කදෝකිමි ඇස් -20

0
3728
කදෝකිමි ඇස්

මහේන්ට දැනුණේ පඹ ගාලක පැටලී ගත් හැඟීමකි.නේහා සහ මේඝ අතර සම්බන්ධයේ කෙළවරක් දකින්නට පුතුට උදව් දෙන්නට ඔහු සිතමින් සිටියේ ය.ඔහු වෙනත් යුවතියක හා ප්‍රේමයකින් නම් තරුණ සිතිවිලිවලට බාධා නොකර මේඝ තේරුම් ගන්නට පවා ඔහු සිතුවේ ය.එහෙත් දැන් සියල්ල පැටලී අවසන් ය.

“මේකලාගේ දුව? ඔයාට පිස්සුද මේඝ?”

මේඝ තත්පර කිහිපයක් නිහඬව සිටියේ ය.ඊටත් පසු පියෙකුගෙන් අසන්නට පැකිලිය යුතු ප්‍රශ්නයක් අසන්නට සිතට ධෛර්යය ගත්තේ ය.

“තාත්තේ,ආරණ්‍යා නංගි මගේ නංගියෙක් එහෙම නෙවෙයි නේද? නැත්නම් මෝක්ෂ?? එයා මගෙයි ආරණ්‍යාගෙයි දෙන්නගෙම සහෝදරයෙක් එහෙම නෙවෙයිනෙ..”

මහේන්ට ඒ ප්‍රශ්නයට පුතු සමඟ කෝප ගන්නට තිබිණ.නමුත් ඇති විය හැකි දරුණුම තත්ත්වය ගැන බියට පත් වූ පුතු ගැන ඔහුට ඇති වූයේ වේදනාවකි.

“දරුවො! එහෙම ප්‍රශ්නයක් නම් එහෙම හංගන්නෙ නෑනෙ.මට එහෙම දේවල් හංගන්න උවමනාවක් නෑ.”

තාත්තා එවැනි දේ නොසඟවන බව මේඝ දනියි.නමුත් විදුක ඇති කළ ඒ පැනය ද ඔහු දවාලන්නට සමත් වූයේ ය.

“මේකලාගේ ජීවිතේ ඉන්න එකම හතුරා මම පුතා.එකම හතුරාගේ දරුවට එයාගේ දුව දෙන්නේ නෑ කීයටවත්ම.”

තාත්තා කෙනෙකුගේ ජීවිතය තුළ සතුරෙකු විය හැකිදැයි මේඝ සිතුවේ ය.නමුත් මේකලා එවැනි කෝපයක හිඳින බව ඇසීම ම මේඝට අරුමයකි.ඔහු ඒ කතාව අසන්නට නුවුමනා බව තාත්තාට කියා අවසන් ය.නමුත් දැන් ඔහුට ඒ කතාව අසන්නට සිතෙන තරම් ය.

“අපි දෙන්නට කවදාවත් පරිපූර්ණ සමුගැනීමක් තිබුණේ නැහැ.මේකලා ඒ දවස්වල පුංචි දේටත් කලබල වෙන ඉක්මනින් කේන්ති ගන්න පොඩි කෙල්ලක්.මම ඉක්මනින් කේන්ති යන තමන්ම හරි කියල හිතන සමාව ගන්න නොදන්න කොල්ලෙක්.ඔයාගේ අම්මා කොහොමහරි තමන්ට අවශ්‍ය දේ ලබා ගන්න කෙල්ලක්..”

එවැනි චරිත තුනක් ඇති කළ පැටලවීම තමාගේත් ආරණ්‍යාගේත් ජීවිතය මත ඇද වැටීම මේඝට ඉවසීමට නොහැකි ය.නමුත් ආරණ්‍යා මේ කිසිවක් නොදන්නී ය.ඇය තමන්ට තවම මිතුරෙකුගේ ඉඩවත් නොදුන් තරම ය.ඒ සියල්ල එසේ තිබියදී තාත්තාගේත් මේකලාගේත් අතීතය ගැන සෙවීම තමන්ට කළ යුතුමදැයි ඔහු සිතී ය.

“පුතා..ඉස්සරලම නේහා එක්ක සම්බන්දෙ නවත්තන්න.අනිත් එක ඔයා ආරණ්‍යා ගැන හිතාගෙන ඉන්නව විතරයි.ඒ ළමයගෙ හිතේ එහෙම තියෙනවනම් අපි ඊටපස්සෙ බලමු..”

ආරණ්‍යා මේ කිසිවක් නොදන්නී ඇගේ සිහිනයක ගිලී සිටියා ය.ඇයට උවමනා වූයේ මේඝට සමීප වන්නට ය.වඩා සමීප වන්නට නම් ඔහු සමඟ කතා කළ හැකි මාතෘකා ඕනෑ තරමට ඇය සතුය.ඈ මේඝ සමඟ කතා කරන්නට මාතෘකාවක් සෙවූවා ය.

“බොහෝ පෙම් කවි ලියූ පසුවද සියුම් කැපුමක් මෙන් රැඳී
නොලී කවියක් තිබිය නොහැකිද හදේ යම් රිදුමක් දිදී..”

මේඝ ඒ ගීය ෆේස්බුක් ගිණුමේ පළ කළේම ආරණ්‍යා වෙනුවෙනි.ආරණ්‍යා වහා ඔහුට පණිවිඩයක් එවූවා ය.

“සෞම්‍ය සඳරුවන් ලියනගේගේ කවි කියනවද ඔයා?”

ඇය අසන්නී ය.ගීයක් වන්නට පෙර එය කවියක් බවත් කවියා ගැන බොහෝ දේ ද ඇය ඔහුට පැවසුවා ය.කවීන් ගැන කතාව දුරදිග යන්නට පෙර ඇය ඒ කවියා ගැනම තවත් දෙයක් ඔහුට පැවසුවා ය.

“තමන්ගෙම කියල මඳ පවනක්වත් නැති මිනිස්සු අනුන්ගේ සුළි කුණාටුවලටත් ආදරේ කරනවා..”

ඒ වචන ද ඒ ලේඛකයාගේ බව ආරණ්‍යා පැවසී ය.ඉන් අනතුරුව ඈ ලියා එවූයේ මේඝට වඩා තදින් දැනුණු වාක්‍යයකි.

“මම හිතන්නේ මාත් දැන් එහෙම වෙලා.මටයි කියලා මඳ පවනක්වත් නෑ හින්දාද මන්දා මං අනුන්ගේ සුළි කුණාටුවකට ආදරේ වෙලා..”

මෝක්ෂගේ හිතුවක්කාර දෑස සිහිව එද්දී මේඝට තද බියක් දැනෙන්නට විය.ඔහු ලියා ගන්නට දෙයක් නැතිව ළතැවිණ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here