කදෝකිමි ඇස් -32

0
3349
කදෝකිමි ඇස්

ආරණ්‍යා තරුපිරි අහස දෙස බලමින් කල් මරන්නට වූවා ය.පාඩම් කරන්නට ඕනෑතරම් දේවල් තිබේ.අම්මා ඊයේ මරදානේ සංචාරයකට පසු වාහනය පිරෙන්නට පොත් රැගෙන ආ බව ද ඈ දුටුවා ය.සඳරැස් අලුත්ම චිත්‍රපටියක් බාගත කර එය පුදුමාකාර සිනමාත්මක ගුණයකින් යුතු එකක් බවට පාරම් බා තිබේ.නමුත් ආරණ්‍යාට කිසිවක්ම කරන්නට සිතක් නොයේ.

ඇය ප්‍රේමයෙන් ආතුරව ය.සමහර හින්දි චිත්‍රපටවල ආදරය ඇති වූ උමතුවෙන් මෙන් ගයන නටන කෙල්ලන්ට හිනැහීමේ විපාක ආරණ්‍යාට දැනෙන්නේ දැන් ය.එසේ උමතුවකින් මෙන් සඳළුතලය මත නටන තරමට ආරණ්‍යා ප්‍රේමණීය හදවතකිනි.උමතුවකිනි.ඇය මඟ බලා සිටියේ මේඝගෙන් ඇමතුමක් එනතුරු ය.ඔහු අමතන්නට ප්‍රමාද වෙද්දී ඇයට දැනුණේ සාංකාවකි.ඔහු අමතන්නට ප්‍රමාද වන්නේ කුමක් හෝ ගැටළුවකදැයි ආරණ්‍යා බියපත් වූවා ය.නේහා සමඟ සම්බන්ධය නැවතීම ගැන ඔහුට පැවසූ සමහර කාරණා ගැන ඔහු විස්සෝපයෙන්දැයි ඇය බියට පත් වූවා ය.

එහෙත් මේඝ සිටියේ දරුණු කුණාටුවකට මැදිව ය.ඒ කුණාටුව මඳක් පහව යෑමෙන් පසු ආරණ්‍යා අමතන්නට ඔහු තීරණය කළේ ය.ඔහු එනතුරුම ආරණ්‍යා මඟ බලන බව දන්නේනම් මේඝ මෙතරම් පමා වන්නේ නැත.නමුත් ඔහු ඒ ගැටලුව ගැන කතා කරන්නට සිතමින් ම ආරණ්‍යාට මැසේන්ජර් පණිවිඩයක් එවී ය.

“ඔයා ඇයි මට සහස් ගැන නොකිව්වේ?”

මේඝ වෙනදා මෙන් ආගිය තොරතුරු කිසිත් නොවේ.එසේ ඔහු අසද්දී ආරණ්‍යා කෑළඹුණා ය.

“කියන්න තරම් එයාගේ විශේෂත්වයක් නෑනෙ.දන්න ළමයෙක්.”

ආරණ්‍යාගේ පිළිතුර අසා මේඝ පණිවිඩ ලිවීම නැවතී ය.පැන නැඟුණු හදිසි ආවේගය මුදා හැරුණේ ඇමතුමකිනි.

“ඒ ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් නේද?”

ඔහුගේ කටහඬෙහි වූ ආවේගය ආරණ්‍යාට දැනේ.ඇය ඊටවඩා කෝපයට පත් වූයේ ඒ ප්‍රශ්නයෙනි.සහස්ට එවැනි වටිනාකමක් දෙන්නට ආරණ්‍යාට අවශ්‍ය නොවේ.ඇය ඉතා පැහැදිලිව එය ඔහුට පැවසුවා ය.

“සහස් ඔයා ගැන බලාපොරොත්තුවක් ඇතුව ඉන්නවද?”

මේඝ ඇසුවේ ක්‍රමයෙන් සන්සුන් වෙමිනි.ඔහු මෝක්ෂ තමන්ගේ පිළිමලෙකු වේයැයි බියට පත් වූ බව සැබෑවකි.නමුත් මේ තරුණයා මතු වූයේ හදිසියේ ය.

“එයා ඔයාට කතා කරාද?”

සහස් ඇමතූයේ තමන්ට නොවන බවත් නේහාට බවත් නේහා අම්මාට ඒ පණිවිඩය ලබා දී ඇති බව මේඝ හෙළි කරද්දී ආරණ්‍යා තිගැස්සුණා ය.මේ ඇය නොසිතූ අබග්ගයකි.සහස් එවැනි විකාරයක නිරත වන්නට හේතුව ඇයට නිකමට හෝ සිතා ගන්නට නොහැකි ය.සහස් මේඝ ගැන දැන නොසිටි බව ආරණ්‍යාට විශ්වාස ය.

