(අ)හිමි සිහින – 49

සාමාන්‍යයෙන් ගැහැනු ළමයෙක් අවුරුදු විසි හතර විසි පහ පහු කරනකොට වටේ පිටේ මිනිස්සුන්ට අහන්න තියනවා ප්‍රශ්නයක්.”බඳින්නේ නැද්ද ළමයෝ..බලන්නකො වයස යනවනෙ.”කොහොමහරි බැඳගත්තට පස්සේ එදාට පහුවදා ඉඳන්ම දරුවෙක් ගැන අහන්න පටන් ගන්න මිනිස්සු එක දරුවගෙන් පස්සේ ළමයි දෙන්නා ගැන වද වෙනවා.

“ඕවා ඉතින් හිතවත්කමටත් අහන කතා..”

කාටහරි එහෙම කියන්න පුලුවන්.ජීවිතේ අතිශය සංවේදී කාරණා ගැන හාර හාර හොයන එක, අහන එකේ කිසිම සංවේදීකමක් නැහැ.ඒක ඇත්තටම නරුමකමක්.මට ඒක හරියටම දැනෙන්න පටන් ගත්තේ බොහෝ අයට “නුවරදී ඇත්තටම සිද්ධ වුණේ මොකක්ද කියලා අහන්න ඕනෑ වෙනකොට.අසංකගේ වැරදි හාරාවුස්සන්න පටන් ගන්නකොට.

“දැන් ඉතින් ආයේ බඳින්න..”

ඒකත් මහම මහා හිසරදයක් ගෙනා යෝජනාවක්.ආදරයක් අහිමි වූ ජීවිතයේ හොඳම කාලය අහිමි වූ මට මොකෙක් හරි මිනිහෙක් ඕනෑ වුණේ නැහැ.නමුත් මටත් මොකෙක්හරි මිනිහෙක් ඉන්න ඕනෑ කියලා මිනිස්සු කියනකොට මට මහා කලකිරීමක් එන්න පටන් ගත්තා.

ඒ අතරේ මගේ රැකියාවත් මට එපා වෙන්න පටන් ගත්තා.එකම තැනක කොටු වුණු ගතියක් දැනෙන්න පටන් ගත්තා.මම බොහෝ දේවල් අත්හදා බලන්න ආසාවක් ඇති කෙනෙක්.නමුත් මට හැමදාම උයන්න පිහින්න සිද්ධ වුණේ එකම දේවල්.ඒක හරිම කම්මැලි වෙන්න පටන් ගත්තා.මට මගේ ක්ෂේත්‍රය කවමදාවත් එපා වුණේ නැහැ.නමුත් මෙතැන මේ රැකියාව තවදුරටත් කරන්න ඕනෑද කියන හැඟීම මට තදින් දැනෙන්න පටන් ගත්තා.

මට අවශ්‍ය වුණා පලා යන්න! ඈතකට පලා යන්න!

Woman alone and depressed at seaside

ලංකාවෙන් යන්න තීරණය කළ මම ඒ වෙනුවෙන් වැඩ කරන්න පටන් ගත්තා.මේ කාලේ ගැන නම් මට අදහසක් නැහැ.නමුත් ඒ කාලයේ පිටරටකට යාමේ උවමනාව සහිත මිනිස්සුන්ගෙ උවමනාව මාෆියාවක් කරගන්නා කොටසක් තමයි මට මුණ ගැහුණේ.මම ලංකාවේ හැම අස්සක මුල්ලක ඉන්න Student visa කරන අය හොයාගෙන ගියා.එක අවස්ථාවකදී මට මුණ ගැහුණු ලස්සන හැඩකාර කෙල්ලක් ආයෙත් වසර ගණනකදි මට මුණ ගැහුණා.එතකොට මමත් ඇයත් ක්ෂේත්‍ර දෙකකින් ජනප්‍රිය චරිත දෙකක් වෙලා අවසන්.රූපවාහිනී වැඩසටහන් වෙනුවෙන් අපි මුණ ගැහුණා.

ඇත්තටම මේ මාෆියාවලදී අනවශ්‍ය කාරණාවලට පවා අස්ප ගණන් ඉල්ලන්න ඒජන්සි කටයුතු කරා.ඇත්තටම එහෙම මුදල් අය කරන බව විදේශීය විශ්ව විද්‍යාල දන්නෙත් නැතුව ඇති.ඒත් ලංකාවේ මිනිස්සුන්ගේ තියන ගතිය ගැන ලියන්නවත් කියන්නවත් වචන නැහැ.IELTS විභාගයට කිසිම පන්තියකටවත් නොගිය මට 8.5 මට්ටමේ ඇකඩමික් ලෙවල් ලකුණක් ලබා ගන්න ඒ කාලයේ හැකි වුණා.ඒ වුණත් මට මගේ හීනය වෙනුවෙන් වෙහෙසෙන එක ඇති වුණේ වීසා දෙන ආයතනවල ඇති ප්‍රෝඩාව නිසාමයි.

“මේ විදියට සල්ලි නාස්ති කරන්න පුලුවන්ද?”

මට එහෙම හිතෙන්න ගත්තා.ඒත් එක්කම දේපල පෙන්වා තමන්ගේ වත්කම තහවුරු කරන කාරණාවට අම්මලා ඈඳා ගන්නත් මට බෑ කියලා හිතෙන්න ගත්තා.ඒ නිසා රටෙන් පලා යාමේ අදහස මගේ හිතෙන් මැකෙන්න පටන් ගත්තා.

නමුත් රැකියාවේ වෙනසක් කරන්න ඕනෑ.මම එහෙම හිතමින් රස්සා ගැන හොයන්න පටන් ගත්තා.ප්‍රමුඛතම සමාගමක දැන්වීමක් මගේ ජීවිතය තවත් අඩි ගාණක් ඉහළට ඔසවා තබන්නට සූදානමින් ඉන්න බව මට දැනුණේ නැහැ.නමුත් මම ඒ රැකියාවට අයදුම් කරා.

අද ඔබ දකින මම ගොඩ නැගෙන මුල්ම පියවර පටන් ගත්තේ අන්න එහෙමයි.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles