“බල්ලන්ට දඩාවතේ යන්න දෙන්න බැහැ.එක්කො උන්ව බැඳලා දාන්න ඕනා, නැත්නම් මරලා දාන්න ඕනා””මට පුලුවන් ඌව බැඳලා දාන්න විතරයි. ඒක හින්දා තමුසේ මාව අද බඳීන්න ඕනා.”
මේ වාක්‍යය සිංහල සිනමාවේ ප්‍රබලතම වාක්‍යයක් බවට පත් වුවක්.දඩයම සිංහල සිනමාවේ හොඳම චිත්‍රපටි දහයට අයත් බව විචාරකයන් පවසනවා.සිනමාවේ 558 චිත්‍රපටිය වූ දඩයම චිත්‍රපටිය සත්‍ය සිදුවීමක් ආශ්‍රිතව නිෂ්පාදනය කළ එකක්. වසන්ත ඔබේසේකර අධ්‍යක්ෂණය කළ එහි ප්‍රධාන චරිත නිරූපණය කළේ රවීන්ද්‍ර රන්දෙණිය සහ ස්වර්ණා මල්ලවාරච්චියි. ප්‍රේමසිරි කේමදාස මහතා එහි සංගීතය නිර්මාණය කළා.මේ චිත්‍රපටිය සම්මාන බොහොමයකින් පිදුම් ලැබූ එකක්.
නිර්මාණයට පාදක වූ සත්‍ය සිදුවීම
ලංකාවේ සිදු වූ සුප්‍රකට මිනීමැරුමක් වූ ඇඩ්ලින් විතාරණ ඝාතනය මෙයට පදනම් වී තිබෙනවා . විල්පත්තු ඛේදවාචකය යන නමින් දා එය හැඳින්වූවා.එහි විත්තිකරු වූ ජයලාල් ආනන්දගොඩ නැමැත්තාට මරණ දඬුවම ද හිමිවුණා. එම සිදුවීම පාදක කරගනිමින් නිව්ටන් ගුණසේකර විසින් ‘දඩකෙලිය’යන නමෙන් නවකතාවක්ද ලියා තිබෙනවා.
සිද්ධිය සිදු වුණේ මෙහෙමයි
එක්දාස් නමසිය පනස් නමය වසරේ සෙනසුරාදාවක් වූ මාර්තු දහ හතර වැනිදා ව නන්නාඳුනන තරුණියක ගේ මළ සිරුර අනුරාධපුර- පුත්තලම පාරේ 27ත් වැනි සැතපුම් කණුවට ආසන්නයේ තිඹිරිවැව නමැති පෙදෙසින් හමු වුණා. ඇය ඇඩ්ලින් විතාරණ යි.ඇය ඒ වෙද්දී ගැබිනියක් බව අනාවරණය වූවා.
ඇඩ්ලින් ට පියා සහ ආච්චි සමඟ ගමනක් යද්දී ලාල් අතපත්තු නම් තරුණයෙක් මුණ ගැහෙනවා.ඔහු සමඟ හිතවත් වන ඇඩ්ලින් සහ ලාල් අතර සම්බන්ධය දිගුදුර එකක් වෙනවා.නමුත් මේ පුද්ගලයාගේ සත්‍ය නම ජයලාල් ආනන්දගොඩ බව ඇඩ්ලින් දන්නේ නැහැ.නමුත් ඇය ගර්භානියක බවටත් පත් වෙනවා.ජයලාල් ඇයව මඟ හරිනවා.නමුත් තමන්ගේ දියණියට පියෙකු අවශ්‍ය බව තරයේම හිතන ඇඩ්ලින් ජයලාල් සොයා ගන්නට දැඩි ලෙස උත්සාහ කරනවා.ජයලාල් ඒ වතාවේ ද ඇඩ්ලින් රවටන් අතර ඇය දෙවෙනි වතාවට ද ගැබ් ගන්නවා.ඉන්පසු ඇඩ්ලින් ආයාචනා ද තර්ජන ද කරමින් ජයලාල් පසුපස ගියත් ඔහු වෙනත් තරුණියක විවාහ කර ගන්නට සුදානමෙන් පසු වන්නේ.
ජයලාල් ගුරුවරයෙක්.ඇඩ්ලින් ඔහු සේවය කරන පාසලට ලිපියක් යවනවා. මෙය ජයලාල්ගේ දැඩි කෝපයට හේතු වනවා.ඔහු කාන්තාවන් දෙදෙනෙකු ඇඩ්ලින් වෙත එවා ඇය විවාහ කර ගන්නට කැටුව යන බව පවසා ඇය ගණිකා නිවාසයකට රැගෙන යනවා. නමුත් ඇඩ්ලින් ඉන් මිදී පලා යනවා.
විවාහය ගැන සිහින දැකපු ඇඩ්ලින් මරු තුරුලට ගිය හැටි
ඇගෙන් ගැලවීමක් නැති තැන තවත් පිරිමි දෙදෙනෙකු හා එක වී ඇය වෙත යන ජයලාල් ඇය විවාහ ලියාපදිංචි කරන්නට රැගෙන යනවා. අනුරාධපුරයට කුලියට ගත් මෝටර් රථයෙන් යද්දී ඇඩ්ලින් ගැන ජයලාල් ගේ සිතේ කුරිරු සැලසුමක් හට ගන්නවා.එදින රාත්‍රියේ පුත්තලමේ ටජ්මහල් හෝටලයෙන් රාත්‍රී ආහාරය ගන්නා විට ඇඩ්ලින්ගේ වතුර වීදුරුවකට ජයලාල් යම් දෙයක් එකතු කරනවා. ඇය වාහනය තුළ දී සිහි විසඥ වනවා. පුත්තලම-අනුරාධපුර මාර්ගයේ තිඹිරිවැව නම් ගම්මානය ආසන්නයේ 27 ½ සැතපුම් කණුව අසල දී, විසඥව සිටි ඇඩ්ලින්ව රථයෙන් පිටතට ගෙන ජයලාල් විසින් ඇගේ සිරුර මතින් දෙවරක් මෝටර් රථය පැදවූ බවත් නඩු විභාගයේදී හෙළිව තිබුණා.
සිරුර හඳුනා ගත්තේ සොයුරිය විසින්
ඇඩ්ලින්ගේ අක්කා වූ ඇග්නස් රූමත් තරුණියක පාරේ ඝාතනය වී ඇති බව දැන ගන්නේ පුවත්පතකින්.මල සිරුරේ ඇඳුම් වල පැහැය නිසා ඒ තමන්ගේ නංගි විය හැකි බවට ඇග්නස් ට සැක හිතෙනවා. ඔවුන් අනුරාධපුර පොලිස් ස්ථානයට අමතා ඒ නාදුනන මල සිරුර බලන්නට යනවා. ඒ ඇඩ්ලින් බව හඳුනාගෙන ඔවුන් මහත් කම්පාවට පත් වෙනවා. ඒ ඝාතනය වෙද්දී ඇඩ්ලින් යන්තම් විසිඑක් විය සපිරූ තරුණියක්.
සැබෑ කතාව ආශ්‍රයෙන් රන්මලී සහ ජයනාත්ගේ කතාව ලෙස දඩයම චිත්‍රපටිය නිපදවෙනවා.
ඇඩ්ලින් ඇගේ කතාව කියන්නට ජිවතුන් අතර නැතත් ජයලාල්ගේ කට උත්තරය ආශ්‍රයෙන් වසන්ත ඔබේසේකර මේ චිත්‍රපටිය නිෂ්පාදනය කරන්නට ඇති.එහි සම්පුර්ණයෙන්ම ජයලාල් හෙවත් ජයනාත් මොනතරම් අසික්කිත මිනිසෙකුදැයි පෙන්වන්නට ඔබේසේකර ප්‍රවේසම් වී තිබෙනවා.චිත්‍රපටියේ ප්‍රබලම රූපරාමුවක් වන්නේ කාරයට යට කරන්නට පෙර රන්මලී සහ ජයනාත් අතර ඇති වෙන පොරබැඳීමයි.මෙය සිංහල සිනමා නිර්මාණයට ඇති ප්‍රබුද්ධම දර්ශනයක් බව කියැවෙන්නේ.සැබෑ ලෝකයේ ජයලාල්ට දඬුවම් ලැබුණත් චිත්‍රපටියේ ජයනාත්ගේ කාරය ඈතට ඇදී යන තැනින් තිරය වැසී යනවා.
රැවටිලිකරුවෙකුට අසුවී ජීවිතයෙන් වන්දි ගෙවූ එකම ගැහැනිය ඇඩ්ලින් පමණක් නොවේ.පියෙකු නැති දරුවන් උස්මහත් කරන ගැහැනුන් ද ආදරය නාමයෙන් රැවටීමට ගැහැනුන් ද ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදු වූ අය ද ඕනෑතරම්.මොනතරම් නිර්මාණ බිහි වුණත් පීඩාවට පත් වෙන ගැහැනුන්ගේ කතා අවසන් වන්නේ නැහැ.
ඇඩ්ලින් විතාරණ අකාලික චරිතයක් වන්නේ ඒ නිසා.