ගෙදරදීම කොණ්ඩෙ පාට කරගමු

කොණ්ඩෙ පාට කිරීම කියන්නෙ අද වෙද්දි වයස් බේදයකින් තොරව කාන්තා පිරිමි අපි හැමදෙනෙක් අතරම ඉතාම ජනප්‍රිය විලාසිතාවක්නෙ. 

ඉතිං අද මේ ලිපිය කියවන ඔබත් ඔබේ කොණ්ඩය පාට කරගන්න කැමැත්තෙන් ඉන්න කෙනෙක් වෙන්න ඇති. 

නමුත් ඒ සඳහා රූපලාවන්‍යාගාරයකට යන්න ඔබට වෙලාවක් නැතිවෙන්න පුළුවන්.

එහෙමත් නැත්නම් රූපලාවන්‍යාගාරයකින් ඒ සේවාව ලබාගන්න මේ වෙලාවෙ ඔබේ අතේ මුදල් නැතිවෙන්නත් පුළුවන්.

ඔන්න එහෙනම් අද අපි ඔබත් එක්ක බෙදාගන්න සූදානම් වෙන්නෙ ගෙදරදීම නිවැරදිව කොණ්ඩෙට පාටක් දාගන්න විදිහ ගැනයි.

බලන්නකෝ කොච්චර ලේසිද කියල. 

පෙර සූදානම ඉතාම වැදගත්

තාවකාලික සහ අර්ධ ස්ථීර වර්ණක (temporary and semi-permanent hair dyes)

ඔබ වෙළඳසැලකින් හිසකෙස් වර්ණක (hair dye) මිලදී ගන්න කලින් සැළකිලිමත් වෙන්න ඕන කාරණා කීපයක් තියෙනව. 

ඔබ කොණ්ඩෙ පාට කරන පළවෙනි වතාව නම් වෙළඳපොලේ මිලදී ගන්න තිබෙන තාවකාලික හිසකෙස් වර්ණක (temporary hair dye) හෝ අර්ධ ස්ථීර වර්ණක (semi-permanent hair dye) මුලින්ම අත්හදා බලන්න අපි යෝජනා කරන්න කැමතියි. 

මොකද මොකක් හරි හේතුවක් හින්දා වර්ණ ගැන්වීම අසාර්ථක වුනොත් ඒ වැරදී ගිය කොණ්ඩා වර්ණය සමඟ ඔබට වැඩි කාලයක් ගත කරන්න අවශ්‍ය නැති නිසයි.

තාවකාලික හිසකෙස් වර්ණක (temporary hair dye) ෂැම්පූ සමඟ වාර 1 – 2 ක් පමණ සේදීමෙන් ඔබේ කොණ්ඩයෙන් ඉවත් වෙනව වගේම අර්ධ ස්ථීර වර්ණක (semi-permanent hair dye) ෂැම්පූ සමඟ වාර 20 – 26 පමණ සේදීමෙන් පසු ඔබේ කොණ්ඩයෙන් ඉවත්ව යනවා. 

නිරූපිකාවන්ගේ හිසකෙස් වර්ණය සමඟ සසඳන්න එපා

පැකැට්ටුවේ නිරූපිකාවගේ කොණ්ඩයේ වර්ණය ඔබේ කොණ්ඩයටත් ලැබෙයි කියල හිතන්න එපා. 

බොහෝවිට පැකැට්ටුවේ සඳහන් වර්ණයට වඩා අඩු (light) වර්ණයක් ලැබෙන නිසා ඒ වර්ණ කණ්ඩයේම මඳක් තද පැහැයක් තෝරගන්න එක නුවණට හුරුයි. 

පැකැට්ටුවෙ ඇති උපදෙස් හොඳින් කියවන්න

හිසකෙස් වර්ණක (hair dye) අඩංගු පැකැට්ටුවේ ඇති උපදෙස් ඉතා ඉවසිල්ලෙන් හොඳින් කියවීම අනිවාර්ය අතරම එහි සඳහන් ආකාරයටම අසාත්මිකතා පරීක්ෂණයක් කර බැලීම අනිවාර්ය බවත් ඔබට අපි මතක් කරන්න කැමතියි. 

අසාත්මිකතා පරීක්ෂණය කරන්න ඔබ hair dye සහ developer නිවැරදි පරිදි මිශ්‍රකර කන පිටුපස ඒ මිශ්‍රණයෙන් ස්වල්පයක් ආලේප කර පැය 48 ක් පරීක්ෂා කිරීම සුදුසුයි.

ඒ ස්ථානයේ කැසීමක්,දැවිල්ලක්, වේදනාවක් එහෙමත් නැත්නම් වෙනත් ආසාත්මිකතා ලක්ෂණ ඇතිවුනොත් වර්ණ ගැන්වීම කරන්න එපා.