“දැන් ඉතින් මොකද කරන්නේ?”

ආරණ්‍යා පැවසුවේ පසුතැවිල්ලෙනි.නොකළ වරදකට චෝදනා ලැබීම තරම් කිසිවක්ම පීඩාකාරී නැති බව ඇය දනියි.ඇය මින්පෙර එවැනි චෝදනා ලබා නැත.එනිසාම මේ ගැන ආරණ්‍යාට දැනෙන්නේ මහත් කෝපයකි.සහස්ට කනේ ඇඟිලි ගස ගන්නට දෙකක් කියන්නට දැනෙන කෝපය පාලනය කර ගන්නට ආරණ්‍යාට නුවුමනා විය.

“අහන්නකො.මං සහස්ට කියනව ඔයාගෙන් සමාව ගන්න.”

ඒ සමාවෙන් නේහා සන්සුන් නොවන බව ආරණ්‍යා දැන සිටියා ය.නමුත් පැවසූ දේ ඇත්තක් නොවන බව ඔහු ලවා නේහාට පැවසීම විශ්වාස තැබිය හැකි කාරණාවක් නොවේ.ඊට වඩා මේ කළ අසංවර ක්‍රියාවට ඔහු මේඝගෙන් හෝ සමාව ගැනිම යහපත් ය.

“ඇයි ඔයා සහස්ට අකමැති?”

මේඝ ආරණ්‍යාගෙන් එසේ ඇසුවේ ඇගේ හඬ ඔහුගේ හිස පුරා ඇති කළ කුණාටුව ක්‍රමයෙන් ඉවතට පා කරන්නට සමත් වෙද්දී ය.ආරණ්‍යා උස් සිනාවක් නැඟුවා ය.

“මේ වගේ මනුස්සයෙක්ට කැමති වෙන්න හේතුවක් ඔයාට පේනවද?”

ඇය අසයි.මේඝට අසන්නට තවත් ප්‍රශ්නයක් තිබේ.ඔහු එය අසන ආකාරය සිතී ය.අම්මා මෙන් ලියන්නට නොගියාට ඇයටත් වඩා සාහිත්‍යමය ආකාරයෙන් කතා කරන කෙල්ලකට එවැනි ප්‍රශ්නයක් පහසුවෙන් නැඟිය හැකි ද නොවේ.

“එහෙනම් ඔයා කැමති මොනවගේ කෙනෙක්ටද? අප්පච්චි වගේ.මල්ලි වගේ..මෝක්ෂ වගේ..

මේඝ අසයි.එයට ආරණ්‍යාට දෙන්නට ඇත්තේ එකම පිළිතුරකි.නමුත් ඒ පිළිතුර දෙන තරමට ඇය ශක්තිමත් නොවේ.නැතිනම් ඇය “ඔයා වගේ” යැයි කියන්නට පැකිළෙන්නේ නැත.

ආරණ්‍යා කිසිත් නොකියන්නට තීරණය කළා ය.කිසිවක්ම පැවසීම මේ මොහොතේ සුදුසු නොවේ.ඇය කතාව එතැනකින් නවතන්නට තීරණය කළා ය.

“සහස් කරපු දේට මොකද කරන්නේ?”

ඇය කතාව මඟ හැරිය බව වටහා ගත් මේඝ සැබෑ ප්‍රශ්නය වෙත පැමිණියේ ය.ආරණ්‍යා මේ ප්‍රශ්නයට මැදි කර ගැනීම ගැන තාත්තා ද සිටින්නේ අප්‍රසාදයෙනි.මේ වෙනත් දැරියක වූවානම් අම්මා ඇගේ පවුල් පසුබිම සොයා බලමින් නේහාට වඩා බර අත්තක්දැයි සොයන්නට අමතක නොකරන බව මේඝ දනියි.

“මේ ප්‍රශ්නෙට මේකලාගෙම ළමයා පටලා ගත්තෙ ඇයි බං?”

තාත්තා එසේ අසද්දී ඔහුගේ නළල් ඉරිවල තිබූ කරදරකාරී ස්වභාවය මේඝට යළි යළිත් සිහිපත් වේ.සැබෑවකි.ගැටළුව ඇත්තේම මේ ප්‍රශ්නයට මේකලා මායාදුන්නගේ දියණිය මැදිහත් වීමේ ය.

“ආරණ්‍යා මම ඔයාට පුංචි කතාවක් කියනව.ඒ කතාවට ඔයා කලබල වෙන්න බෑ.”

මේඝ එසේ කියද්දී ඔහු මොහොතකට පෙර පැවසූ කාරණාවට වඩා දෙයක් කලබල වන්නට ඇතිදැයි ආරණ්‍යා සිතී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here