කදෝකිමි ඇස් -31

කදෝකිමි ඇස්

“නැන්දා ඇයි දැන් ආරණ්‍යාට සපෝට් කරන්න හිතන්නේ?”

ලක්ෂි සහ මහේන් ලබා දුන් ඇමතුම් ගැන වෙන වෙනම විමසූ මෝක්ෂ අසන්නේ ගැඹුරු ප්‍රශ්නයක් බව මේකලාට සිතිණ.ඇය ඔහු දෙසම බලා සිටියා ය.වෙනත් දවසක නම් ඇගේ සෑම ප්‍රශ්නයකටම පිළිතුරු ඇති යෞවනයා අද ඇගෙන් ප්‍රශ්නයක් අසයි.එයට හදවතට එකඟ පිළිතුර දෙන්නට තරම් මේකලාට සිතක් නැත.

“අපි කරන හැම දේකම ප්‍රතිඵල අපට ලැබෙනවා නැන්දා.ඒ නිසා අපි ඒවා කරන්න ඕන අපට ඒවා දරන්න පුලුවන් මට්ටමක නම් විතරයි හරිද..”

මෝක්ෂ ඉනික්බිතිව පැවසී ය.මේකලා හිඳින්නේ ආරණ්‍යාට ජීවිතය ගැන කැමති තීරණයක් ගන්නට ඉඩ දෙන නිදහස් මානසිකත්වයක නොව ලක්ෂිට රිදවීමේ තදබල තීරණයක බව මෝක්ෂට දැනෙමින් තිබිණ.කොහොමටත් තමන් වැරදි නැති බව ඔහුට හැඟෙයි.තමන්ගේ අම්මාව ද මේකලා නැන්දාව ද කියවා ගැනීම මෝක්ෂට කවදත් පහසු කටයුත්තකි.එනිසාම මේකලාගේ මනස මේ මොහොතේ ක්‍රියා කරන අන්දම ඔහුට හොඳින් වැටහිණ.

“අම්මාගේ වචන ඔය.අම්මා අවුරුදු ගාණකට කලින් දවසක මට ඔහොම කිව්වා.”

මේකලා එසේ පවසා මෝක්ෂ සමඟ හිනැහුණා ය.ඔහු මෙතරම් කාලයක් නිර්දය විචාර දුන්නේ තමන්ගේ පොත් ගැන පමණි.නමුත් දරුවන් මොනතරම් වේගයෙන් උස්මහත් වෙනවාදැයි කිවහොත් ඔහු දැන් තමන්ගේ තීරණ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන තරමේ ලොකු කොලුවෙකි.

“මම ලක්ෂිට රිද්දන්න නෙවෙයි පුතා ඒ තීරණේ ගත්තේ.අපේ අතීතේ ආරණ්‍යාගේ සතුට නැති කරන හේතුවක් වෙන්නෝනෙද? මේඝගෙ තාත්තායි අම්මයි මායි අතර තියන වෛරයක් මේඝටයි ආරණ්‍යාටයි බලපාන්න පුලුවන්ද?”

මේකලා එසේ අසද්දී මෝක්ෂ දෑත බැඳගෙන ඈ දෙස බලා සිටියා ය.බිනරිගේ තීක්ෂණ බැල්ම මේ කොලු ගැටයාට එහෙමම පිහිටීම ඇතැම්ව්ටක මහත් හිරිහැරයක් බව මේකලා සිතී ය.

“නැන්දා,ඔයා තිස්සෙම කියනවනෙ මං අම්මමයි කියල.අම්මා වගේ පෙනුම විතරක් නෙවෙයි හිතන්නෙත් එයා වගේ කියල.ඔයා සමහරවෙලාවට අම්මා තරම්ම හිතුවක්කාරයි කියලනෙ මට බනින්නෙත්.ඉතින් මේඝ කියන්නේ මහේන් වගේම කෙනෙක් නම්..”

මෝක්ෂගේ ඒ ප්‍රශ්නය මේකලාගේ හදවත පසාරු කළ එකකි.ඔහු මහේන් වාගේම කෙනෙකු නම් ඒ ඇය ආරණ්‍යා කෙදිනක හෝ විවාහ කර දෙන්නට සිහින මැවූ පෞරුෂය නොවේදැයි මේකලා සිතුවා ය.ගැහැනියකට ලැබිය යුතුම වූ වර්ගයේ ආදරයක් සහ ආරක්ෂාවක් මහේන් සතු බව කියන්නට මේකලාට සිත් වේ.ඇය වචන සොයන්නට වූවා ය.විනාඩියකට වාක්‍ය ගණනාවක් ලියන්නට තරම් වචන ඇති ගැහැනියක වූ ඇය මේ මොහොතේ වචන සොයා ගන්නට නොහැකිව අතරමං වී තිබිණ.එනිසාම ඇය කිසිත් නොකියන්නට තීරණය කළා ය.එහෙත් මල්ලීගේ වියෝව දරා ගන්නට නොහැකිව හඬමින් සිටි කෙල්ලක සනසන්නට ලෝකයේ නැති කතාන්දර කී තරුණයෙකු ඇගේ මතකයෙන් මැකී නොයයි.

