“පර්ස් එක නම් තියනවා..”
ආරණ්‍යා එසේ පවසා සිනා මුහුණු තොගයක් යැවූවා ය.මේඝගේ ප්‍රතිචාරය ද සිනාවකි.ඒ කතාබහ එතැනින් එහා ගෙනයන්නට මාතෘකාවක් නොවන බව දෙදෙනාම දැන හුන්නා ය.එනිසාම කතාබහ එතැනින් නැවතිණ.
එහෙත් මෝක්ෂ ඔහුගේත් ආරණ්‍යාගේත් ඡායාරූපයක් ෆේස්බුක් අප්ලෝඩ් කළේ ඉන් මොහොතකට පසුව ය.මේඝ ආරණ්‍යාට නැවත පණිවිඩයක් තැබී ය.
“මෝක්ෂ කියන්නේ බෝයි ෆ්‍රෙන්ඩ් ද?”
ආරණ්‍යාට සිනාවක් නැඟී ආයේ ය.සහස් මෝක්ෂට බිඳුවක්වත් ප්‍රිය නොකරයි.ඔහුගේ සංකල්පනා දන්නා නිසාම මෝක්ෂ මතු දිනෙක ඇගේ ආදරවන්තයා වන්නට ද ඉඩ ඇති බව ආරණ්‍යා හඟවන්නී ය.එහෙත් මේඝට එවැනි ප්‍රාථමික බොරු කියන්නට ඇයට සිත් නොදේ.
“මෝක්ෂ මගේ අයියා..”
මේකලා මායාදුන්නට වැඩිමහල් පුතෙකු නැති බව තමන් දන්නා බව මේඝ වහා පැවසුවේ ය.
“පොඩ්ඩක් ඉන්න..පොඩ්ඩක් ඉන්න..”ඔහු මතකය අලුත් කරයි.තමන්ගේ නොවූ තමන්ගේ පුතු ගැන ඇය දිනක් ඉතා සංවේදීව රූපවාහිනී ගීත තේරීම් වැඩසටහනක කතා කළ අන්දම ඔහු සිහි කළේ ය.
“මේ බිනරි සෙනෙවිරත්නගේ පුතා නේද? බිනරි ලියන්නේ හරි බර දේවල්.බිනරියි ඔයාගෙ අම්මයි හිතන පතන හැටි සෑහෙන්නම වෙනස් වුණාට ඔයාගේ අම්මා ඕනෑ තැනක එයා ගැන පුදුම ආදරේකින් කතා කරන්නෙ..”
මේඝ එසේ කියද්දී ආරණ්‍යා ඔහුට දිගු පිළිතුරක් යැව්වා ය.අම්මා දරුවන් ගැන සිහින අත් හැර දැමූ කාලයක් තිබී තියේ.ඇගේ උකුලත දරුවෙකු තබා නළවන සිහින සියල්ල අතහැර දමා සිටියදී මෝක්ෂ ඇගේ ලෝකය සිනාවෙන් පිරවූ අන්දම අම්මා කියන්නේ පුදුමාකාර ආදරයකින් බව ආරණ්‍යා පැවසුවා ය.
“අම්මගෙ ඇත්තම මේඝ මෝක්ෂ අයියා.අම්මා එයාගේ සුදු පුතාට දෙන ආදරෙන් සීයට පනහක්වත් මටයි මල්ලාටයි දෙනවද මන්දා..”
ඇය එසේ කියන්නේ සැබෑවටම ය.අම්මා මෝක්ෂට දක්වන ආදරය ආරණ්‍යා සමහර මොහොතක ඉරිසියාවෙන් පුරවාලන්නී ය.
“ඒ කියන්නේ මෝක්ෂ ඔයාගේ යාලුවෙකුත් නෙවෙයි..”
මේඝ බලාපොරොත්තුවක් සිත තුළ තබා එසේ ලියා එවූවේ ය.අනතුරුව ඔහුගේ බලාපොරොත්තුව පැවසී ය.
“ඔයාගේ ළඟ යාලුවෙක්ට ඉඩ තියෙන්න ඕන.අපිට හොඳ යාලුවො වෙන්න බැරිද? කොච්චර යාලුවො හිටියත් පොත් ගැන ෆිල්ම් ගැන සින්දු ගැන කියවන තරම් යාලුවෙක් මට නෑ..”
ආරණ්‍යා සිනා නඟමින් නොනවත්වාම දුරකථනය සමඟ කාර්යබහුල වන අන්දම මෝක්ෂට නෙත් කොණකින් පෙනෙයි.රිය පදවන අතරම ඔහු ඒ දෙස බැලුවේ ආදරයෙනි.සහෝදර ස්නේහයෙන් ජීවිතය පුරවාලන ඇය ගැන ඔහුට දැනෙන්නේ පුදුමාකාර තරමේ ආදරයකි.
“ඇත්තටම මගේ හොඳම යාලුවා වෙන්න ඕන නම් ඔයා තරග කරන්න ඕන ඔයාගේ කැමතිම ඕතර් එක්ක..”
දියණියකගේ හොඳම මිතුරිය බවට අම්මා පත් වන්නේ නම් එය මොනතරම් මිහිරි හැඟුමක් වෙන්නට ඇතිදැයි මේඝ සිතී ය.දියණියකට පමණක් නොවේ.පුතෙකුට ද එසේම ය.ලක්ෂි සේනාධීර දක්ෂ පුතෙකු මිස ආදරණීය පුතෙකු නොපැතුවා ය.එනිසා ඇය සෑම මොහොතක්ම ගෙවා දැම්මේ මේඝට අන පණත් නිකුත් කරන්නට ය.
“අම්මා එක්ක මම හිතෙන ඕනම දෙයක් කියනව.මට ඒ තරම් කිසිම කෙනෙක් කම්ෆටබල් වෙයි කියලා මට හිතෙන්නේ නැහැ..”
ආරණ්‍යා කියන්නේ පහසුවෙන් ළඟා විය හැකි කෙල්ලක නොවන බව මේඝට දැනේ.මොකක්දෝ හේතුවක් හන්දා ඔහුට ඇය වඩාත් සමීප කරගන්නට සිතෙන්නට පටන් ගෙන ය.ඒ ඇය මේකලා මායාදුන්නගේ දියණිය නිසාම නොවේ.ඇය සතුව ඇති ආකර්ෂණය නිසා ය.නමුත් නේහා මේ ආකර්ෂණය මැද සිට ගන්නා දවස වැඩි ඈතක නැතැයි ඔහු ඊටත් පසු සිතුවේ ය.
එහෙත් ආදරය යන මාතෘකාවට සීමා පනවන්නට නොහැකි ය.මෝක්ෂ ඒ ආදරය මැද සිට ගන්නා කෙනෙකු නොවූවද තමන් ආරණ්‍යාට ආදරය කරන්නට පටන් ගත් විට මේකලා,මෝක්ෂ සේම තමන්ගේ තාත්තා පවා කෙසේ හැසිරේදැයි මේඝ සිතන්නට පටන් ගත්තේ ය.