුණා තමයි.ඒ වුණාට ඒවයින් ඔයාව අවුල් කරන්න පුලුවන් කියල ඌ හිතනවනම් එතනම අවුලක් තියනව..”
එසේ නම් ඔහු ඒවා තඹයකට මායිම් කර නැති හැඩ ය.මගේ තොල් මත සිනාවක් පිපෙන්නට එයම හේතු වූ බව මට සිතිණ.මම දෙනෙත් අමතක කර දමා සචිර අයියා සමඟ හිනැහෙන්නට ගතිමි.
“බොරුවට නාහෙන් අඬනව ඇති කියල හිතාගෙන එක්සෑම් ඉවර වුණු හැටියෙ දුවගෙන ආවේ.ඔයාටත් ඒක විහිලුවක් නම් එච්චරයි ඉතින්..”
ඔහු කියද්දී මගේ සැනසුමේ හසරැල්ල තවතවත් පුළුල් වන බව මට දැනිණ.පහසුවෙන් එක්ව සිනාසෙන්නට හැකි මිතුරෙකු කියන්නේ මොනතරම් ආශිර්වාදයක් දැයි මම සිතන්නට පටන් ගතිමි.