අම්මා ගේ උරහිස මත නිකට රන්දා ගෙන අමාරසී බලා සිටියා ය. තාත්තා බිස්කට් ටින් එකට තට්ටු කරමින් තාල ඇල්ලුවේ ය. දෙතුන් වතාවක් ඇවිටිලි කිරීමෙන් පසු දිසත් හෙමිහිට හඬ අවදි කළේ ය.
“ගහක මල පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී…හිතක මල් පිපිලා පිපෙන්නේ ඇයි ද නොදන්නෙමී…නුඹට සිත බැඳුණේ කිමැයි මා තව ම නො දන්නෙමී…නුඹට සිත බැඳි කාරණේ මම තවම සොයන්නෙමී…”
දිවුල්ගනේ ගේ ගැඹුරු ශාන්තිදායක හඬින් ගයන්නට ඔහුට හැකි වෙතැයි අමාරසී ට නම් සිතුණේ ම නැත. ඇය එක්තරා ආකාරයක දැහැනකට සම වැදුණා සේ ඔහු ගේ වත දෙස බලා ගෙන ම සිටියා ය.
“කතරෙ වැලි කැට හිරුට පෙම් බැඳ ඇතත් ලෝ දහමෙන්…සොඳුරු වැස්සට දැවෙන කතරක් ආදරෙයි පණ මෙන්….ලොවට නොපෙනෙන අරුම සෙනෙහස ඒ වගෙයි මනරම්…කරනු බැරි තහනම්…”
“රොස් වෙනව”
කියා ගෙන එක් වන ම නිර්මලා කලබලයෙන් හැරුණා ය. ඇගේ උරහිස මත තියා උන් අමාරසී ගේ නිකට ගැස්සී බෙල්ලට මොකක්දෝ විය. තව දුරටත් දිසත් ගේ ගීතය දෙස බලා සිටිය යුතු වී ද අම්මා කුස්සියට ගිය නිසා මෙතැන රැඳී සිටීම එතරම් හොඳ නැති සෙයක් ඇය ට දැනිණ. ඒ නිසා බෙල්ල හා උරහිස අතරේ රිදුම් දෙන තැන පිරිමදිමින් ඇය කුස්සියට ගියා ය.
“එයාගෙ මහත්තයගෙ සින්දුවනං හුස්ම අල්ලගෙන කටත් ඇරගෙන අහං හිටිය. දිසත් ගෙ සින්දුව ඉවර වෙනකල් හිටියෙ නෑ”
කියන නෝක්කාඩුව ඇගේ සිතේ විය. නමුත් අමාරසී එය නිර්මලා ට ඇහෙන්නට කීවේ නැත. සින්දුව කියනයුරු බලා ගෙන එතැනට වී සිටිය නො හැකි වී ද ඇගේ සිත රස මිහිරක පා වෙමින් ඇති වග යුවතියට දැනේ. කාලයක් තිස්සේ හිස් ව තිබි හදවතේ අහු මුළු සිසාරා ඒ මිහිර ඉතිරී පැතිරී යන බවක් ද ඇය ට දැනේ. කාටවත් කියන්නේ නැති ව, හද දොරටු තදින් වසා ඒ මිහිර හද තුළ සිර කර ගත් විට දැනෙනා හැඟීම හරි මනරම් ය.
තාත්තා ගේ හඬ තරම් උස් ව දිසත් ගේ හඬ කුස්සිය තෙක් පැමිණෙන්නේ නැත. එහෙන් මෙහෙන් වචනයක් දෙකක් ඇහෙනවා පමණි. අමාරසී ඒ නො පැහැදිලි හඬ අල්ලා ගනු වස් වඩා හොඳින් සවන් පෑවා ය.
“ඔය පපඩං ටික බැදල ගන්න”
රොස් වූ ව්‍යාංජනය වෙනත් ඇතිළියකට හිස් කරමින් නිර්මලා ඉක්මන් හඬින් කීවා ය. අමාරසී පපඩම් තීරු කපන්නට ගත්තා ය.
