කදෝකිමි ඇස් -18

0
3899
කදෝකිමි ඇස්

“සිහි බුද්ධිය ඇති මනුස්සයෙක් කියන කතාවක්ද අම්මා ඔය?”

මේඝ හැකි උපරිම තැන්පත් ස්වරයෙන් විමසී ය.ඒ හඬෙහි කෝපය ඇති පමණට තැවරී තිබුණ ද මේ කතාව අම්මා සමඟ කළ යුත්තේ හොඳ සිහි බුද්ධියෙන් බව ඔහු තේරුම් ගෙන තිබිණ.

“මම ජානුගේ මූණ බලන්නෙ කොහොමද? බඳින්නම ඉඳලා සෙපරේට් වුණාම ජානුයි අරවින්දයි මොනව හිතයිද? බැන්දට පස්සෙනම් ගැලපෙන් නෑ කියලවත් කීවැකි..”

ලක්ෂි කෑම මේසය මත වූ භාජන අස්පස් කරන්නේ ඒවා එකිනෙකට ඝට්ටනය කරමිනි.අම්මා මෙසේ සිතමින් මේ වාගේ තීරණ ගැනීම ගැන මේඝට මහත් අපහසුවක් දැනේ.නමුත් ඔහු කියන්නට කිසිත් නැතිකමින් තාත්තාගේ මුහුණ දෙස බැලී ය.

“කොහොමහරි මූණ නොබලා හිටියෑකි.කසාදයක් බැඳලා ඩිවෝස් වෙන්න හදන්න එපා පුතා.ඒක ඔයාට නෙවේ ඒ ළමයට කරන අසාධාරණයක්.අනික ඩිවෝස් වෙනව කියන එක ලේසි වැඩක් නෙවේනෙ.ඊට ලේසි දවස් කීපයක් කතා කරලා ආපහු වැරදි හදාගෙන ඉස්සරහට යනවද නැත්නම් වෙන් වෙනවද කියන තීරණේට එන එක..”

කෑම කාමරයේ දොරකඩින් නික්මෙන්නට පෙර මහේන් පැවසුවේ එහෙම කතාවකි.අම්මාගේ හිත තලන්නට අකමැති මේඝ අම්මාගේ කරවටා අතක් දමා ඇය තමන් වෙත තුරුළු කරගත්තේ ය.

“අම්මා..මට ඇත්තටම නේහා හරිම ස්ට්‍රෙස් එකක්.මට බයයි මේ අෆෙයා එක මාව ලෙඩෙක් කරයි කියල.එහෙම සැකෙන් බයෙන් ජීවත් වෙන්න පුලුවන්ද අම්මා? මැරි කරාමත් ඕක වැඩි වෙනව මිසක් අඩුවක් නෑනෙ.මම එයා එක්ක කතා කරන්නම්.ඩිවෝස් වෙන්න උසාවි ගාණෙ යන්න එයාට සිද්ධ කරන එක මහ පවක්..”

ලක්ෂි එයට එකඟ නොවූවා ය.නමුත් ඈ නේහා සමඟ කතා කරන්නට අදිටන් කර ගත්තා ය.නේහාට සැකයෙන් පීඩිත වන්නට නිකරුණේ හේතුවක් නොවේ.මේඝ ඒ සැකය ඇති වන තැනට වැඩකටයුතු කරමින් සිටින බව ඇයට සැකයක් නොවේ.

“තාත්තගෙ පුතානෙ.”

ලක්ෂි භාජන සියල්ලම සේදෙන්නට දමන අතර සිතුවේ වසර විසි ගණනක මතකයක් ඇස් මත තෙරපෙද්දී ය.සැකය සහ බිය ද අහිමි වීමේ ශෝකයෙන් ද පීඩිතව තමන් ඉදිරිපිට වැළපුණු යොවුන් දැරියක ඇගේ මතකයට නැගෙයි.දෑස් ද හදවත ද සීරෙන තරමේ කම්පනයකින් ඒ දැරිය ලක්ෂිගේ මතකය පුරා ඇවිදියි.නේහාගෙන් ඇය දිස්වන තරමට ලක්ෂිගේ හිත අවුල්ව යද්දී ඇය මුළුතැන්ගෙයි පුටුවක් මතින් හිඳ ගත්තා ය.

