කදෝකිමි ඇස් -25

0
4106
කදෝකිමි ඇස්

“ඊටපස්සෙ මම මහේන් එනකම් හරියට පාර බලන් හිටියා.අම්මගෙ ක්ලාසස් දවසට මල්වලට වතුර දාන වැඩ එහෙම මම කළේ හරි කැමැත්තෙන්.මහේන් යන්න කලින් කතා කරලා යන වචන කීපයත් මට හරි සහනයක් වුණා..”

බොහෝ අසීරු දවස් ගෙවා දමන කාලයක අනුන්ගේ මඳහසක් වුවත් ජීවත් වීමට හේතු සපයන තැන් ඕනෑ තරම් ය.මේකලා සිටියේ ඒ සිහිනයේ ය.මහේන් ඇයට සමීප වෙමින් සිටි ඒ කාලය තවමත් ඇයට සිහිනයක දැවටුණු මිහිරකි.

“ඇඬුවාම සේරම හරිද?”

ගෙඋද්‍යානයේ පලතුරු ගසක ගෙඩියක් දැක ඇස කඳුළු පුරවා ගන්නා මේකලාගෙන් එසේ අසමින් මහේන් නික්ම යයි.ඔහු ඒ පන්තියට එන අනෙකුත් පිරිමි ළමයින් මෙන් නැවතී කතාබහක නොයෙදුණද මේකලා අසලින් යන්නේම ඇගේ හදවත වටහා ගෙන ය.ඇය ඒ මොහොතේ හිඳිනා මානසික මට්ටමට ගැළපෙන කතාවක් කියාගෙන ය.

“ඉතින් එයාට ආදරේ නොවී ඉන්න අම්මට හේතුවක් තියෙන්න නැති වුණාද?”

සඳරැස් අසන්නේ සිනාමුසුව ය.තාත්තාගේ පුතා අම්මාව මෙතරම් හොඳින් තේරුම් ගැනීම ම මොනතරම් සහනයක්දැයි මේකලා සිතුවා ය.ඇය පුතු දෙස මොහොතක් බලා සිටියා ය.ඇයට මහේන් මුණ ගැසෙද්දී ඔහු සිටියේ ද අද සඳරැස් සිටින වයසේම ය.

“ඊටපස්සෙ මොකෝ උනේ අම්මා..”

පුතු දෙස මොහොතක් බැලූ මේකලා වෙනත් මාතෘකාවක් සිහි කළා ය.මේ හැඟීම් පිපෙන ඒ ඇසිල්ලේම පරවෙන වයසකි.මහේන්ගේ ඇමතුම එන්නට මොහොතකට පෙර පුතු ද සිටියේ අම්මාට යමක් පවසන මානසිකත්වයක බව ඇයට සිහි විණ.

“ඔය වයසේ තීරණ හරියටම හිතට අවංකව ගන්න.එහෙම ගන්න බැරි වුණු නිසා වුණු දෙයක් ගැන කතාවක් මේ..”

ඒ කතාව මල්ඵල නොදැරූ බව සඳරැස්ට කියන්නටත් නුවුමනා ය.අප්පච්චි අම්මා හා විවාහ වූයේ මහේන් සේනාධීර අම්මාගෙන් වෙන් වූ නිසා බව කියන්නට ද අනවශ්‍ය කතාවකි.ආදරය කිරීම සේම වෙන්වීම ද මනුෂ්‍ය තෝරා ගැනීම් ය.එසේ වුවත් අක්කා සහ මහේන්ගේ පුතු අතර ප්‍රේමයකට විරුද්ධව කටයුතු කරන්නට අම්මාටවත් මහේන්ටවත් අයිතියක් ඇතිදැයි සඳරැස් සිතී ය.

“අම්මා ඒ කතාව අන්තිමට මොකෝ වුණේ කියන්න.ඇයි ඔයාලා මෙච්චර තරහ..”

සැබෑවටම තමන් හා මහේන් අතර තරහක් හෝ වෛරයක් ඇතිදැයි මේකලා සිතන්නට වූවා ය.වෛරයක් හෝ තරහක් කියන්නේ පසුතැවීමට හෝ වේදනාවට නම් එය එසේ වන්නට ඉඩ තිබේ.

