කදෝකිමි ඇස් -26

0
3985
කදෝකිමි ඇස්

“වෙඩින් එකක් ගන්න මේඝගේ කිසීම ලෑස්තියක් නෑ.”

නේහා ආවේ එසේ කියමිනි.ලක්ෂි සුපුරුදු පරිදි කෝප ගන්නට සැරසෙද්දී මහේන් නේහාට හිඳ ගන්නැයි සන් කළේ ය.

“පුතා..”

ඔහු නේහාව ඇමතුවේ ළතෙත්ව ය.දියණියක නැති බව ඇත්තකි.එහෙත් ආරණ්‍යා කෙනෙකුට උපත දෙන්නට සිහින මැවූ යොවුන් මහේන් හදවතෙහි සිටිනතුරුම මහේන් දියණියන් ගැන බලන්නේ ආදරයෙනි.දූෂණයට ලක් වූ දැරියන් සම්බන්ධ නඩු සඳහා වින්දිතයා වෙනුවෙන් මහේන් ඉදිරිපත් වෙද්දී විත්තිය සසලව යයි.

“මරණ දඬුවම නියම කරවන්න පුලුවන්නම් මිනිහා ඒකත් කරයි.”

චූදිත පාර්ශවය එතරමට සසැලෙන සේ මහේන් සේනාධීර එවැනි කාරණාවලදී උසාවියේදී බලවත් ය.දියණියක රිදුම් නොලබන චරිතයක් විය යුතු බව සිතන්නට ගත් දිනය ඔහුට තවම මතක ය.

“මේකලාගේ ජීවිතේ නැති කරගන්න ගත්තු උත්සාහේ වැරදිලා..”

මිතුරෙකු එසේ කියද්දී ඔහු රෝහලට ගියා නොව ඉගිලුණේ ය.යන්ත්‍ර ආධාරයෙන් හුස්ම ගන්නා ඔහු සසැලුණේ මේකලාගේ තාත්තා හැඟීම් විරහිත මුහුණකින් ඔහු දෙස බලා සිටියදී ය.

“ආයේ ඒ ළමයට තමුන්ගෙ හුළඟක්වත් වැදෙන්න ඉඩක් තියන්න එපා..”

මහේන් කිසිත් නොකියාම යන්නට ගියේ ය.ඔහු වර්තමානයේ මේ සියල්ල කරන්නේ අතීත වරදක් නොනවත්වාම තමන් රිදවද්දී බව මහේන් කිසිවෙකුටත් කියා නැත.නමුත් ඔහුගේ හෘද සාක්ෂිය ඒ ගැන ඉතා හොඳින් දනියි.නේහා මේකලා කෙනෙකු වෙතැයි ඔහු කම්පනයට පත් වන්නේම එනිසා ය.

“මේඝ ඔයා එක්ක තවදුරටත් ගමනක් නෑ කියලා හිතනවනම් ඒක ඔයත් නවත්තන්න ඕන පුතා.ඔයා ඒක ගැන හිත හිතා ලෙඩ වෙන්න එපා.ඔයා ස්ට්‍රෝන්ග් වෙන්න ඕන..”

මහේන් පවසන්නේ නේහා වඩාත් සන්සුන් කරන ස්වරයකිනි.සමූහ දූෂණයකට ලක් වී මනෝ වෛද්‍ය ප්‍රතිකාර ගනිමින් සිටි නව යොවුන් වියේ දැරියක පිරිමියෙකුගේ කටහඬට පවා සැලෙද්දී මේඝ ඇගේ නඩුව බාර ගත්තේ ය.ඇය නඩු කටයුතු වලදී හමු වෙද්දී ඔහු ඈට සුළු කාරණා පැවසුවේ ය.වරද ඇත්තේ තමන් තුළ නොව අසික්කිත මිනිසුන් තුළ බව දැනගත් යෞවනිය ජීවිතයට ධෛර්යය ගත්තා ය.”සර්,මං අනුපමා.මං ලෝ ෆැකල්ටි සිලෙක්ට්” .එදා බොහෝ කම්පිත සහ තුවාල සහිත දැරිය වසර අට නවයකට පසු මහේන් ඇමතී ය.එවැනි රිදවීම් සහිත දැරියන් ද ජීවිතය අතැර නොගත්තානම් නේහාට ද මේ කාරණාව අසීරු නොවන බව මහේන් කියද්දී නේහා සන්සුන් වූවා ය.