මේඝ කාමරයට පැමිණ සඳැල්ලට ගියේ දුරකථනය ද රැගෙන ය.නේහාගෙන් මඟ හැරුණු ඇමතුම් කිහිපයකි.ඔහු ඒවා නොදැක්කා සේ ෆේස්බුක් සංචාරයක නිරත වන්නට පටන් ගත්තේ ය.

ආරණ්‍යා! ඇය අඳුර ද ආලෝකය ද මුසු වෙන පුස්තකාල කාමරයකට වී ඡායාරූපයක් මුදා හැර තිබිණ.ඇගේ විසල් දෑස ඒ අඳුරේ පවා දීප්තියෙන් බැබළෙන බව මේඝට සිතෙන්නට විය.

“කදෝකිමි ඇස්.”

ඔහු ඒ ඡායාරූපයට පහළින් එවැනි ප්‍රතිචාරයක් දැක්වූයේ ය.ආරණ්‍යාගේ පිළිතුර නිල් පැහැ හදවතක් පමණකි.ඇය මිතුරෙකුගේ තැනවත් තමන් තබන්නට තවම අකමැති බව මේඝට හැඟෙයි.අන්ධකාරය දෙස බලමින් ඔහු ළතැවෙන්නට ගත්තේ එනිසා ය.නිල් පැහැ එළියක් දැල්විණ.ආරණ්‍යා පණිවිඩයක් එවා තිබුණා ය.මේඝට එය කියවා ගන්නට තිබුණේ පුදුමාකාර හදිසියකි.එහෙත් ඒ අඳුරෙන් පිරී ගිය ගසක සේයාරුවකි.එහි එළි කිහිපයකි.

“ඔය තමයි කදෝකිමි ඇස්.”

ආරණ්‍යා සිංහල අකුරින් ලියා එව්වා ය.නේහා සමඟ ද මිතුරන් සමඟ ද ඉංග්‍රීසි භාෂාවෙන් ම පණිවිඩය හුවමාරු කරගන්නා මේඝ ඇයට දිය යුතු පිළිතුර ගැන සිතී ය.

“අපි ට්‍රිප් එකක් ගිය වෙලාවක මල්ලා ගත්තු ෆොටෝ එකක්..”

ඇය ඊටත් පසුව ලියා එව්වා ය.මේඝගේ හදවත හිරිවැටී ගියේ ආරණ්‍යා ඔහුගෙන් පිළිතුරක් එනතුරු බලා නොඉඳම ලියා එවූ කතාවට ය.

“හඳේ එළියත් නැති,තරුවල එළියකුත් නැති මහ අඳුරකට කදෝකිමියන්ගෙ එළියත් ලොකු ආලෝකයක්.ඒ එළි තිත්වලටත් පුලුවන් පාලුව මකන්න.සමහර විට ඉර පායපු දවසක කදෝකිමියෝ හිටියද කියලත් අපට අමතක වුණාට ඒ එළියටත් තනිකම මැකෙන වෙලාවල් තියනව..”

මේඝ සිටින්නේ කුමක් හෝ මානසික පීඩාවක බව ආරණ්‍යාට වැටහේ.ඔහු තමන්ට සමීප වන්නට තැත් දරන්නේ ඒ මහා අඳුරේ තමන් කදෝකිමියෙකුව දිස් වෙන හන්දා දැයි ඇයට හදිසි සිතුවිල්ලක් පහළව ආයේ ය.ඒ වචන උපන්නේ එනිසා ය.

“අම්මා පරාද කරන්න හිතෙන්නෙ නැත්තෙ ඇයි?”

මේඝ ඒ කතාව වෙනුවෙන් දුන් පිළිතුර එහෙම එකකි.කාගේ හෝ අඩුපාඩුවක් සොයාගෙන විත් කන් පිරෙනතුරු කියවන නේහා සහ කාව්‍යමය භාෂාවකින් කතා කරන ආරණ්‍යා තරාදියකට නංවා ගන්නට තම හදවත ක්‍රියා කරමින් සිටින බව මේඝට වැටහේ.

ඔහු ආදරයෙන් පිරී ගොසිනි.ජීවිතයේ පළමු වතාවට ඔහු ආදරයෙන් පිරී ගොසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here