“මහේන් තමයි..”
මේකලා කිසිවක්ම නොකියා නිහඬවම සිටියා ය.උගුරෙහි සිරව යන ඉකිය පිටතට එන්නට ඉඩ දෙන්නට නොහැකි ය.වීදුරු බිත්තියෙන් එහා සිටිනා යෞවනයා තමන්ගේ කඳුළු දකිනවාට මේකලාගේ කැමැත්තක් නොවේ.
“මිනිස්සු අඬන්න ඕන.පිරිමි ළමයෙක් වුණත් අඬන්න ඕන.ඕනෑම කෙනෙකුට තමන්ගේ හැඟීම් පළ කරන්න පුලුවන්.අඬනව කියන්නේ ලැජ්ජාවට කාරණාවක් නෙවෙයි පුතු..”
මේකලා සඳරැස්ට එසේ කියා ඇත්තේ ඔහු බොහෝ ළාබාල කාලයේ පටන් ම ය.නමුත් මේ කඳුළු ඔහු දැකිය යුතු නොවේ.ඔහු දැන් මොහොතකට පෙර තමන්ගේ ආදර කතාවක් අම්මාට කියන්නට සැරසුණු බව මේකලා වටහා ගෙන සිටියා ය.පුතු තමන්ගේ ප්‍රේමය කියන්නට සැරසුණු මොහොතේ අම්මා ඇගේ ප්‍රථම ප්‍රේමය ගැන කියමින් වැළපීම සුදුසු නැති බව මේකලාට සිතෙන්නට පටන් ගෙන තිබිණ.ඇය කියන්නට කිසිත් නොමැතිව සීතලව ගොස් එලෙසම සිටියා ය.
“වැදගත් කාරණාවකට කතා කළේ මේකලා..”
වැදගත් කාරණා කතා කරන්නට වැදගත් මහතෙකුට මේ වෙලාව සුදුසු නැතැයි කියන්නට මේකලා තත්පර කිහිපයක් වැය කළා ය.
“මට මේක ඔයාට කියන්න හෙට උදේ වෙනකන් ඉන්න අමාරුයි..”
මේකලාට සුසුමක් නැගිණ.ඒ ඇය දන්නා මහේන් ය.ඔහුට හිතට ගැටලුවක් හෝ ආවේගයක් නැඟුණු විට එය වහා විසඳාගන්නට ඕනෑකමක් තිබිණ.එය අතීතයේ පටන් එහෙම ය.නමුත් මේ අතීතය නොවේ.වර්තමානය ය.
“ඒත් මේ කතා කරන්න වෙලාවක්ද මහේන්.අනික අපි දෙන්නට කිසිම වැදගත් කතාවක් තියෙන්න බෑ..”
කතා කරන්නට නොදී තර්ක කිරීම මේකලාගේ සාමාන්‍ය ස්වභාවය බව මහේන් දනියි.ඔහු ඒ සෑම මොහොතකම ඈ මට්ටු කළ අතීත ක්‍රමය තෝරා ගත්තේ ය.ඒ වඩා උස් හඬින් ඈ ඇමතීම ය.
“මේක ආරණ්‍යා ගැන ප්‍රශ්නයක්..”
ලෝකයේ සිටින දරුණුම ත්‍රස්තවාදියෙකු වුවත් ආරණ්‍යා ගැන යමක් පවසන්නේ නම් අසා හිඳීම මේකලාගේ සිරිත ය.දැන් කරන්නට කිසිත් නොවේ.එළි වනතුරු හෝ මහේන්ව අසා හිඳින්නට ඇය තීරණය කළා ය.
“මගේ පුතා ආරණ්‍යා ගැන ආදරෙන් ඉන්නෙ.”
මහා අන්ධකාරය මැදින් අකුණු සහසක් පුපුරා යන බවක් මේකලාට දැනෙයි.අතීතය මිනිත්තු කිහිපයක සිනමා පටයක් වී ඇගේ නෙත් ඉදිරිපිට ධාවනය විය.මේකලා නළල අතකින් මිරිකා ගත්තා ය.ආරණ්‍යාගේ කාමරයට ගොස් ඇයට තද පහරක් දිය යුතු තරමේ තරහකින් ඈ සාම්ප්‍රදායික අම්මා කෙනෙකු වී දැවෙන්නට ගත්තා ය.
“ඔයාගේ දුව ඒ කිසිම දෙයක් දන්නෙ නෑ.මගේ පුතා එයාට ආදරෙයි..”
