කදෝකිමි ඇස් – 03

0
4485
කදෝකිමි ඇස්

මේඝ හුන්නේ සඳැල්ලට වී ය.ඈත අහසේ අප්‍රමාණ තාරකා දෙස ඔහු බලා සිටියේ සිතුවිලිවලින් බරව ය.ඒ තාරකා හරියට කදෝකිමි ඇස් වාගේයැයි ඔහුට සිතිණ.මේඝ ඒ වචනයට මනාප ය.”කදෝකිමි ඇස්” ඒ මේකලා මායාදුන්නේගේ අලුත්ම නවකතාව ය.ඉංග්‍රීසි භාෂාවෙන් ඉගෙන ගන්නා දරුවෙකු ව සිටි තමන් සිංහල භාෂාවට පෙම් බඳින්නට ගත්තේ මේකලාගේ පොත් නිසා බව මේඝට මතක ය.

“ලස්සන පොතක්.පුතා කැමතිද?”

හැරී පොටර්ගේ කෘති ගණනාවක් තුරුළු කරගෙන පොත් තෝරමින් සිටි හත් හැවිරිදි කොලුවාගෙන් තාත්තා එසේ ඇසුවේ නෙත් ඇදී යන අන්දමේ පිටකවරයක් සහිත සිංහල පොතක් රැගෙන විත් ඔහු අත තබමිනි.

“මට කියවන්න බෑනෙ..”

කුඩා මේඝගේ හිස මත අතක් තැබූ තාත්තා හිනැහුණේ ය.ඒ මම පුතාට කියා දෙන්නම් අන්දමේ බැල්මකි.ඔහු තාත්තා ගැන සම්පූර්ණ විශ්වාසය තබා ඒ සිංහල පොත ගෙදර ගෙන ආවේ ය.

“මේ මොන වසංගතයක්ද?”

මේඝ රැගෙන ආ පොත් පරීක්ෂා කරමින් සිටි මේඝගේ අම්මා ලක්ෂි ඒ සිංහල පොත දෙස බලා සිටියේ ගිනි ගන්නා දෑසකිනි.”කලබල පුංචා” පිටකවරයට වී අම්මාගේ දෑස් දෙස් බියෙන් බලා සිටිනා බවක් මේඝට සිතිණ.ඔහු අම්මා දෙස බැලුවේ බියෙනි.

“මේක තාත්තද අරන් දුන්නේ ආ?”

අම්මා සහ තාත්තා රණ්ඩු ඇල්ලීම තරම් බියජනක දෙයක් මේඝට කොහොමටත් නොවේ.ඔහු වහා වරද පිළිගත්තේ ය.ඒ පොත ලස්සන පාට ය.පාසලේ සිංහල ගුරුතුමියගෙන් අසා ගන්නට ඒ පොත ගත්තේ තමන් ය.අම්මා පුතුට රැවුමක් පා කළේ ය.

“ඔයා පේ කරනකොට දැක්කේ නැද්ද මේ වසංගතේ?”

ලක්ෂි එසේ අසද්දී මේඝගේ තාත්තා මහේන් නෑසුණු කන්ව ඉවත බලා ගත්තේ ය.මෙතැන ඇති ලොකුම බිය ඇය එහි පිටුවක් හෝ කියවීම ය.ඒ පොතෙහි සිටින කුඩා කොලුවාගේ නම මේඝ බව දුටුවොත් ලක්ෂි නතර වන්නේ දික්කසාදය පතා නීතිඥවරයෙකු වෙත ගොස් බව මහේන් එදා දැන සිටියේ ය.

මේඝ අම්මාට එරෙහි වීම ඇරඹුවේ එදා පටන් ය.අම්මාගේ නීති කමකට නැති ඒවා බව ඔහු දනියි.ඒවා ප්‍රශ්න කිරීම මහත් සන්තෘශ්ඨියක් කරගනිමින් උස්මහත් වෙද්දී අම්මා වඩවඩාත් කිපුණු බව ද ඔහු දනියි.ඇගේ සතුට වෙනුවෙන් ඔහු කළ එකම දෙය නේහා සමඟ ප්‍රේමයක් ඇති කර ගැනීම පමණ ය.එපමණ ය.අනෙක් සියල්ලම ඔහුගේ තීරණ ය.

