ප්‍රේමය මහා අඳුරක කදෝකිමි එළියක්ව දැල්වෙන අන්දම මේඝට දැනෙන්නට විය.නේහා සමඟ ගිවිසුමක් මිස බැඳීමක් නොවූ බව ඔහුට වැටහෙන්නේ දැන් ය.ආදරයක් නුවුමනා වූවාද නැතිනම් නේහා සමඟ ජීවත් වෙන්නට තමන් හිත හදා ගත්තාදැයි නොවැටහෙන විට මේඝට මහත් සාංකාවක් ද තනිකමක් දැනේ.
“සමහර කසාද බැඳපු මිනිස්සු අවුරුදු පනස් ගණන්වල ජීවත් වෙනවා වගේ තමයි උඹේ රිලේෂන්ශිප් එකත්..”
විදුක දවසක් ආඩපාලි කී අන්දම මේඝට සිහිව ඒ.ඔහු කියන්නේ විවාහය බොහෝ කාලයක් පවත්වාගෙන ගොස් එය අප්‍රිය කරගත් යුවලවල් පවා මේඝ නේහාට වඩා හොඳ බව ය.ආදරය කියන්නේ සැක කිරීමටත් යුතුකම් ඉටු කිරීමටත් නොවන බව කියමින් විදුක මොනතරම් සරදම් කරද මේඝගේ පිළිවෙල වෙනස් නොවී ය.ඔහු සිටියේ රොබෝවෙකු විලස ය.ආදරය ද ජීවිතය තුළ සිදු කළ යුත්තකි.එපමණකි.
නමුත් ආදරය කිරීම මහා ආනන්දජනක හැඟීමක් බව ඔහු වටහා ගත්තේ ආරණ්‍යාගේ තාරකාමය දෑස මතකයෙන් ගිලිහ නොයද්දී ය.ඇයට හේතු රහිතවම ආදරය කරන බව ඔහු වටහා ගත් නමුත් එය ඇයට පවසන්නට තරම් මේඝට ධෛර්යයක් නොතිබිණ.ඔහුට ප්‍රේමයක් ඇති වග ඇය දනියි.ඈ තවම ප්‍රේමය ගැන අත්දැකීම් නැති දැරියකි.විවාහාපේක්ෂිත තරුණයෙකුගේ ජීවිතයට ළං වී බොහෝ කටුක අත්දැකීම් දරා ගන්නට ආරණ්‍යා කිසි අයුරකින් කැමති නොවන බව ඔහු විශ්වාස කළේ ය.
“තාත්තා..මම එන්නද?”
කාර්යාල කාමරයේ රාජකාරියක් තිබුණ ද නැතිව ද තාත්තා මැදියම් රැය ද ඉක්ම යන තුරු එතැනට වී ඉන්නා බව මේඝ දැන සිටියේ ය.ඔහු තාත්තා සොයා ගියේ එබැවිනි.
“මට ටිකක් කතා කරන්න ඕන තාත්තා..”
මහේන් උපැස් යුවල ගලවා මේඝ දෙස බැලුවේ ළතෙත් බැල්මකිනි.නේහා ජීවිතයෙන් ඈත් කරන්නට උවමනා බව පැවසූ මොහොතේ සිටම ලක්ෂි හැසිරුණු ප්‍රචණ්ඩ බව මේඝට දරන්නට නොහැකි බව ඔහු දැන සිටියේ ය.එහෙත් මේඝ තවත් කාරණාවක් සම්බන්ධයෙන් තිගැස්මකින් සිටින බව ඔහුට නොහැඟුණා නොවේ.
“මිනිස්සු හිතට අවංක දේ කරාම ඇති මේඝ.ඔයාට හිතෙනවා නම් නේහා එක්ක සම්බන්දේ නවත්තන්න.ඒක කරන්න.කසාද බැඳලා ප්‍රශ්න දාගන්නවටයි ඔලුව අවුල් කරගන්නවටයි වඩා ඇත්තටම වෙන්න ඕන ඒක..”
