fbpx

අත්භූත යටියන වලව්වේ නොදත් කතාව

වර්තමාන සමාජයෙන් වලව් සංස්කෘතිය මුලින්ම වැනසී ගොස් තිබුණත්  කලකට පෙර මෙරට බලය තේජස පැතිරවුයේ වලව්වල උදවියයි. ඒ නිසාවෙන් අදටත් අපි එම සංස්කෘතිය ගැන කතා බහ කරනවා.ඒ අනුව අද අපි කතා කරන්න හිතුවා දකුණේ යටියන ප්‍රදේශයේ පිහිටා තිබෙන තවත්  අත්බුත වලව්වක ස්වභාවය උසුලන   සිසිරගිරි වලව්ව හෙවත් යටියන වලව්ව ගැන.යටියන තවමත් නොදියුණු ගම්මානයක් වුව ද, යටියන යන නාමය දෙස් විදෙස්හි පවා ප්‍රචලිත වූ නමක්. එය එසේ සිදුවීමට හේතුව වූයේ යටියන මහත්තයා නමින් හැඳින්වූ පුද්ගලයෙක් නිසායි.

යටියන මහත්තයා

මාතර ඉඩම් හිමි විශාල ධනවතකු වූ යටියන මහත්තයා ලෙස හැඳින් වූ  ඩී.ඒ.රණවිරට අයත් නිවස තමා සිසිරගිරි වලව්ව ලෙස හඳුන්වන්නේ. මුලින්ම සිසිරගිරි වලව්ව ලෙස හැඳින්වුවත් පසු කාලීනව එය යටියන වලව්ව ලෙස ප්‍රසිද්ධ වුණා. දෙමහල් නිවසක් වූ මෙය එංගලන්ත වාස්තු විද්‍යාත්මක සැලැස්මකට  අනුව ඉදි කර තිබෙනවා. යටියන මහත්තයා  සුදු වේට්ටිය සහ කබාය හැඳි ගැමියකු වූ අතර ඔහු එවකට එංගලන්ත සුදු ජාතිකයින් හා තරග කර වෙනම වතු අධිරාජ්‍යයක් බිහිකළ ධනවතෙක් බවටයි පැවසෙන්නේ .

පසුව ඔහු මහනුවර රැජන හෝටලය ද මිලදී ගෙන තිබෙනවා. ඔහුට මාතර, හැටන්, නුවරඑළිය ආදී  ප්‍රදේශ රාශියක තේ, රබර් වගා අක්කර දස දහසකට වඩා තනි අයිතිය යටතේ තිබුණු බව පැවසෙනවා. ඩී.ඒ.රණවිර  කලක් මොලොද්දුව ගම් සභාවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කර තිබෙනවා.

 යටියන වලව්වෙ අභිරහස

යටියන කියන නම දේශීය වගේම විදේශීයවද ජනප්‍රිය නමක්නේ . ඒ යටියන මහත්තයා නමින් හැදින්වූ පුද්ගලයෙක් නිසායි. ඔහු මහා ගාම්භීර තේජසක් සහිත පුද්ගලයකු බවත් මෙරට තේ වතු රබර් වතු බොහොමයක තනි අයිතිකරුවා වූ බවටත් පැවසෙනවා.ඒ අනුව ඔහු විශාල ධනස්කන්ධයකට හිමිකම් කියූ පුද්ගලයෙක්.යටියන මහත්තයට මෙලෙස විශාල ධනස්කන්ධයක් ලැබීම ගැන ප්‍රචලිත කතාව ඉතා රසවත්.

යටියන මහත්තයා මුලින්ම ජීවත් වෙලා තියෙන්නෙ යටියන කියන ඉඩමේ ඉහළ කදු මුදුනක තිබුණ පුංචි නිවසකයි.ඒ කාලයේ ළග පාත තිබුණු ඉඩමක  ළිඳකින් තමයි ඔවුන් වතුර අරගෙන තිබුණෙ.දවසක් යටියන මහත්තයගෙ බිරිඳ ඒ කියන්නෙ කම්බුරුපිටිය හාමිනේ වතුර කළයක් ගේන්න ගිහින් එනකොට ඇදගෙන හිටිය රෙද්ද ලිහිල් වෙලා.පස්සෙ හාමිනෙ එක හදා ගන්න කළය බිම තියෙලා.ආපහු කලය ගන්න බලද්දී හාමිනේට අමුතු දෙයක් දකින්න ලැබිලා තියෙනවා.ඊට පස්සෙ යටියන හාමිනේ හයියෙන් කෑ ගහලා තියෙනවා.ඒ සද්දෙට යටියන මහත්තයා හාමිනේ ඉන්න දිහාවට දුවගෙන යද්දී යටියන මහත්තයත් පුදුමයට පත්වෙන දෙයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ තමයි කම්බුරුපිටියෙ හාමිනේගේ වතුර කළය බුබුළු දමමින් උතුරනවා ඔහු දකිනවා.යටියන මහත්තයා වහාම මේ ගැන නැකැත් කරුවන්ගෙන් විමසනවා.  කලය උතුරපු ස්ථානය ඉතා බලවත් ස්ථානයක් බවත් ඒ නිසා එය මැදි වෙන්න නිවසක් හදන ලෙසත් ඔවුන් උපදෙස් දීලා තියෙනවා.
යටියන මහත්තයා ඒ උපදෙස් පිළිපදිමින් එම ස්ථානයේ නිවසක් ඉදි කරලා.එතනින් පස්සෙ තමයි ඔවුන් ඉතා ධනවතුන් වෙන්න පටන් අරං තියෙන්නෙ.පසුව මහනුවර ක්වීන්ස් හෝටලය පවා ඔහු මිලදී අරගෙන තියෙනවා.