“ඉස්කෝලේ කාලේ වෙන ළමයෙක් එක්ක සම්බන්ධයක් තිබ්බා නේද?”

අම්මා නේහා ගැන අප්‍රමාණ පුරාජේරු කියවද්දී තාත්තා එසේ ඇසූ අන්දම මේඝට මතක ය.ඔහු ඒ ප්‍රශ්නය ඇසුවේ සෘජුව ය.තාත්තා එවැනි ප්‍රශ්න නාහන හන්දා මේඝ කලබලයට පත් විණ.

“ඒක..ඒක නැවතිලා කාලයක්.”

එසේ කියද්දී තාත්තා ඊළඟ ප්‍රශ්නයට ගියේ ය.

“නේහා නිසා නැවතුණා..”

එවැන්නක් සිදු නොවූ බවත් පළමු පෙම්වතිය සහ තමන් අතර බොහෝ අසමානතා පෙනුණු බවත් කියන්නට මේඝ සැලකිය යුතු වෙලාවක් වෙන් කළේ ය.තාත්තා මෙවැනි ප්‍රශ්න අහන්නේ ම නැත.එනිසා පිළිතුරු දෙන්නට කොහොමටත් ලෙහෙසියෙන් නොහැකි ය.

“ආදරේ කරද්දී පරිස්සමින්.අපි ඉක්මනින් අයින් වෙනව.ඉක්මනින් හිත හදා ගන්නවා.ගෑනු ඒ තුවාල අවුරුදු ගණන් විඳවනව.සමහරවෙලාවට හිත හදා ගත්තා කියලා පෙන්නන්න ජීවිතේ ම රැවටිල්ලක් කරගන්නව..”

තාත්තා එසේ පැවසූ අන්දම ද මේඝට සිහි වේ.කදෝකිමි ඇස් නම් වචනය දිග බොහෝ දුරක් ගිය බව ඔහුට සිතුණේ කාමරයේ දොර සන් වෙද්දී ය.ඔහු දොර හැරියේ අම්මාගේ බැනුම් වැස්සකට හිත හදා ගනිමිනි.අද හවස් යාමයේ නේහා ඇල්ලූ රණ්ඩුව අවසන් වන්නේ අම්මාගෙන් බව ඔහු දනියි.නේහා ඉකිලමින් අම්මාට ඇමතුමක් දීම අනිවාර්යය දෙයකි.එය අසා හිඳීම මිස කරන්නට දෙයක් නැත.

එසේ සිතමින් දොර විවර කළ මේඝට අම්මාගේ රතුව ගිය වත වෙනුවට දිස් වූයේ තාත්තා ය.ඔහු වහා සිනාවක් නගා ගත්තේ ය.

“එන්න තාත්තා..”

තාත්තා ළඟින් මදු සුවඳක් ගලා එයි.අද ඔහු අඩ මතකින් වාගේ ය.මේඝ තාත්තා දෙස බලා සිටියේ ය.තාත්තා මේඝගේ ඇඳ මත හිඳ ගනිද්දීම එහි පසෙක වූ පොත ඔහු අතට ගියේ ය.

“කදෝකිමි ඇස්”

අන්ධකාරයට පවා මඟ කියන එළි තිත් කිහිපයක කවරය දිග මහේන් දෑස් රැගෙන ගියේ ය.පසු කවරයේ හිඳින මේකලාගේ රුව වෙත ඔහු දුන්නේ එක් නෙත් බැල්මකිනි.දැන් ඈ පනස් විය ද ඉක්මවූ ගැහැනියකි.නමුත් පෑනක විල්ල සපමින් ගණිත ගැටළු වරද්දා ගන්නා දැරියක් ඔහුගේ දෑසේ ඇඳී මැකී ගියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here