“ඔයා ඔය මොනවද උයන්නේ?”
චාමර ඇහුවේ හංසනි උයන තැනට ඇවිත් විපරම් කරන ගමන්.හංසනී මොකුත් නොකියා එළවළු කපන්න පටන් ගත්තේ නොරිස්සුමින්.ඔය මොකද කරන්නේ වගේ කතා අහනවා මිසක කිසිම දවසක කිසිම වෙලාවක චාමරගෙන් හංසනීට උදව්වක් නැහැ.උයන පිහින වැඩ අයිති ගෑනුන්ට කියලා චාමරට හොඳටම විශ්වාස නිසා හංසනී ඒ දේවල් වලට උදව් පතන්නෙත් නෑ.
“ඔයාටත් හැමදාම එකම රෙසිපි නේද තියෙන්නෙ?
චාමර අහන්නේ සමච්චලයට වගේ.හංසනී මොකුත්ම නොකියා තමන්ගේ වැඩේ කරගෙන ගියා.
“සමහර ෆේස්බුක් පේජ් තියනව.ගෑනු අය මාර ඉවිල්ලක් උයන්නෙ.මාරම මැචින්”
චාමර එහෙම කිය කියා කුස්සියෙ එහෙමෙහෙ ඇවිදිනවා.හංසනී වේගයෙන් ළූණු කපන්න ගත්තේ ආපු තරහ පිට කරන්න වගේ.ඒත් චාමරගේ කතාව ඉවරත් නැහැ.
“ඒ මිනිස්සු ඒවා කරන ලස්සන බලන්නකො.පුදුම පිළිවෙලක්.හරි ලස්සන කෑම පිඟන්.අනික ඒ සැලසුම.”
එහෙම කිය කියා චාමර මුළුතැන්ගෙයි පුටුවකට වෙලා ආයේආයේ ෆේස්බුක් පිටුවක් පරීක්ෂා කරන්න පටන් ගත්තා.කෑම පිඟානක් ලස්සන වෙන තරමට කන්න ප්‍රිය වෙනවා කියලා චාමරට ඉගැන්නුවේ අම්මා.අම්මා ඒ දවස්වල චාමරගෙනුයි මල්ලිලා දෙන්නගෙනුයි ළූණු ගෙඩියක් සුද්ධ කරන තරමක උදව්වක් අරගෙන නැහැ.ඒ හින්දාම ඒ වැඩ ගෑනුන්‍ට විතරක් උරුම දේවල් කියලා චාමරට විශ්වාසයි.
“මට පොල් ටිකක් ගාලා දෙනවද?”
චාමරගෙන් එහෙම අහපු මුල්ම දවසේ චාමර මූණත් අමුතු කරගෙන හංසිනි දිහා බැලුවා.ඊටත් පස්සේ පිරිමි කුස්සියේ වැඩ නොකරන බවට සෑහෙන වැඩ වෙලාවක් අරගෙන හංසිනිට විස්තර කළා.ඒ නිසාම හංසිනි ආයේ කවදාවත් චාමරගේ උදව් ඉල්ලන්නේ නෑ.තේරුමක් නැති දේවල් නොකර ඉන්න හංසනී තදින්ම හිතා ගත්තා.
එහෙම තියෙද්දිත් චාමර ලස්සන ලස්සන කෑම පිඟන් ගැනයි මීල් ප්ලෑන්ස් ගැනයි ෆේස්බුක් එකේ දකින දකින දේවල් කියවනකොට මොකුත්ම උයන්නේ නැතුව නිකන් ඉන්න හංසනීට හිතෙනවා.
හංසනී කේන්තියෙන් වගේ මිදුලට බැස්සා.හංසනිත් චාමරත් කුලියට ඉන්න ගෙදර උඩුමහලේ ඉන්න තාරකාත් නිම්නත් දෙන්නා එළවළු මල්ලකුත් උස්සන් මෝටර් සයිකලයෙන් බැස්සේ ඒ වෙලාවෙමයි.
“එළවළුනම් හොඳටම ගණන් ගිහින් හංසි.”
තාරකා තරප්පු පෙළ නගින ගමන් එහෙම කියනවා.කාලෙකින් ගෙදරට බඩුවක් මුට්ටුවක් ගෙනාවේ නැති නිසා හංසනී බඩුවක මුට්ටුවක ගණන්වත් දැන් දන්නේ නෑ.චාමර කියන්නේ හංසනීගේ වියදමට පොඩි ගාණක් අතේ තියාගෙන මුළු වැටුපම ගෙදර වියදමට දෙන්න ඕනෑ කියලා.කඩේ යන වැඩේ අයිතිය චාමරට.ඒ දේවල් එහෙම වෙනකොට තාරකාලා හැම දෙයක්ම බෙදාගෙන කරන හැටි දකිනකොට හංසනීට පොඩි ඉරිසියාවකුත් ඇති වෙනවා.
“මොනවද රෑට උයන්නෙ..”
තාරකා අහනකොට නිම්න එළවළු කීපයක් එළියට අරගෙනත් ඉවරයි.තාරකා පොල් ගාන්න පටන් ගත්තේ එළවළු කපන වැඩේ නිම්න ලස්සනට කරන බව දන්න නිසා.ඊටත් පස්සෙ ඉතින් උයන පිහින වැඩේ කෙරෙන්නේ බෙදාගෙන. උයලා ඉවර කරන්න පැය බාගයක්වත් ගියේ නෑ.
“සමහර අය මාර ලස්සනට උයනවා.සමහර අය ගැන දැක්කම ඉරිසියාත් හිතෙනව.”
තාරකා එහෙම කියනකොට නිම්න හිනා වෙමින් තාරකා දිහා බැලුවා.ඔය වගේ දේවල් ඕනෑවට වඩා ඔළුවට ගන්න ඕනෑ නෑ කියලා තාරකාට නිම්න නිතරම කියනවා.
“එක එක අයගෙ තෝරාගැනීම්.ඒවා අපි ඕනෑවට වඩා ඔලුවට ගන්න ඕනෑ නෑ ඉතින්”
නිම්න කියන්නේ එහෙමයි.තාරකාට උයන්න පිහින්න ඕනෑමයි කියලා කවදාවත් නීති දාන්න නිම්නට ඕනෑ නෑ.උයලා නැත්නම් උයාගන්න එක,අතුගාලා නැති ගේ අතුගාලා අස් කරන එක මාර දෙයක් කියලා නිම්න හිතන්නෙත් නෑ.ඒ නිසා නිම්න හැමතිස්සෙම තමන්ට උදව් කරන්න ඕනෑ නෑ කියලා තාරකාට විශ්වාසයි.
“පවුල කියන්නේ ටීම් වර්ක් එකක්”
ඒක නිම්න නිතරම කියන කතාවක්.ඒ නිසාම තාරකාට ජීවිතේ බරක් නෑ.ඒ හැඟීම හංසනීටත් එහෙමම දැනෙන දවස එනතුරු හංසනී බලාගෙන ඉන්නවා.ටීම් වර්ක් කියන හැඟීම චාමර තේරුම් ගන්න දවසක් නැති බවත් හංසනී නොදන්නවා නොවේ.ඒත් කවදාමහරි වෙනුවෙන් හංසනී තාමත් මඟ බලනව.