මහේන් ඉනික්බිතිව පැවසී ය.යෞවනයා එවග ඔහුට පවසා තවම පැයක්වත් ගෙවී නැතැයි අනතුරුව පවසද්දී මේකලා සිටියේ දෙනෙතින් කඳුළු බේරමිනි.
“මගේ දූට ලක්ෂිගෙ ලේලි වෙන්න දෙන්න බෑ.”
මේකලා හඬන බව මහේන්ට ඇසෙයි.ඔහු කම්පිත විය.ඇයට ගැටළුව ඇගේ දියණිය තමන්ගේ පුතුට ආදරය කිරීම නොවේ.මේඝ ආරණ්‍යා ගැන ආදරයෙන් පිරී සිටීම නොවේ.ආරණ්‍යා ලක්ෂිගේ ලේලිය වීම ය.
“මට ප්‍රශ්නෙ ඒක නෙවෙයි මේකලා.මගේ පුතාගේ ගෑනු ළමයා නේහා,ඔයාගේ තත්වෙට වැටෙන එක..”
මේකලාට ඒ කතාව තිබුණේ දැරිය හැකි සීමාව පසු කරමිනි.යහනට වැටී නොකා නොබී වැලපෙන හිස නොපීරූ අපිළිවෙල ඇඳුමක් ඇඳගත් යුවතියක ඇයට සිහිව එයි.ඒ යොවුන් දැරිය අද මවකි.ඈ ඒ තත්ත්වයට ඇද දැමූ තරුණයා අද පියෙකි.ඔවුන්ගේ දරු දෙදෙනා එක්ව තවත් යුවතියක එතැනට ඇද දැමීම දෛවයේ ලියවී ඇති කාරණාවක්දැයි සිතා ගත නොහැකි වූ මේකලා කඳුළු වැල් මුහුණ පුරා ගලන්නට ඉඩ හැරියා ය.
“ආරණ්‍යා කියන්නෙ හොඳ දරුවෙක් මේකලා.ඒ දරුවත් නාස්ති වෙලා නේහාත් නාස්ති වෙන්න දෙන්න බැහැ.මම මේඝ ගැන බලාගන්නම්.ඒ යාලුකම ඊටවඩා දුර යන්න නොදී ආරණ්‍යා බලා ගන්න.අපි මහා විසාල වැරදි කරගත්තා.අපේ දරුවෝ ඒවම ආයේ ආයේ කරන්න ඕනද?”
මහේන් සමු ගත්තේ එසේ කියමිනි.මේකලා හඬමින්ම අඳුර මැද සිටියා ය.මේඝ කොහෙන් හෝ මතුවීම ද ආරණ්‍යා ඔහුට සමීප වීම ද සියල්ලම ඉවසා ගත හැකි ය.නමුත් නේහා ඒ කතාවේ සිටීම මේකලාව ශෝකයෙන් කම්පිත කරන්නකි.
“අම්මා ඇයි මේ?”
සඳරැස් අනාරාධිතවම අම්මා වෙත ආවේ ය.අම්මා හඬන්නී ය.එය ඔහු දකින්නට අකමැතිම දසුනකි.සඳරැස් අම්මා තදින් වැලඳ ගත්තේ ය.අම්මාගේ හැඬුම තවතවත් වැඩි වනවා මිස එය පාලනය නොවන බව දැනෙද්දී ඔහු අම්මාගේ හිස පිරිමදිමින් එලෙසම හුන්නේ ය.
“අක්කිට පිරිමි ළමයෙක් කැමතිලු..”
අම්මා අක්කාට දක්වන සීමා රහිත ආදරය සඳරැස් හොඳාකාරවම දනියි.ඇමතුම ආවේ ඔහුගෙන්දැයි සඳරැස් සිතී ය.නැත.එය වීමට ඇති ඉඩ අල්ප ය.ඒ හඬ ගැඹුරු හඬක් ඇති වියපත් පිරිමියෙකුගේ ය.ඇතිතරමට සමාජ සේවා කටයුතුවල ගැවසෙන අක්කා දේශපාලන ප්‍රබලයෙකුගේ පුතෙකුවත් පටලාගෙනදැයි සඳරැස් දැවී ගියේ ය.
“පුතා,ඔයා මාව අහන් ඉන්නවද?”
මොහොතකට පෙර අම්මාට ඔහුව අසා හිඳින්නට පැවසූ තරුණයා අම්මාගේ දෙපා මුල හරිබරි ගැසී ඇයව අසා සිටින්නට පටන් ගත්තේ ය.
ඒ තිස් වසරකටත් එහා කතාවකි.