නමුත් ලක්ෂි ඒ සන්සුන් බව ගැන කැළඹුණි.ඇයට මේඝ නේහාගෙන් මිදෙන අන්දම බලන්නට කිසිම අයුරකින් ඕනෑ වූයේ නැත.

“එහෙම මේඝට නටන්න දෙන්න බෑ..”

ලක්ෂිගේ කතාව නැවතුණේ මහේන්ගේ රැවීමෙනි.

“නේහා, ඔයාට ඩිවෝස් වෙන්න බෑ දුව කවදාහරි.මං ඩිවෝස් නඩු කතා කරලා ඇති ඉහේ කෙස් ගාණට.ඔයා මේ කසාදෙ කරගෙන ඩිවෝස් එකකට යන්න ඕන නෑ.ඇත්තටම කිව්වොත් තමන් ප්‍රතික්ෂේප කරන පිරිමියෙක් ගාව ගෑනු දරුවෙක් රැඳෙන්න ඕන නෑ..”

නේහා ආපසු ගියේ මහේන් කී සියල්ල ගැන සිතා බලන්නට සිතමිනි.ඇය එතරමට ඔහුගේ වචන ගැන සංවේදී වූවා ය.ලක්ෂිට ඇය කෝපයට පත් කරන්නට බැරි වන තරමට නේහා සන්සුන් වූවා ය.

“කොහෙහරි ඉන්න උඩැක්කියක් මේඝ අල්ලන් ඇති.ඒක වෙන්න ඇරල ඇහැ කන පියන් ඉන්න එකද හරි..”

ලක්ෂි මහේන්ට කඩා පැන්නේ නේහා යන්නට ගිය පසු ය.

“ඒක මේඝගේ තීරණයනම් නේහා ඒකට අහු වෙලා දුක් විඳින්න ඕනද?”

මහේන් උසාවියේ දී මෙන් ගෙදරදී තර්ක කරද්දී ලක්ෂිට කර කියා ගන්නට දෙයක් නොවේ.නමුත් ඇය මහේන් දෙස කෝපයෙන් බලා සිටියා ය.

“තමන් ගත්තු තීරණේ වැරදි කියලා හරි ඒ තීරණේ හරි කියල හරි දවසක හිතෙන්න ඕන මේඝට.නේහා ගෑනු ළමයෙක්.ඒ ළමයා මේඝ ළඟ අඩා වැටෙන්න ඕන නෑ.ඔයාලගෙ යාලුකම් නිසා අපේ ළමයි දෙන්නම දුක් කසාදෙක හිර වෙලා දික්කසාද වෙන්න ඕනත් නෑ.”

මහේන් අවසන් තීන්දුව දී නැගී සිටියේ ය.ඔහු පැවසූ සමහර කාරණා අතීත සෙවණැලි වැටුණු ඒවා බව ලක්ෂි දනියි.නේහාගේ අම්මා සහ ලක්ෂි හමුවන්නට වසර ගණනක් එහා අතීතයකදී පැමිණ හඬා වැටුණු ගැහැනු ළමයා ලක්ෂිට සිහි වේ.ඇය ඒ පැමිණ තිබුණේ ඇගේ ආදරවන්තයා ඉල්ලා සිටින ගමනකි.කොළඹ පාරවල් පවා නොදැන ඇය සොයා ආ ගැහැනු ළමයා වැඩියෙන්ම විහිළුවකට ගත්තේ ලක්ෂි නොවේ.නේහාගේ අම්මා ය.එදා ඒ යුවතිය,මේකලාට දුන් ගින්න අද තමන් දෙදෙනාටම එක්ව ඇවිලෙන බව ලක්ෂිට දැනෙයි.

ඇය පුටුවටකට වැටී දෝත මත මුහුණ ගසා ගත්තේ කම්පිතව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here