“තාත්තට වගේ සින්දු කියන්නනං බෑ රසීගෙ බොස්ට”
නිර්මලා කීවේ උජාරුවෙනි. අම්මා ගේ දෙතොල් මත්තේ ආඩම්බරකාර සිනහවක් ද තිබෙනු අමා දුටුවා ය. කට කොනකට නැගි සිනහව තද කර ගත්තා මිස යුවතිය කිසිත් කියන්නට නො ගියා ය.
“සිහින දෙව්දුවේ ඔබට තුන් ලොවේ එකම නමයි මා දන්නේ ඒ නම ආදරේ”
නැවතත් අජිත් ගේ ගී හඬ උස් ව හමා ආවේ ය. නිර්මලා දෙතොල් තද කර ගත් සිනහවකින් තසිම් වලට ව්‍යාංජන බෙදමින් තමන්ට ම මෙසේ මිමිණුවා ය.
“තාත්ත ලස්සනටම කියන්නෙ ඔය සින්දුව”
“සඳෙහි ළප තියේ මලේ කටු තියේ..උපමා නෑ සසඳන්නේ ඔබෙ නම ආදරේ”
අමා රත් වූ තෙලට පපඩම් ටික දැමුවා ය. සරස් හඬක් නැගී ඒවා පිපෙන්නට විය.
“චන්දන දියෙන් දොවාලා.. ඔබෙ නළලෙ අත තියාලා..මම ඔබ ළඟයි කියාලා..දෙමි ලේ වලින් ලියාලා”
තාත්තා සිය තරුණ වියෙහි දී අල්ලපු ගෙදර සිට ඔය ගීතය ගයනා විට අම්මා අසා සිටි අයුරු මවා ගන්නට අමා උත්සාහ කළා ය. දැනුත් ඒ හඬ ඈ ප්‍රබෝධයට පත් කරත්දී එදා තත්වය කෙසේ වන්නට ඇත්දැයි සිතා ගන්නට පුළුවන.
“කල්‍යාණි නමට අම පෙම්…දිවි බඳුන පුද කරන්නම්…ඉපදුණිද බවෙක කිසියම්…මුළු සසරෙදි ම ඔබෙයි මං..අවසාන මොහොත වේවා..ඔබ ළඟදි ළඟා වේවා..”
“රසී”
නිර්මලා ගේ හඬින් අමා ගැස්සුණා සේ ය.
“මං ඔය ටික බැදල ගන්නං. ඔයා මේසෙ ලෑස්ති කරන්නකො. ඉක්මනට කන්න දුන්නහම බොන එකත් ඔතනිං නැවතෙනවනෙ”
නිර්මලා අමා අතින් තෙල් හැන්ද ගත්තා ය. බුද්ධ පූජාව පිළිගන්වනවා වන් භක්තියකින් යුවතිය කෑම මේසය සූදානම් කළා ය. පපඩම් ටිකත් මේසය මතින් තැබූ නිර්මලා ඉස්තෝප්පුවට කර පොවා “කෑම නං ලෑස්තියි” කීවා ය. ඒ එක විධානයෙන් දිසත් නැගී සිටියේ ය.
“එහෙනං ඉතිං මොනා කරන්නද…කමු නේ…”
කියමින් අජිත් ගෙතුළට හැරිණි. නිර්මලා ද ඔහු පසු පස ගියා ය. ඉස්තෝප්පුවේ ඉතිරි වූ අමාරසී දිසත් දෙස බැලුවේ මඳ නෝක්කාඩු බැල්මකිනි. ඔහු සිනහවක් නගා ගත්තේ ය.
“බිව්වෙ නෑ ළමයො. තාත්තගෙ හිත හැදෙන්න මේ ටික තියං හිටිය විතරයි”
ඔහු වීදුරුව අතට ගෙන පෙන්වා යළි ටීපෝව මත තැබුවේ ය.
