Nadungamuwa Raja

දෙදහස් විසි දෙකේ මාර්තු හත් වැනිදා ශ්‍රී ලාංකීය ජනතාවට බොහෝ කණගාටුදායක දවසක්.ඒ ලංකාවේ විශිෂ්ටතම සංස්කෘතික මංගල්ලය වූ දළදා පෙරහැර හැඩ කළ නැදුන්ගමුවේ ඇත් රජු දැයෙන් සමු ගැනීම නිසා.සමාජජාලා පුරාවට නැදුන්ගමුවේ ඇත් රජු ගැන බොහෝ ලියවෙන්නට පටන් ගත්තේ ඒ හස්ති රාජයාට එපමණ ආකර්ෂණයක් ජනතාව සතු වීම නිසා.

නඳුන්ගමුවේ රාජා අපේ රටේ ඇතෙක් ද?

නැහැ.නැදුන්ගමුවේ ඇත් පැටවා සහ තවත් ඇත් පැටවෙකු ලංකාවට රැගෙන එන්නේ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ සිටයි.නීලම්මහර විසූ වෙද ස්වාමීන් වහන්සේ කෙනෙකු ලඟට ඉන්දියාවේ මහ රාජා කෙනෙකු ප්‍රතිකාර සඳහා පැමිණ තිබෙනවා.ඔහුට තිබූ සුව නොවන හිසේ කැක්කුම වෙද ස්වාමීන් වහන්සේ විසින් සුව කිරීම නිසා ලබාදුන් තුටුපඬුරු වන්නේ මේ ඇත් පැටවුන් දෙදෙනායි.අනිත් පැටවා ගංගාරාමයේ නවම් රාජා ඇතා ලෙස පසුකාලීනව හැඳින්වූවා.වෙද ස්වාමින් වහන්සේ තමන්ට ඇතුන් බලා ගත නොහැකි නිසා එක් ඇතෙකු ගංගාරාමයටත් අනිත් පැටවා හොරණ උඩුව ප්‍රදේශයේ කෙනෙකුටත් ලබා දී තිබෙනවා.හොරණට ලබා දුන් පැටවා නැදුන්ගමුවේ වෙද ගෙදරට ලබා දී තිබෙන්නේ ඉන්පසුවයි.ඒ 1978 වසරේදී.

Nadungamuwa Raja

ඉන්දියාවේ නැවෙන් පැමිණි පසු නැදුන්ගමුවේ රාජා කිසිම දවසක වාහනයක ගමන් කර නොතිබීම විශේෂත්වයක්.ආසියාවේ උසම හීලෑ දළ ඇතා ලෙස හඳුන්වන නැදුන්ගමුවේ හස්තියා ගේ උස අඩි එකොළහමාරක්.අඩි පහක් දිග දළ යුගලයකින් ඇතුගේ ගාම්භීර බව වැඩිවී තියෙනවා

නැදුන්ගමුවේ රාජා දළඳා පෙරහැරට සම්බන්ධ වෙන්නේ මෙහෙමයි.

2005 වසරේදී ඇත් රජු දළදා පෙරහැරේ කරඬුව වැඩම වීමට තෝරාගනු ලබන්නේ ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමේතුමා විසින්.ඇතාගේ උස නිසා කරඬුව පත් කරන මංජුසාවේ යම් වෙනසක් සිදු කළ බවද කියවෙනවා.ගම්පහ වැලිවේරිය නැදුම්ගමුවේ සිට මහනුවර ඇසළ පෙරහරට සහභාගී වන්නට ඇතු පැමිණෙන්නේ වාහනයකින් නොවේ.දින හතක් තිස්සේ කිලෝමීටර් එකසිය අනූවක් පමණ දුරක් ගෙවා ගෙන නැදුන්ගමුවේ ඇත් රාජා දළඳා පෙරහැරට පැමිණෙනවා.
සාමාන්‍යයෙන් කලබල නොකිරීම සහ අනිත් අලි ඇතුන් තමාට අවනත කර ගැනීමට ඇති හැකියාව නැදුන්ගමුවේ රාජා ගේ ඇති විශේෂත්වයයි.දළදා පෙරහරට සහභාගි වීමට පෙර සිටම සමන් දේවාල පෙරහැර,බෙල්ලන්විල පෙරහැර, කැලණි පෙරහැර, කඩුවෙල රන්කරඩු දේවාල පෙරහැරට ඇත් රජු සහභාගි වී තිබෙනවා.

