කුණු බඳුනෙන් නැගිට විත් ගී ගයන හොල්මන් බෝනික්කාගේ සත්‍ය කතාව

සත්‍ය අසත්‍ය පැහැදිලි නැතත් අත්භූත කතා කියවන්න ඔබ බොහොම කැමති බව අපි දන්නවා. මේ වගේ අඳුරු රාත්‍රියක හොල්මන් කතාවක් කියවමුද? හැබැයි කතාව කියවලා බය වෙලා ඔයාගේ ඇඳේ ඉන්න බෝනික්කො විසි කරන්න එහෙම එපා හොඳද?

හොල්මන් බෝනික්කන් ගැන සිතන විට, ඔයාට මතකයට නැඟෙන්නේ පැරණි වික්ටෝරියානු පෙනුමක් ඇති පෝසිලේන් වර්ගයක් නේද? නමුත් හැම වෙලාවකම එහෙම වෙන්නේ නෑ. හූස්ටන් ප්‍රදේශයේදී 2013 නත්තල් සඳහා තෑගි කරන ලද Disney Frozen එල්සා බෝනික්කෙකු හොල්මන් කරපු කතාවක් තමයි මේ.

ඒ බෝනික්කාගේ අත්භූත හැසිරීම නිසා පවුලේ අය 2019 දෙසැම්බරයේදී බෝනික්කාව එළියට විසි කිරීමට තීරණය කළා.

සති කිහිපයකට පසු, ඔවුන් එය ඔවුන්ගේ විසිත්ත කාමරයේ බංකුවක් යටින් සොයා ගත්තා. “ළමයින් තරයේ කියා සිටියේ ඔවුන් එය එහි නොතැබූ බවක්. ඔවුන් පිටත කුණු කසළ හාරා නොතිබූ නිසා මම ඔවුන්ව විශ්වාස කළා” ගෙදර අම්මා වූ මැඩෝනියා KPRC2 Houston News වෙත එසේ පැවසුවා.

එම අවස්ථාවේදී, එල්සා “Let It Go” හි ඉංග්‍රීසි පරිවර්තනය සම්පූර්ණයෙන්ම ගායනා කිරීම නැවැත්වූ අතර, සිරුර තද කළ විට ස්පාඤ්ඤ භාෂාව පමණක් කතා කරන්නට පටන් ගත්තා. පසුව පවුලේ අය මේ  විකාර බෝනික්කාව  මලු දෙකකට දමා ගැට ගසා කුණු ට්‍රක් එක පතුලේ තබන්නට තීරණය කළා. ඒ කාර්යය කර ටික වේලාවකට පසු ඔවුන් ගමනක් ගියා. ඒ බෝනික්කාගේ අසාමාන්‍ය හැසිරීම් නැවත දකින්නට නැති බව සිතමින්.නමුත් ඔවුන් ආපසු පැමිණෙන විට එල්සාද ආපසු පැමිණ නිවසේ මිදුලේ බලා සිටියා. එය නිවසේ උදවිය භීතියට පත් කරන්නට සමත් වුණා.

බෝනික්කා Frozen චිත්‍රපටයේ වාක්‍ය ඛණ්ඩ කියමින්  මාලයේ බොත්තමක් එබූ විට “Let It Go” ගායනා කරන්නියක්.

“අවුරුදු දෙකක් එල්සා ඉංග්‍රීසී භාෂාවෙන් එය කළා,”එමිලි මැඩෝනියා පැවසුවා.“2015 දී, එය ස්පාඤ්ඤ සහ ඉංග්‍රීසි ලෙස මාරුවෙන් මාරුවට සිදු වෙන්නට පටන් ගත්තා. මේවා වෙනස් කරන බොත්තමක් තිබුණේ නෑ, එය අහඹු ලෙස සිදු වුණා.” මැඩෝනියා වැඩිදුරටත් පවසනවා.මේ පවුලට වසර හයකට වැඩි කාලයක් බෝනික්කා හිමි වී ඇති අතර කිසි විටෙකත් එහි බැටරි වෙනස් කළේ නැහැ. බෝනික්කා සිය ස්විචය ක්‍රියා විරහිත කර තිබියදීත් අහඹු ලෙස කතා කිරීමට සහ ගායනා කිරීමට පටන් ගන්නා බව මැඩෝනියා පවසනවා.

ඉන්පසු පවුලේ අය එල්සාව මිනසෝටා හි පවුලේ මිතුරෙකුට තැපෑලෙන් යැවූවා, ඔහු හොල්මන් බෝනික්කාව ඔහුගේ ට්‍රක් රථයට යට කර දැමුවා. ඉන්පසුනම් ඒ විකාරරූපී එල්සාගේ අත්භූත හැසිරීම් ගැන වාර්තා වන්නේ නෑ.

Frozen චිත්‍රපටිය බැලූ හැම කෙනෙක්ම එල්සාට අප්‍රමාණව ආදරය කරනවා. එල්සාගේ රුව සහිත සෙල්ලම් බෝනික්කන් සහ විවිධ දේ ඕනෑතරමට තිබෙනවා. නමුත් මෙවැනි අත්භූත කතාවක් වාර්තා වන්නේ පළමු වතාවටයි.

ඔබේ යහන මත ඉන්න සෙල්ලම් බෝනික්කා දෙස මොහොතක් බලන්න. සමහරවිට එය ඔබට නෑසෙන්නට ගීයක් මුමුණන හඬ ඔබට ඇසේවි!!

Related Articles

Don't Miss


Latest Articles