හැකි ඉක්මණින් ඔබේ වෛද්‍යවරයා හමුවී ඒ පිළිබඳව උපදෙස් හා ප්‍රතිකාර ගන්න කියලත් අපි ඔබට මතක් කරනවා. 

කලින් නාන්න

සාමාන්‍යයෙන් අපේ හිසකෙස් වල ස්වභාවිකම තෙල් ස්වභාවයක් තිබෙනවා. මේ තෙල් නිසා හිසකෙස් වර්ණක වලට ඔබේ හිසකෙස් සමඟ හොඳින් බැඳීමේ හැකියාව ඇතිවෙනවා. 

එමඟින් හිසකෙස් වලට හොඳින් වර්ණය උරා ගැනීම සහ දිගු කාලයක් වර්ණය හිසකෙස් වල රැඳීමත් සිදුවෙනවා. 

ඔබ සාමාන්‍යයෙන් පාවිච්චි කරන ෂැම්පූ වර්ගය යොදා හිසකෙස් වර්ණ ගන්වන්න පැය 24 ක් හෝ 48 ක් පමණ කලින් ඔබේ හිස සේදීම වැදගත්.

සෝදා අවසන් වූ කොණ්ඩයට කන්ඩිෂනර් (conditioner) ආලේප කිරීමෙන් වැළකී සිටිය යුතුයි. 

එවිට හිසකෙස් වල ස්වභාවික තෙල් ඇතිවීමට ප්‍රමාණවත් තරම් කාලයක් තිබෙන නිසා ඔබේ වර්ණ ගැන්වීම සාර්ථක කරගන්න වැඩි ඉඩකඩක් ලැබෙනවා. 

පැල්ලම් ඇතිවීම වළක්වා ගන්න

හිසකෙස් වර්ණ ගන්වන්න කලින් නිවසේ ඇති ඔබ ඉවත් කල ඇඳුමක් (t-shirt වැනි) ඇද ගැනීම සහ ඊට උඩින් ඔබේ බෙල්ල ආවරණය වෙන විදිහට පරණ තුවායක් පොරව ගන්නත් අමතක කරන්න එපා. 

ඉන් පසු ඔබේ දෑත් හිසකෙස් වර්ණක (hair dye) පැකැට්ටුව සමඟ සාමාන්‍යයෙන් ලැබෙන අත් ආවරණ වලින් ආවරණය කරගන්න. 

එහෙම අත් ආවරණ (glouses) ලැබුනෙ නැත්නම් සාමාන්‍ය රබර් හෝ ලෙටෙක්ස් වැනි අත් ආවරණ පාවිච්චි කරන්නත් ඔබට පුළුවන්.

මේ පියවරවල් අනුගමනය කිරීමෙන් හිසකෙස් වර්ණ ගන්වද්දි අත්වල සහ ඇඟේ පැල්ලම් රැඳීම වැළැක්වෙනව වගේම පාට නිසා ඇඳුම් වලට වෙන හානියත් වැළැක්වෙනවා. 

වර්ණක මිශ්‍ර කරගන්න භාජනයක් පාවිච්චි කරන්න

පැකැට්ටුවේ ඇති උපදෙස් වල සඳහන් විදිහට hair dye (හිසකෙස් වර්ණකය) සමඟ developer (වර්ණ වර්ධකය)  මිශ්‍ර කරගන්න වෙනම භාජනයක් පාවිච්චි කරගන්න. 

ඔබට වෙනම developer වෙළඳපොලෙන් මිලදී ගන්න වුනොත් 20% developer මිලදී ගන්න ඔබට පුළුවන්.  

දැන් හිසකෙස් වර්ණ ගන්වමු

මුහුණේ සහ බෙල්ලේ වර්ණ ගෑවීම අවම කරගන්න මෙහෙම කරන්න

Vaseline (වැස්ලීන්) හෝ  lip balm (ලිප් බාම්) ස්වල්පයක් ඔබේ නළලේ සහ බෙල්ලේ හිසකෙස් ආරම්භ වන රේඛාව දිගේ ආලේප කිරීමෙන් සමේ රැඳෙන වර්ණක සෝදාහරින්න පහසු වෙනව. 

කොණ්ඩෙ හොඳට පීරගන්න

ඔබේ කොණ්ඩයේ ගැට සහිත බව ඉවත් කරගන්න මේ පියවර ඔබට උදව් වෙනවා. 

එය හිසකෙස් වර්ණක හොඳින් ආලේප කරගන්න වගේම එකලෙසම හිසකෙස් වර්ණ ගන්ව ගන්නත් ඉතාම වැදගත්.

ඔබේ හිසකෙස් කොටස් හතරකට බෙදාගන්න. 