පාවඩය එළනතුරු පය ඔසවා ගෙන සිටීම වැනි සිදුවීම් නිසා නැදුන්ගමුවේ රාජා මහත් භක්ත්‍යාදරයට පත් වීමට හේතු වූවා.පසුගිය වසරේ පෙරහැරටද ඇතු සහභාගි වූවා.2005 -2022 කාලය වසර හතරක පමණ කාලයක් නැදුන්ගමුවේ රාජාට දළදා පෙරහරට සහභාගී වීමට ඉඩ කඩ නොලැබී ගොස් තිබෙනවා.පෙරහැරේ කරඬුව වඩම්මන ඇතෙකුගේ අංග හතක් බිම ස්පර්ශ විය යුතු බව කියවෙනවා.පාද හතර,වලිගය,දළ යුගලය සහ ලිංගය ඒ අංග හතයි.මංගල හස්තියෙකු ලෙස හැඳින්වෙන්නේ ඒ ගුණාංගවලින් යුතු ඇතෙකුටයි.නැදුන්ගමුවේ ඇතා ඒ ගුණ සපිරි මංගල හස්තියෙක්.

Nadungamuwa Raja

නැදුන්ගමුවේ රාජා සහ කළු මාමා ලෙස හඳුන්වන විල්සන් කොඩිතුවක්කුගේ සම්බන්ධය ද අපූරු එකක්.දැන් වසර ගණනාවක් තිස්සේ ඇත් රජුගේ සියළු උපස්ථාන කරන්නේ කළු මාමා විසින්.හර්ෂ ධර්මවිජය වෙද මහතා ඇතුගේ වත්මන් භාරකාරත්වය දැරුවා.

නැදුන්ගමුවේ රාජා මිය ගියේ ඇයි?

වියපත් වීම තමයි ඇතු මිය යන්නට සැබෑ හේතුව වන්නේ.කිසිම බරක් අදින්නට නොදී බොහෝ ප්‍රවේසම්සහගතව ඇතු රැක බලාගන්නට ධර්මවිජය වෙද මහතා කටයුතු කළා.හැට නව වියැති ඇත් රජුට ඇති වූ රෝග සඳහා වෙද මහතාම ප්‍රතිකාර කර තිබෙනවා.

දෙදහස් විසි දෙක වසරේ මාර්තු හත් වැනිදා මළ හිරු බැස යද්දී බෞද්ධ චාරිත්‍ර වලට අනුකූලව ඇතුගේ අවසන් කටයුතු සිදු වුණා. ජනාධිපතිවරයාගේ උපදෙස් අනුව ඇතුගේ සිරුර සංරක්ෂණය කිරීම සඳහා ජාතික කෞතුකාගාරයේ නිලධාරීන් කණ්ඩායමක් මේ වෙද්දි සූදානමින් සිටිනවා.හස්ති රාජයාව ජාතික වස්තුවක් ලෙස නම් කරන්නටත් ජනාධිපති වරයාගේ උපදෙස් ලැබී තිබෙනවා.

සතෙකුගේ නිදහස සම්බන්ධයෙන් සහ ඇතුන් පෙරහැරට සම්බන්ධ වීම ගැන විවිධ අදහස් පළ වීම මේ මොහොතේ සිදු වෙමින් පවතිනවා.නමුත් ලාංකීය බෞද්ධ ජනතාව නැදුන්ගමුවේ රාජා ව හඳුන්වන්නේ පින්බර සහ වාසනාවන්ත හස්තිරාජයෙකු ලෙසයි.බෞද්ධ මතයට අනුව ඇත් රජුට නිවනින් නිවෙන්නට ලැබේවායි බොහෝ දෙනකු ප්‍රාර්ථනා කරන්නේ ඒ නිසා.පස් හැවිරිදි වියේ කුඩා ඇත් පැටවකු ලෙස ලංකාවට පැමිණ හැටපස් වසරක් තිස්සේ මේ භූමියේ ජීවත්වූ නැදුන්ගමුවේ රාජා තවදුරටත් තම ශ්‍රී විභූතිය විහිදුවන්නේ නැහැ .නමුත් ඒ තේජාන්විත ඇත් ගමන අපි කිසිවෙකුටත් අමතකව යන එකක් නැහැ.

“සසර දිගු මඟ වන්දනාවේ – එකම පැතුමක හමු වුණාවේ”

තේජාන්විත පින්බර ඇත් රජුට සසර ගමන දිගු නොවේවා!

තොරතුරු සැපයීම – ශ්‍රී දළඳා මාළිගාවේ මාධ්‍ය ඒකකය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here