අසම්පූර්ණ අම්මලා.

වෙළඳ ප්‍රචාරක ආයතනයක් වූ අපේ කාර්යාලය එදා බොහොම කාර්යබහුල වෙලා තිබුණේ.මව්වරුන්ගේ දිනය අත ලඟටම ඇවිත්.මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපි බොහෝ දේවල් කරන්න ඕනෑ.ඒ වෙනුවෙන් ස්ලෝගන් එකක් හදන්න,වෙළඳ දැන්වීම් නිර්මාණය කරන්න තව බොහෝ කාරණා කරන්න අපිට සිදු වෙලා තිබුණා.

“මීටින් එක දහයට.”

මම ඒ මොහොතේ හිටියේ කිසිම අදහසක් නැතුව.අලුත් අදහසක් නැතුව මීටින් රූම් එකට යාම ඇත්තටම හරි භයානකයි.අපේ ප්‍රධානියාගෙන් හොඳ බැනුමක් අහ ගන්න ඒ කාරණාව ඕනෑවටත් වඩා ප්‍රමාණවත්.මම තවමත් අදහසක් සොයමින් හිටියේ.

“ඇත්තටම මම මොකක්ද කියන්නේ?”

එහෙම කල්පනා කරමින් ඉන්න මම ළඟට ආපු රාධිකා මම සූදානම් ද අහනකොට පවා මම හිටියේ තිගැස්මෙන්.හොඳ බැනුමක් අහන්න හිත හදාගනිමින්.රාධිකාට වීඩියෝ ඇමතුමක් ආවේ ඒ මොහොතේ.අපේ කාර්යාලයේ වගකියයුතු නිලයක් දරන රාධිකා ඒ ඇමතුමට සම්බන්ධ වෙන හැටි මම බලාගෙන හිටියා.කතා කරන්නේ ඇගේ නිවසේ සේවිකාව.රාධිකාගේ පුංචි පුතා උස් හඬින් හඬන සද්දේ ඇහෙනවා.ඒ සද්දේ පරයා සේවිකාව කතා කරනවා.

“ඇයි බබා අඬන්නේ?”

ඒ ප්‍රශ්නයට සේවිකාව දුන් උත්තරේ මටත් ඇහුණා.”බබාගේ කෑම ඉවර වෙලා.” රාධිකා හරි කලබලයකින් කෑම ඕඩර් කරන්න පොරොන්දු වෙන හැටි මම බලාගෙන හිටියා.අසම්පූර්ණ අම්මෙක්!

ඇත්තටම අම්මා කෙනෙකුට අසම්පූර්ණ වෙන්න පුලුවන්ද? අපේ තවත් මිතුරියක් රාධිකාව සනසන මොහොතේ පවා මම කල්පනා කළේ ඒ ගැන.

“අම්මා කෙනෙකුට අසම්පූර්ණ වෙන්න පුලුවන්ද?”

අදහස් යෝජනා එක්ක අපේ මීටින් එක ආරම්භ වුණා.අම්මා කියන්නේ කොහොම කෙනෙක් ද කියන මේ ගැන එක එක ජාතියේ අදහස් පළ වෙන්න පටන් ගත්තා.

“අම්මාවරුන්ගේ දිනය වෙනුවෙන් අපි කරන කැම්පේන් එක ගැන හිටනකොටම මම කල්පනා කරන්න ගත්තේ මගේ අම්ම ගැන.මම පියාගෙන ඒ ගැන ටිකක් හිතුවා.අම්මා කියන්නේ සුපර් වුමන් කෙනෙකුට.ඇය ඉතාම පරිපූර්ණ කෙනෙක්.”

විවේක් එහෙම කියනකොට අභිමන් එයාගේ අදහසට පොහොර දාන්න පටන් ගත්තා.

“කෙනෙක් වෙනවා කියන්නේ කාන්තාවක් එයාගෙ ජීවිතේ විවිධ චරිත බොහොම පරිපූර්ණව කරනවා කියන එකට.”

ඒ අදහස නැගලා යන එකක් වෙන්න වැඩි වෙලා ගියේ නැහැ.අම්මා කෙනෙක් කියන්නේ අත් දහයක් තියනවා වගේ උයන,ගෙවල් අස් කරන, බබාලා බලාගන්න, රස්සාවක් කරන,රෙදි හෝදන කෙනෙක් කියලා හැමෝම කියන්න ගත්තා.

“අම්මා කියන්නේ පරිපූර්ණ ගැහැනියකට”

මව්වරුන්ගේ දිනය වෙනුවෙන් අපේ කැම්පේන් එකට ස්ලෝගන් එකක් නිර්මාණය වෙන්න පටන් ගත්තේ එහෙම.මම කිසිම අදහසක් පළ කළේ නෑ.ඒත් මම රාධිකා දිහා බලාගෙන හිටියා.ඇය ඉන්නේ මේ ලෝකේ නෙවෙයි.අපේ ආයතන ප්‍රධානියා ඇය දිහා බලන්න ඇත්තේ ඒකයි.

