බත්ගස ලබාදෙන මහඟු තිළිණ ගැන ඔබ දැනුවත්ද?

වර්තමානයේ බොහෝදෙනා විවිධ ආහාර පාන පෝෂ්‍ය ගුණයෙන් සපිරි ආහාර ලෙස ලබා ගත්තද අපගේ දේශීය වස විස නැති ආහාරවල ඇති පෝෂ්‍ය ගුණය මිල කළ නොහැකිය. බත්ගස ලෙසින් හඳුන්වන කොස්‌ගසෙහි හටගන්නා කොස්‌ ඵලද එලෙස පෝෂ්‍ය ගුණයෙන් අනූන ආහාරයකි. එසේම වස විසවලින් තොර වූ ඉතා සුරක්‌ෂිත ආහාරයකි.

කොස්‌ ඵල පමණක්‌ නොව පත්‍රද ඉතා පෝෂ්‍යදායී ආහාරයක්‌ වේ. කොස්‌ සහ වැල දලු මැල්ලුම් ලෙස සකස්‌ කර ආහාරයට ගැනීම ගුණදායකය. මෙම දලු වර්ග සතියකට වරක්‌ මැල්ලුමක්‌ ලෙස ආහාරයට ගැනීමෙන් සමේ වර්ණය පැහැපත්වීමට, පිළිකා නැසීමට, දත් මුල් ශක්‌තිමත්වීමට මල බද්ධය ඇති නොවීමට ගුණදායකය.

කොස්‌ ගෙඩියේ ළපටි අවස්‌ථාවේ සිට මේරූ, පැසුනු සහ ඉදුනු යන අවස්‌ථාවන්හි ඇති ගුණ එකිනෙකට වෙනස්‌ය. කොස්‌ පැළයක ළපටි අවධියේ පවතින ගෙඩි කුඩා දරුවනට ඉතා ගුණදායකය. දිරවීමේ පහසුව ඇති කරයි. මළ බද්ධය නැති කරයි.

කොස්‌ ඵලයක මේරූ අවස්‌ථාව පොළොස්‌ ලෙස හඳුන්වයි. මෙම අවස්‌ථාව වන විට ගෙඩියේ ඇට, මදුලු ආදිය ඉතා මෘදු තත්ත්වයේ පවතී. තම්බා හෝ මැල්ලුම් ලෙස සකසා ආහාරයට ගැනීම ශරීරයට ගුණදායකය. විශේෂයෙන්ම කිරිදෙන මව්වරුන් පොළොස්‌ ආහාරයට ගැනීමෙන් මව්කිරි වඩයි. කිරි ගැට මතුවීම, මව්කිරි නිපදවීම අඩුවීම ආදී කිරි එරීමේදී මතුවන ගැටලු නැති කර දමයි.

පොළොස්‌වල ඇති තවත් ගුණයක්‌ වනුයේ කාන්තාවන්ගේ සහ පිරිමින්ගේ ලිංගික හෝමෝන නිපදවීම වර්ධනය කිරීමට උපකාරී වේවීමයි. එනිසා සතියකට වරක්‌ හෝ පොළොස්‌ ආහාරයට ගැනීමෙන් ප්‍රජනන ශක්‌තිය වර්ධනය කරගත හැකිය. මද සරු බවින් පෙළෙන කාන්තාවන් සහ පිරිමින්ට පොළොස්‌ ඉතා ගුණදායී ආහාරයකි.

 හොඳින් පැසුණු කොස්‌ ගෙඩියක පිෂ්ඨය බහුලව ඇත. කොස්‌ පැසුණු අවස්‌ථාවේදී ආහාරයට ගැනීමේදී බත් සමග එළවළුවක්‌ ලෙස නොව බත් වෙනුවට ගනු ලබන තවත් ප්‍රධාන ආහාරයක්‌ ලෙස සකසා ගතහැක. පැසුණු කොස්‌ හොඳින් තම්බාගත් පසු එහි ඇති කෙඳි සහිත බවද ඉහළ නිසා කොස්‌ ආහාරයට ගැනීමෙන් මළ බද්ධය නැතිකර ගතහැක.

කොස්‌ ඵලයක ඉදුණු අවස්‌ථාව වරකා  වන අතර ඉතා ගුණදායි පලතුරකි. විශේෂයෙන්ම පුරුෂයන්ගේ ශුක්‍රාණු වර්ධනයට ගුණදායීය. වරකා මදුලු කිහිපයක්‌ හොඳින් මිරිකා යුෂ ගෙන පානය කිරීම ශුක්‍ර වර්ධනයට දිව ඔසුවක්‌ බව සෘෂි නාඩි වෛද්‍යවරු සඳහන් කර ඇත.

කොස්‌ රාත්‍රියට ආහාරයට ගැනීම එතරම් ගුණදායි නැත. මන්ද මෙහි පිෂ්ඨය අධිකවීම සහ තන්තුමය ගුණයද වැඩි නිසා දිරවීමේ අපහසුතා ඇතිවේ. එනිසා බඩේ අජීර්ණය, බඩ පිපුම ආදිය මතුවිය හැකිය. දිවා ආහාරයක්‌ ලෙස හෝ උදෑසන ආහාරයක්‌ ලෙස ගැනීම වඩාත් ගුණදායකය.

අධික මිලක් ගෙවා ඔබ ලෙඩ කරවන ආහාර වෙනුවට කොස් වැනි නීරෝගී බව කැන්දන ස්වාභාවික ආහාර එකතු කරගැනීමට අද පටන්ම උනන්දුවෙමු.

– කල්හාරී –

Related Articles

Don't Miss


Latest Articles