යටියන මහත්තයා,  මහනුවර ක්වීන්ස් හෝටලය මිලදී ගැනීම

 මහනුවර ක්වීන්ස් (රැජින) හෝටලය ඔහු මිලදී ගත් කතාව ද ඉතා  රසවත්. මහනුවර ක්වීන්ස් හෝටලය මිලදී ගන්නා අවස්ථාවේ, යටියන මහත්තයා ටුවිට් රෙද්දත්, සුපුරුදු සුදු කබාය ද හැඳ පසෙකට වී බලා සිට තිබෙනවා. ක්වීන්ස් හෝටලය විකිණීමට වෙන්දේසි කරන සුදු ජාතිකයා  ලංසුව තියන විට, යටියන මහත්තයා  ලංසුව වැඩිකර ඉල්ලා තිබෙනවා.  මේ රෙදි කෝට්කාරයාට ක්වීන්ස් හෝටල මිලදී ගත හැකිදැයි සුදු ජාතිකයා උපහාසයෙන් සිනාසි තිබෙනවා.

වෙන්දේසියේදී වැඩිම මිල ගෙවා යටියන මහත්තයා ක්වීන්ස් හෝටලය මිලදී ගෙන උපහාසයට සිනාසුණු සුදු ජාතිකයාගෙන්    ” ඔබට  සල්ලි ඕන මොන රටේ බැංකුවකින් ද?” අසා තිබෙනවා. ඒ වන විට එංගලන්තය ආදී රටවල බැංකුවල මුදල් තැන්පත් කර තිබූ යටියන මහත්තයාගේ තත්ත්වය හරිහැටි දැනගත් සුදු ජාතිකයා විශාල  ලැජ්ජාවකට පත්වුණා. ඒ වන විට යටියන මහත්තයට  මාතර, හැටන්, නුවර එළිය ආදී බොහෝ ප්‍රදේශවල තේ, රබර් වගා අක්කර දස දහසකට වඩා තනි අයිතිය යටතේ තිබුණු බව කියවෙනවා . එලෙස වූයේ  යටියන සිසිරගිරි වලව්වේ භූමි වාසනා බලයෙන් බව ද බොහෝදෙනා ගේ විශ්වාසයයි .

යටියන මහත්තයා ජගුවර් මෝටර් රථ මිලදී ගැනීමේ කතාව

දිනක් යටියන මහතාට ලංකාවට අලුත් ම වර්ගයේ ජගුවර් කාර් තොගයක් ගෙන්වා ඇති බවට ආරංචියක් ලැබී තිබෙනවා. ඔහු එම ජගුවර් ගෙන්වා ඇති ආයතනය  වෙත ගොස්  එතැන කළමනාකරුගෙන් මේ ජගුවර් එකක් කීයදැයි විමසා ඇත. එයට  රෙද්ද , බැනියම හැඳ සිටි යටියන මහතා දෙස බැලූ කළමනාකරු පැවසුවේ, “අනේ තමුසෙ ගන්න ජගුවර්” යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඒ අනුව එවකට මෙරටට ගෙන්වා තිබූ ජගුවර් රථ තුනම එවෙලේම සල්ලි දී මිලදී ගත් යටියන මහතා, එය මාතර යටියන වලව්වට රැගෙන ගොස් තිබෙනවා.

යටියන වලව්වේ අත්භූත දේවල් පිළිබඳව ප්‍රදේශයවාසීනි ගේ අදහස්

යටියන වලව්වේ ගල් පෙරේතයෙක් සිටින බවට ජනප්‍රවාදයක් පැවතගෙන එනවා.එහි කියවෙන්නෙ යටියන වලව්වේ ඉහළ මහලේ තිබෙන ගලකට තට්ටු කරාම එයින් ලේ වැගිරෙන බවයි.

තවත් සමහරක් අය පවසන්නේ මෙහි දහවල් කාලයේ මෙන්ම රාත්‍රී කාලයේද අමුතු ශබ්ධ ඇසෙන බවයි.

බොහෝ දෙනෙක් මෙම යටියන වලව්වේ අත්භූත දේවල් සිදු වන බවට මත දැක්වුවත් ගම්වාසීන් සමහර දෙනා පවසන්නේ මෙහි කිසිදු එවැනි දෙයක් නොමැති බවයි.

යටියන මහත්තයාගේ හා ඔහුගේ බිරිය කඹුරුපිටිය හාමිනේගේ ද, ඔහුගේ පුත් ඩොනල්ඩ් රණවීර මහතාගේ ද, මුණුබුරන්ගේ ද සොහොන් කොත් යටියන නිවෙස ඉදිරිපිට සාදා තිබෙනවා. අද වනවිට සිසිර ගිරි වලව්ව පාළු ස්ථානයක් බවට පත්වෙලා. වසර තිහකට ආසන්න කාලයකින් කිසිවකු එහි පදිංචි වී සිට නැහැ. එම නිසාවෙන්ම මෙය ඉතා පාළු අත්බූත  ස්වභාවයක් උසුලනවා.

More Stories

Popular

Don't Miss




Latest Articles

error:
0
Would love your thoughts, please comment.x
()
x