“ඒක හුඟක් දිග කතාවක් පුතා..”

පාඩම් කරන්නට අප්‍රමාණ දේ තිබේ.හෙට අමතර පන්තියක් වෙනුවෙන් අවසන් කළ යුතුම වන කටයුත්තක් ද තිබේ.ඒවා සියල්ලමට වඩා අම්මාට මානසික සහනය ලබා දීම වැදගත් බව සඳරැස්ට සිතේ.ඔහු අම්මාගේ දිග කතාව අසන්නට හිඳ ගත්තේ ය.එහෙත් ආරණ්‍යා සඳැල්ලට කඩා වැදුණේ ඒ මොහොතේ ය.

“මොකද මේ..”

ඇගේ බිය රැඳි මුහුණ දෙස බලමින් සඳරැස් අසන්නේ ඔලොක්කුවට ය.ආරණ්‍යා අම්මාගේ උකුලත හිස තබා හිඳ ගත්තා ය.සිහිනයක් දැක බිය වූ බව ඇය කියන්නේ බියෙනි.තිගැස්මක් සහිතව ය.එසේ කියා හිස ඔසවද්දී අම්මාගේ කම්මුල් මත ඇති තෙත් කඳුළු පාරවල් ඇය දුටුවා ය.

“අම්මා..ඇයි මේ?”

ආරණ්‍යා එසේ අසද්දී මේකලා කලබල වූවා ය.මේඝගේ සිතුවිලි ආරණ්‍යාට තරවටු කරන්නට හේතුවක් නොවේ.නමුත් ඇයට ඒ ගැන අනතුරු ඇඟවීමක් හෝ කරන්නට මේකලාට ඇත්තේ බියකි.සඳරැස්ට පැවසූවාට ආරණ්‍යාට මේඝගේ තාත්තා ගැන කියන්නට මේකලා අකමැති ය.

“අම්මට චූටි මාමා මතක් වෙලා..”

සඳරැස් වහා හේතුවක් සොයා දුන්නේ ය.ආරණ්‍යා අම්මාගේ අතක් පිරිමදිමින් ඇයට තුරුළු වූවා ය.

“මල්ලියෙක් ඕනම නෑ අම්මා.මේ පේනවනෙ.මහ ඇණ..”

පසුගිය කාලයේ ගෙවු සමහර අසීරු දවස් තිසර හුන්නානම් අසීරු නොවන බව සිතද්දී මේකලාගේ ඇසට අලුත් කඳුලක් ඉනී ය.මහේන් ළං වූයේම මල්ලිගේ නික්ම යාම නිසා ය.නමුත් තිසර සිටියා නම් හොඳ බව සිතුණේ මහේන්ගේ නික්ම යාම නිසා ය.

“ඔයාල දෙන්නගෙ ජීවිතවලට තව දෙන්නෙක් එයි.ඊටපස්සෙ ඔයාලා පවුලක් හදා ගන්න දවසකුත් එයි.ඒ වුණාට ඔයාලා දෙන්නට ඔයාලා දෙන්නව කවදාවත් නැති කරගන්න එපා..”

මේකලා පැවසුවේ ආරණ්‍යාගේ අනාගතය ගැන ඇයට අනියත බියක් දැනෙන්නට වූ හන්දා ය.ඈ මේඝගෙන් වහන් කරගන්නා අන්දම ගැන සැබෑවටම මේකලාට වැටහීමක් නොවේ.තරුණ දියණියට ඕනෑවට වඩා නීති දමන්නට ගියහොත් ඈ අම්මා සමඟ විසි එක් වසක්ම බැඳී හුන් බැම්ම ගැන සැක සිතන්නට ඉඩ තිබේ.මහේන් මේඝ පාලනය කර ගන්නා බව කීව ද තරුණයෙකු එසේ රැහැන් දමා රැක ගැනීම උගහට වග මේකලා දනියි.ඒ මහේන්ගේ පුතු ය.තාත්තා මෙන් සිතුණු දේ කරන කොලුවෙක් විය යුතු ය.

මේකලා ශෝකය පිරුණු මුහුණෙන් දියණිය තරයේ වැළඳ ගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here