“එයා ආස දේ වෙනකොට තාත්තව ඔය ලිමිට් එකේ තියා ගන්න පුළුවන්. එයාට ඕනෙ කතා කරන්නයි සින්දුවක් කියන්නයි තමයි”
“එමු එමු පුතා. කෑම ටිකක් කාල ඉමු”
කියමින් නැවතත් අජිත් ගෙතුළින් ඉස්සරහාට ආවේ ය. අමා දිසත් දෙස බලා පෙරට වූවා ය. ඈ පසු පස ඔහු හෙමිහිට කෑම කාමරය වෙත ආවේ ය.
“අපේ නෝනගෙ කෑම කාල නෑනෙ පුතා…”
දිසත් වහා අමාරසී දෙස බැලුවේ ය. ඇගේ ඇස් වල ගැස්මක් විය. ටික කලක සිට ඔහු දවල් ට කන්නේ නිර්මලා පිසින කෑම බව දෙදෙනා ම නො කියා සිටියහ.
“ගෑනියෙක්නං ඒ වගේ කටට රහට උයන්න පුළුවන් වෙන්න ඕන පුතා. ඒකට අපේ රසී…”
පුටුවක් ඇද අජිත් මේසයට හිඳ ගත්තේ දිසත් ගේ පිඟානට බත් බෙදමිනි.
“අනේ තාත්තෙ”
ඈ ගැන යමක් කියාවියි අමා බිය වූවා ය.
“ඇයි අමාට උයන්න බැරිද…”
දිසත් ගේ මුහුණේ සිනහවක් විය. ඒ ඇස් වල දීප්තිය දැන් වැඩි යයි අමාට සිතුණේ ය.
“අපෝ පුළුවන්. කන්න තමයි බැරි”
අජිත් හඬ නගා හිනැහුණේ ය. නිර්මලා අජිත් ගේ පිඟානට බත් බෙදන්නට වූවා ය. ඇය ඒ කළේ මහත් ආශාවෙනි. මේ ගෙදර කවදත් මුල් ම බත් පිඟාන බෙදුණේ ඔහු වෙනුවෙනි. ළමයින් ට බඩගිනි හැදෙන්නට පෙර නිර්මලා අජිත් ගේ බත් පිඟාන බෙදා වෙන් කොට තබන්නී ය.
“අපි ඒ උඩ බත් ටික කෑවොත් මොකද දන්නෑ වෙන්නෙ නේ…”
ඉස්සර රුක්ෂාන් එ් ගැන නිතර ආඩපාලි කියන්නේ ය.
“මුකුත් නෑ. ඔයත් කසාද බැඳල ගෙදර ගෘහ මූලිකය වෙච්ච දාට නෝනා බත් මුට්ටියෙ මුල් ම බත් පිඟාන ඔයාට වෙන් කරල තියයි”
අජිත් සිහි විකල් වෙන්නට ම මත් වී ඇවිත් වමනය දමා ගෙන වැටුණු තැනක නිදා ගන්නා බොහෝ රැය වල ඒ බත් පිඟාන මේසය මැද්දේ කූඩය යට වැසූ ලෙසට ම තිබී, පිළුණු වී උදේ ට විසි කරන්නට සිදු වේ. කුණු කූඩයට ඒ බත් පිඟාන හලනා හැම උදයක ම නිර්මලා ගේ පපුවේ වන්නේ ගින්දරකි. අජිත් රාත්‍රියේ කුස ගින්නේ සිටීම ඊට හේතුවයි. ඇය බත් මුල් දෙකක් ඔහු ගේ ඔෆිස් බෑග් එකට දමා “උදේ ම කන්න” යයි දෙතුන් වර කියන්නේ රෑ හිස් බඩ උන් බව නොකියා කියමිනි. උතුරවා නිවා ගත් වතුර බෝතලයක් ද ඇය නො වරදවා ඔහු ගේ බෑග් එකට දමයි. ඒ පයිප්ප වතුර වල මළකඩ එන නිසාවෙනි. නමුත් තාත්තා රෑට ගෙට ගොඩ වන්නේ ඊට වඩා විෂ වතුර බීලා යයි එය දකින හැම විටෙක ම රුක්ෂාන් සමච්චලයෙන් කියයි.
