“ඔයා ඒ කිව්වේ මටද?”
මේකලා එසේ නාසන්නට වග බලා ගත්තා ය.ඇසුවා නෑසුවා වුව ඒ වචන තමන්ට බව ඇය දනියි.පනස් වසරක් පිරුණු ගැහැනියක වුව ද තවමත් මහේන්ට ආදරය කළ කුඩා යෞවනිය ඇය තුළ ජීවත් වන බව ඇය හොඳින් දන්නී ය.ඇයට ඒ තරුණියට ඉඩ නොදී හිඳින්නට නොහැකි විණ.ජාලිය මේකලාට කිසිවක්ම නොකීවේ ය.එහෙත් තරුණ විය ගෙවී ගියේ ඇගේ ආදරය නොලැබෙමින් බව නොදන්නවා නොවේ.
“දූටවත් එයාගේ ආදරේ හරියට ලැබෙනවනම් මම ඒකට කැමති.”
ජාලිය එහෙව් පිළිතුරක් දෙන්නට ප්‍රවේසම් වූයේ ය.ආදරය කරන්නට හිත හදාගන්නට අසීරු වුවත් තමන් ජාලියට හොඳ බිරිඳක් වූවා නොවේදැයි සිතමින් මේකලා ඔහුගේ හිස මෘදුව පිරිමැදී ය.
“මම ඇත්තටම කැමති දූට ඔයා වගේ කෙනෙක් ලැබෙනවනම්.ආදරේ වුණත් දවසක ඉවර වෙනවා ජාලිය.මනුස්සකම් එහෙම ලේසියකට ඉවර වෙන්නේ නැහැ.”
ජාලිය කිසිත් නොපැවසී ය.මහේන්ගේ ආදරය අහිමිව ගොස් කාන්තාරමය දෑසකින් තනිව හුන් දැරියක් අනාගතය වෙත රැගෙන යාමට ගත් තීරණය ගැන ඔහු අද ද පසු නොතැවේ.ඇය වඩා ශක්තිමත් ගැහැනියකව නැගී සිටියේ තම සෙවණට වී බව ඔහු දනියි.මේකලා එය අමතක නොකරන බව ද ඔහු දැන සිටියේ ය.
ඒ රාත්‍රිය ආරණ්‍යා ගෙවා දැමූයේ නිදි නැතිව ය.අම්මා සම්පූර්ණ සත්‍ය කතාව නොවුණත් අර්ධ සත්‍යය හෝ ඇයට පවසා අවසන් ය.ඈ දැනටමත් මේඝ සමඟ ඕනෑම ඇසුරකට ඉඩ දෙන්නටත් හිත හදාගෙන අවසන් බව ආරණ්‍යා තේරුම් ගත්තා ය.නමුත් අම්මා ඒ තීරණය ගැනීමම ඇයට පුදුමයකි.
“ඔයා අර සහස් කියන මනුස්සයා එක්ක රණ්ඩුවට යන්න එපා.”
ආරණ්‍යා පාන්දර කෙටි නින්ද නිමා කළේ මේඝ ඇයට එවා තිබු ඒ පණිවිඩය කියවමිනි.
“නොබැන ඉන්න හේතුවකුත් නැහැ”
ඇය එපමණක් යැවූවා ය.මේඝ සිනා මුහුණු කිහිපයක් එවා තිබිණ.
“ඕවට දිගට දිගට කියවනකොට තමයි ඉතින් එයාලටත් වැඩියෙන් නටන්නෙ.ඔයා එහෙම එකක් දන්නෙවත් නෑ වගේ ඉන්න.එතකොට තමයි එයාටත් වැඩියෙන් රිදෙන්නේ.”
ඔහු එසේ කියා එවා තිබිණ.ආරණ්‍යා වාද කිරීමකින් තොරවම එය පිළි ගත්‍තා ය.සඳරැස් හෝ මෝක්ෂ යමක් කියද්දී හේතු දහසක් ඉදිරිපත් කරමින් ඒ සංවාදය විනාස කරන්නියක වන තමන් මේඝගේ කතාව කිසිම වාදයකින් තොරව පිළිගැනීම ගැන ඇයට තමන් ගැනම පුදුමයක් දැනේ.
“මට අපේ අම්මාත් කතා කරා.”
ආරණ්‍යා අම්මා ඇයට පැවසූ කතාව කෙටියෙන් මේඝට ලියා යැවූවා ය.ඉන් අනතුරුව ඇය මේ මොහොතේ පෙළෙන ගැටලුවක් ද මේඝට කියන්නට ඇයට සිත් විණ.
“ඇත්තටම අපේ අම්මයි ඔයාලගෙ තාත්තයි ඇයි වෙන් වෙන්න ඇත්තෙ..”
ඒ ප්‍රශ්නය ආරණ්‍යාට සැබෑ ප්‍රශ්නයකි.මේඝ ඒ ප්‍රශ්නයට සම්පූර්ණ පිළිතුර දැන සිටියේ ය.
“අපිට මීට් වෙන්න බැරිද? ?මං ඔය කතාව ඔයාට කියන්නම්.”
ආරණ්‍යාට එයට එක්වරම එකඟ වන්නට නොහැකි ගතියක් දැනෙන්නට විය.ඈ සිටියේ ගල් ගැසී ය.ඔහු හමුවන තදබල උවමනාවක් ඇයට කොහොමටත් තිබේ.ඒ හැඟීම ම ඇයව සීතල කරන්නට සමත්ව තිබිණ.අම්මාගේ අතීත කතාව දුරකථනය හරහා කියන්නට නොහැකි දැයි මේඝගෙන් අසන්නට තරම් ඇයට සිතේ.නමුත් ඈ ඔහුට පිළිතුරක් දෙන්නට ළතැවුණා ය.ඒ ගමන යන්නදැයි මෝක්ෂගෙන් අසන්නට ඇය සැරසිණ.එහෙත් හදවත තුළ හිඳ වෙනත් ආරණ්‍යා කෙනෙකු ඇයට අමතන හඬ ආරණ්‍යාට ඇසිණ.
“ඔයා දැන් අවුරුදු විසි එකක ගෑනු ළමයෙක් ආරණ්‍යා.ඔයාගේ ජීවිතේ ගැන තීරණ ඔයා ගන්න.”
ආරණ්‍යා දුරකථනය නැවත අතට ගත්තේ ඇගේ තීරණය මේඝට දන්වන්නට ය.