මුලින්ම ඔබේ කනට ඉහළින් හිස් මුදුන දක්වා රේඛාවේ ඇති හිසකෙස් කොටස දෙකට මැදින් බෙදාගන්න.

ඉන් පසු හිස් මුදුනේ සිට බෙල්ල දක්වා ඇති හිසකෙස් කොටසත් දෙකට මැදින් බෙදාගන්න. 

දැන් මේ කොටස් හතරම තරමක් විශාල කොන්ඩ කටු හතරකින් රඳවා ගන්න.

ඊලඟට, අත් ආවරණ දමාගන්න

ඉන්පසු, පැකැට්ටුවේ ඇති උපදෙස් මත කලින් සූදානම් කරගත් භාජනයේ hair dye (වර්ණකය) සහ developer (වර්ණ වර්ධකය) අවශ්‍ය ප්‍රමාණයට මිශ්‍ර කරගන්න. 

හිසකෙස් මත වර්ණය ආලේප කරන්න

කොටසින් කොටස වෙන වෙනම කොටස් හතරේ වර්ණකය ආලේප කරගැනීම සිදුකල යුතුයි.

මෙහිදී ඔබ මුලින්ම එක් කොටසක් අඟල් ½ ක ¼ ක ප්‍රමාණයේ තීරු වලට වෙන්කරගෙන තීරුවෙන් තීරුවට වර්ණ ආලේප කිරීම කල යුතු වෙනවා. 

ඔබ මුලින්ම හිස්කෙස් වල මුල වර්ණක ආලේප කර ගන්න ඕන.

ඔබ හිසකෙස් වර්ණ ගන්වන පළවෙනි වතාව නම් හිස් කබලේ සිට අඟලක පමණ දුරින් වර්ණ ගැන්වීම ආරම්භ කල යුතු වෙනවා. 

ඔබ කලින් හිසකෙස් වර්ණ ගන්වා ඇත්නම් අඟල් භාගයක පමණ දුරින් වර්ණ ගැන්වීම ආරම්භ කරන්න පුළුවන්. 

සියළුම කොටස් වල හිසකෙස් මුල් වර්ණ ගන්වා අවසාන වුන පසුව හිසකෙස් වල ඉහළ කොටස වර්ණ ගන්වා ගන්න.

හිසකෙස් මුල් වල ඝනකම වැඩි නිසා හිසකෙස් මුල් වලට වර්ණය උරා ගැනීමට වැඩි වේලාවක් ගත වීම මීට හේතුව වෙනවා. 

මේ පියවර අනුගමනය කිරීම කොණ්ඩයේ සෑම තැනක්ම එකම වර්ණයෙන් පවත්වා ගැනීමට උපකාරී වෙනවා. 

හිසකෙස් ආවරණය කරන්න

Shower cap භාවිතා කර හිස ආවරණය කර ගැනීමෙන් හිසේ උෂ්ණත්වය රඳා පවත්වා ගන්න ඔබට පුළුවන්. 

එය වර්ණ ඔබේ හිසකෙස් වලට හොඳින් උරාගන්න උපකාරී වෙනවා. 

ඔබේ සමේ ගෑවී ඇති වර්ණක තෙත රෙඳි කැබැල්ලකින් පිසදා ඉවත්කරගන්න.

වර්ණය උරා ගන්න අවශ්‍ය වේලාව තබා හොඳින් සෝදා හරින්න

පැකැට්ටුවේ උපදෙස් පරිඳි සඳහන් කර ඇති කාලය තබා ඉන්පසු වර්ණක සෝදා හරින්න. 

වතුර සමඟ වර්ණකය ඉවත් වීම ගැන කලබල වෙන්න එපා. අවශ්‍ය වර්ණක ප්‍රමාණය දැනටමත් ඔබේ හිසකෙස් වලට උරාගෙන අවසන්. 

ඊලඟට,අවම වශයෙන් පැයකට පමණ පසු සුපුරුදු පරිදි ෂැම්පූ (shampoo) සහ කන්ඩිෂනර් (conditioner) භාවිත කරමින් ඔබේ කොණ්ඩය සෝදා හරින්න ඔබට පුළුවන්. 

දැන් කොණ්ඩය වේලා ගෙන ඔබට කැමති පරිදි හැඩගන්වා ගන්න ඔබට පුළුවන්.

ඉතිං ඔබේ දැනුවත් වීම සඳහා විස්තරාත්මකව සඳහන් වුනත් හිසකෙස් වර්ණ ගැන්වීම නිවැරදිව කලොත් කොච්චර පහසු දෙයක්ද කියල ඔබට දැන් වැටහෙනව ඇති. 

එහෙනම් ගෙදරදීම හිසකෙස් පාට කරගමුද ?

සටහන – දුලානි නවෝද්‍යා

Related Articles

Don't Miss


Latest Articles