“මම තව බෝම්බයක් ගහන්නම්.මේ දේත් නැන්දා දැන ගන්න එක හොඳයි.”

මෝක්ෂ එසේ පැවසුවේ මේ වෙනතුරුම කියන්නට නොසිතූ කතාවකි.නමුත් මේකලා දැන් එය දැනගත යුතුම බව ඔහු සිතුවේ ය.

“නංගි දැන් නිතරම මේඝට කතා කරනවා.මේඝගෙ කැමැත්ත අකමැත්ත නොදැන නංගි එයාට කැමැත්තෙනුත් ඉන්නව.ඒ දෙන්නා අතර ඒ කැමැත්ත කියවුණොත් එයාලා ආදරේ කරයි.අපි ඒක අතීතේ නිවැරදි කරන්නවත් ලක්ෂිට රිද්දන්නවත් යූස් නොකර ඉමු නැන්දා.මේඝයි ආරණ්‍යායි කියන්නෙ වෙනම ජීවිත දෙකක්.අතීතේ එයාලට වැඩක් නෑ.වර්තමානෙන් එයාලා අනාගතේ හොයාගත්තාවේ.”

මෝක්ෂ කරකැවෙන පුටුවේ කරකැවෙන්නේ මේකලා වඩා සන්සුන් කරමිනි.මේ කොලුවා ඉතා කුඩා බට්ටෙකු කාලයේ පුටුවෙන් පතබෑවෙනවාට බියෙන් සිටි කාලය මේකලාට සිහි වේ.කාලය වේගයෙන් ගලා යයි.ඔහු අද වැඩුණු තරුණයෙකු වී මේකලාගේ වරදක් සෘජුව පෙන්වා දෙන්නෙකු බවට පත්ව තියේ.කාලය එවැනි හාස්කම් කරන්නෙකි.ආරණ්‍යාටත් මේඝටත් අතීතය අදාළ නොවේ.කාලය ඔවුන් අනාගතයට රැගෙන යනු ඇත.ඒ අනාගතය ඔවුන් එක්ව රැඳෙන එකක් නම් එයට එරෙහි නොවී හිඳින්නට මේකලා සිතුවා ය.

“මහේන්වත් ලක්ෂිවත් එයාලට කැමැත්තක් දෙන්නේ නෑ.ගොඩක් වෙලාවට ජාලිය මාමාත් ඉන්නේ අකමැති වෙන කොටසේ කියලා මට හිතෙනව.”

මේකලා එසේ කියද්දී මෝක්ෂ හිනැහුණේ සැහැල්ලුවෙනි.ඔහු ඒ කිසිවක් ගැටළු බව නොසිතා හිනැහෙයි.

“ඉස්සරලම ඒ දෙන්නා ඒ දෙන්නට කැමති වුණාවේ නැන්දා.”

ඔවුන් දෙදෙනා එකිනෙකාට ආදරය නොකරන තුරු මේ කිසිවක්ම ගැටළු නොවන බව මේකලාට ද සිතෙන්නට වූවා ය.ආරණ්‍යා සහ මේඝ නේහාට කිසිම වරදක් නොකළානම් ඇයට මේ කතාවේ කිසිම වරදක් දැන් පෙනෙන්නේම නැත.

“මං ඔය කතාව මේඝගෙ පැත්තෙන් දන්නව.නේහාට මේඝ නැති වුණේ එයාගේ තියන තද සැකේ නිසා.නේහා මේඝට ඔලුවෙ කැක්කුමක් වුණු නිසා.ඒකට අපේ නංගි සම්බන්ධ නෑ.”

මහේන් සේනාධීර නම් තරුණයාගේ සෙලවීමක පවා වෙනසක් දකිමින් ඔහු තමා රවටන බව විශ්වාස කරමින් වැළපෙන යුවතියක සිහි වන්නට ගත් මේකලා කැළඹෙන්නට වූවා ය.මේඝ මහේන්ගේම පුතු බවට සැක නොවේ.ඔහු ද තදබල නිදහසක් පතන්නෙකි.තාත්තා මෙන්ම ඔහු ද ප්‍රථම ප්‍රේමය අත්හැර දමන්නට එකම හේතුව සැකය ය.මේකලාට ඒ කතාව ගෙන ආවේ තදබල අපහසුතාවයකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here