“අපේ නිර්මලා අසනීප වුණ වෙලාවක මේකි උයන්න ගත්ත දවසක්…”
දිසත් හරි බරි ගැහී රස කතාවක් අසන්නට සූදානම් වූයේ ය.
“අපරාදෙ කියන්න බෑ මේ වගේ ලස්සනට මේසෙට ඇරල එහෙම මට තාත්තෙ කන්න කියල කිව්ව. මං ඇහුව අම්මට කන්න දුන්නද කියල ඔව් කිව්ව. මාත් මේසෙට වාඩි වෙලා…බෙදා ගත්තයි කියමුකො”
“ලුණු වැඩිද…”
“ලුණු වැඩිනං හිත හදා ගන්න පුළුවන් පුතා. ගොටු කොළ ගස් පිටිං උයල…වම්බටු හතරට කපල උයල…මාළු…මාළු මුහුදෙං අල්ලපු ගමං වගේ”
“තාත්…තෙ…”
“මගෙං අහනව ළඟට ඇවිත්…තාත්තෙ රසද කියල…”
දිසත් බත් පත දෙසට ම මූණ ඔබා ගත්තේ සිනහව පුපුරා නො යනු පිණිස ය.
“හරි නරකයි. අනිත් දවසෙනං එහෙමවත් උයල දෙන්නෑ. කඩෙං ගේන්න කියනව ගිහිං”
“මං මේ ලෙඩ ගෑනි ළඟට ගිහිං ඇහුව නිර්මලෝ ඔයා බඩ පිරෙන්න කෑවද කියල. මෙයා හිනා වුණ විදිහෙංම මට තේරුණා කාල තමයි කියල”
“මං දන්නවනෙ මෙයාට එහෙම හරියන්නෑ කියල. පස්සෙ මං අමාරු නොබලා රෑට ඉව්ව”
අමා තෙත් ඇස් ඉවතට හරවා ගත්තා ය.
“ඒ වුණාට එහෙම හරි ඒ ළමය උයල දුන්නනෙ..නේ අමා…”
ඇය කට තද කර ගෙන සිටියා මිස පිළිවදන් දෙන්නට ගියේ නැත.
ඒ පුංචි කෑම මේසය පුරවා ඕනවටත් වැඩිය සතුට තිබුණේ ය. අජිත් සතුටෙන් සිටිනා විට කතා සරිත් සාගරයකි. දිසත් ට කියන්නට කතා පෝලිමක් ඔහු ළඟ තිබිණි. ඉන් බොහොමයක් අමාරසී කිහිප වර අසා ඇති ඒවා ය. ඊටත් වඩා වාර ගණනක් නිර්මලා ඒවා අසා ඇත්තේ ය. නමුත් අජිත් රස ගල්වා කියත්දී නැවත ද වරක් මඳහස් මුවින් අසා ඉන්නට බැරි කමක් ඇත්තේ නැත.
“දැං එතකොට පුතාගෙ කෑම එහෙම…”
අජිත් දිසත් වෙතින් විචාලේ හදිසියේ සිහි වී ය. නිර්මලා තේරුම් ගත නො හැකි ව බැලුවා ය. දිසත් ඒ පුවත තාත්තා ට කියා ඇතැයි අමා වුව සිතුවේ නැත.