මේඝ තාත්තාගේ මුහුණ දෙස මොහොතක් බලා සිටියේ ය.ඔහුට තාත්තාට කියන්නට බොහෝ දේ තිබේ.
“මම යන එන තැන් කියන එකයි,එයාගේ කියවිලි අහන් ඉන්න එකයි නෙවෙයි ආදරේ කියන්නෙ කියල මට නේහාට තේරුම් කරන්න ඕන තාත්තා..”
මේඝ කියන්නේ සන්තාපය පිරුණු කටහඬකිනි.ඉන්පසු නේහා ගැන කියන්නට ආ ආඩපාලි සියල්ලම නොකියා හදවතේ සිර කර ගන්නට ඔහු තීරණය කළේ ය.තාත්තාට කියන්නට වෙනත් කාරණාවක් ඔහු සතු ය.
“මං වෙන ගර්ල් කෙනෙක් ගැන හිතනව තාත්තා.ඒ ළමයා මට ආදරෙයිද නැද්දවත් නොහිතා මං ඒ ළමයට ආදරේ කරනව..”
ඒ යුවතිය මුණ නොගැසුණ ද මේඝ සිටියේ නේහා සම්බන්ධයෙන් දරා ගත හැකි උපරිම සීමාවේ බව මහේන් දැන සිටියේ ය.හිමිදිරි පාන්දරම මේඝ සම්බන්ධයෙන් වැඩකට නැති කේලමක් ද රැගෙන කඩාපාත් වන නේහා ඇතැම්විට මහේන්ගේ පවා කෝපය අවුලන්නට සමත් ය.මේඝ මිතුරු සාදයකදී පමණට වඩා මත් වීමේ සිට දුරකථනයට පිළිවදන් නොදීම දක්වාම කේලාම් ඇය ලක්ෂි වෙත ගෙන ආවා ය.එනිසාම මේඝට නේහාව දරා ගත හැකි කාලය අවසන් වන බව මහේන් ද දැන සිටියේ ය.
“ඒ ගෑනු ළමයත් නැති වුණොත්!”
මහේන් මේඝට ප්‍රශ්නයක් යොමු කළේ ය.මේඝ එයට පිළිතුරක් නොදී කියන්නට අසීරුම කාරණාව කියා ගන්නට යත්න දැරී ය.
“තාත්තා, ඒ මේකලා ආන්ටිගෙ දුව..”
මහේන් හුන්තැනම ගල් ගැසිණ.මේඝ සැබෑ මේඝයක් වීම ආරම්භ කර ඇති බව ඔහුට වැටහිණ.
“මොකක්ද?”
මහේන්ගේ හඬ පැටලෙනසුළු ය.ආරණ්‍යා සහ ඔහු අතර සහෝදරකමක් තිබෙන්නට බැරිදැයි විදුක ඇසූ මෝඩ ප්‍රශ්නය ඔහුට සිහි වේ.එහෙත් ඒ කතාව හිතට නැගෙන්නට නොදී ඔහු නැවත ඒ වචන පුනුරුච්ඡාරණය කළේ ය.
“මම කියන්නෙ ආරණ්‍යා ගැන.මේකලා ආන්ටිගේ දුව..”
මේඝ නොසැලී පවසයි.ආදරය කරන බව කියන්නට පැකිලෙමින් ආඩම්බරකාර දැරියක ගැන සිහින මැවූ කාලය මහේන් සිහි කළේ ය.මිත්‍රත්වය අහිමි වේ යැයි බියෙන් ඒ බව සැඟවූ තරුණයා ඒ ආදරය හිමි වූ පසු මොනතරමට සන්තෝස වුවාදැයි ඔහුට අමතකව යන්නේ නැත.ඒ ආදරය රැක ගන්නට අපොහොසත් වීම දරා ගත හැකි නමුත් අතීතය යලිත් සිදුවීම දරා ගන්නට මඳක් අපහසු බව මහේන් ට සිතෙයි.එහෙත් අතීතය ගැන බියෙන් මේඝගේ සතුට වළකාලිය යුතුදැයි ඔහු සිති ය.