“රාධිකා මොකද ඒ ගැන හිතන්නේ”

එහෙම අහනකොට ඇය ගැස්සිලා ගියත් අදහසට එකඟ බව කියන්න අමතක කරේ නෑ.මට නම් විශ්වාසයි ඇය මේ කිසිම දෙයක් අහගෙන නොහිටි බව.ඇය ඉන්නේ දුකකින්.තමන්ගේ පුංචි පුතාට ආහාර පිළියෙළ කරන්න අමතක වීමේ දුකකින්.මේ වෙනකම් කිසිම නොආපු මට එකපාරම අදහසක් මතු වුණේ වේදනාබර මුහුණ දිහා බලාගෙන ඉද්දි.මීටින් එක ඉවරයි කියලා හැමෝම නැගිටින්න යද්දි කියන්න දෙයක් ඇති බව මම කිව්වේ ඒ නිසා.සමහරු මුහුණ නරක් කරගන්නවත් මම දැක්කා. ඒ වුණාට මට කතා කරන්න දෙයක් තිබුණා.

“මම හිතන්නේ අම්මා කෙනෙක් පරිපූර්ණ වෙන්න ඕන නෑ.”

මම එහෙම කියනකොට හැමෝම මම දිහා බලාගෙන හිටියේ පුදුමයෙන්.

“අම්මා කෙනෙක්ට අත් දහයක් තියනවා කියල ඇයව පීඩනයට ලක් කරන්නේ ඇයි?එයා හැම වැඩක්ම ටක්කෙටම කරයි කියලා බලාපොරොත්තු වෙන්නෙ ඇයි?වැඩ දහයකින් වැඩ දෙකක් විතරක් එයා සම්පූර්ණ කරාට කමක් නෑ කියලා හිතන්න..එයාට හොඳ නින්දක් ලබලා උදේ කෑම වේල අතපසු උනාට කමක් නෑ.බබාව ඉස්කෝලෙ එක්ක යන්න පරක්කු වුණාට කමක් නැහැ.එයාට බබාගේ හෝම්වර්ක් වලට උදව් වෙන්න බැරි වුණාට කමක් නෑ.එයාට බබාගේ ඩයපර් එක මාරු කරන්න අමතක වුණාට කමක් නෑ.”

එහෙම කියාගෙන ගිය මම රාධිකාගේ මුහුණ දිහා බැලුවා.මට කියන්න තවත් දෙයක් ඇති බව මට හිතුණේ ඊට පස්සේ.

“එයාට බබාට කෑම හදන්න අමතක වුණාට කමක් නෑ.”

රාධිකා මම දිහා බැලුවේ පුදුමයකින්.මම දිගටම කතා කරමින් හිටියා.හැමෝම මම දිහා බලා හිටියේ පුදුමයෙන්.හැබැයි හැමෝගෙම මුහුණුවල සුහදශීලි හිනාවක් තිබුණා.

“ඒ හැම දෙයක්ම වෙන්න පුලුවන් දේවල්.වුණාට කමක් නැති දේවල්.අම්මා කෙනෙක් අසම්පූර්ණ වෙන්න පුලුවන්.ඒක වෙන්න පුලුවන් දෙයක්.එහෙම වුණාට කමක් නෑ.”

හැමෝම නිහඬව බලාගෙන හිටියා.අපේ ආයතන ප්‍රධානියා මම දිහා බැලුවේ ලොකු හිනාවකින්.

“ඒ අදහස විශිෂ්ට එකක්.ඔහු එහෙම කිව්වේ හදිසියේ.මම පුදුමයකින් ඔහු දිහා බලාගෙන හිටියා.

“අම්මා අසම්පූර්ණ වුණත් පරිපූර්ණ කෙනෙක්.”

අපේ මව්වරුන්ගේ දිනයේ තේමාව වුණේ ඒ දේ.අම්මා කෙනෙක් කියන්නෙත් මනුස්සයෙක් බව අපි බොහෝ වෙලාවට අමතක කරනවා.හැමදෙයක්ම පරිපූර්ණත්වයකින් කරන්න බැරි වෙලා දුක්මුසු හැඟීමකින් ඉන්න අම්මලා මේ මහ පොළොව මත ඕනෑතරම් ජීවත් වෙනවා.නමුත් ඔබ අම්මා කෙනෙක් නම් ඔබේ අසම්පූර්ණ බව ගැන දුක් වෙන්න එපා.

ඔබ අසම්පූර්ණ වුණත් පරිපූර්ණ අම්මා කෙනෙක්!!

(2022 මව්වරුන්ගේ දිනය වෙනුවෙන් නිර්මාණය වූ ඉන්දීය වීඩියෝ පටයක් ඇසුරෙන් කළ අනුවාදනයකි)

More Stories

Don't Miss


Latest Articles