“ඒක නං කර ගන්න පුළුවන් අංකල්. කඩ වල තියනවනෙ”
“ඇයි…මිස්ට දිසත්ගෙ වයිෆ් කොහෙ හරි ගිහිංවත්ද…”
නිර්මලා සිය විමතිය තවත් සඟවා ගන්නට දැන සිටියේ නැත. සිය දෙපා සීතල වෙන්නට පටන් ගෙන ඇති බවක් අමාරසී ට දැනිණ. දිසත් හා අජිත් මුහුණෙන් මුහුණ බලා ගත්හ.
“අ..නෑ නිර්මලා…මේ පුතා..වයිෆ් ගෙං ඩිවෝස් වෙන්නලු යන්නෙ. එතකං දැනට හොටෙල් එකක ඉඳල තියෙන්නෙ. දැං මේ…ඇනෙක්ස් එකකට යන්නලු හදන්නෙ”
නිර්මලා හෙමිහිට හිස සැලුවේ ඒ ඔස්සේ බොහෝ දුර සිත දුවවමිනි. නමුත් ඇය ඒ ගැන කතා කළේ දිසත් නික්ම ගිය පසු කුස්සිය අස්පස් කොට දමා නිදන්නට ද ගිය ඉක්බිති ය.
“දැන් ඔය රසී ගෙ බොස් රසී ගැන අදහසක් තියාගෙනද මෙහෙ යන්නෙ එන්නෙ…”
අජිත් වහා හිස හරවා ඔහු ගේ වම් අත පැත්තේ වැතිර හිඳිනා බිරිඳ දෙස බැලුවේ ය.
“පිස්සුද අනේ..කෙල්ලෙක් කොල්ලෙක් කතා බහ කරන්නෙ කසාද බඳින්න විතරයි කියලද හිතන්නෙ..”
“එ් වුණාට ඉතිං…”
“එදා කෙල්ලට උදව් කරපු එකට ඉස්තූති කරන්න ගිහින්නෙ මාත් එක්කත් සෙට් වුණේ. එතකොටත් කෙල්ල එක්ක ලොකු හිවත්කමක් තිබුණෙ නෑ ඒකා”
“ඒක මිසක්”
“හැබැයි නිර්මලා මෙහෙම දෙයක් තියනව”
ඇගේ ඇස් වල කොහොම දෙයක්ද යන පැනය ලියැවිණි.
“මන්නං ආසයි ඒ වගේ කොල්ලෙකුට”
නිර්මලා ගේ මුහුණේ සිනහ රේඛාවක් ඇඳිණි.
“මාමටයි බෑණටයි බෝතලේ වට කරං ඉන්න පුළුවන් නිසා”
“ඒකා බොන්නෑ අනේ. මගෙ හිත හොඳ කරන්න තමයි අර ග්ලාස් එකට චූට්ටක් දාගෙන ලෙවකකා ඉන්නෙ. හැබැයි බේබද්දො සෙට් එකක් මැද්දෙ වුණත් කොල්ලා ඒ විදිහට ඉන්න පුළුවන් එකෙක්. ඒ වගේ කොල්ලෙක්ට තමන්ගෙ දුව දෙන්න ඕන තාත්ත කෙනෙක් කැමතියි කියල ඔයා දන්නවද..”
අජිත් හිටියේ සිවිලිම දෙස බලා ගෙන පපුවේ රෝම සිය ඇඟිලි තුඩින් පිරිමදිමිනි. නිර්මලා හිස හරවා ගත් වන සිය ජීවිත කාලයට ම පෙම් කළ එක ම මිනිසා ගේ මුහුණ දෙස බලා සිටියා ය.
“ඒ වුණාට ඔයා ඒ ළමයව නිතර නිතර මෙහෙ එක්කං එන්න එපා”
“ඇයි…”
“කෙල්ලට හොඳ නෑ. ඔෆිස් එකේ වුණත් කතා හැදෙන්න පුළුවන්”
“හ්ම්”
අජිත් ඒ එකඟ වීම කළේ ටික වෙලාවක් නිහඬ ව කල්පනා කිරීමෙන් අනතුරුව ය.