කදෝකිමි ඇස් -43

0
3116
කදෝකිමි ඇස්

“අම්මා කියපු සේරම දේවල් හරියටම හරි.”

මෝක්ෂ ආරණ්‍යාට පැවසුවේ ඇය ගිරවියක සේ බිනරි පැවසූ කතාන්දර කියද්දී ය.ආරණ්‍යා පැමිණියේ ඒ ගැන කතා කරන්නට නොවේ.ඇය මේඝගෙන් දැන ගත් කතාවට මුල පිරුවා ය.

“මං ඒ කතාව දන්නව නංගි..”

මෝක්ෂ කියන්නේ ආරණ්‍යාගේ වචන නාස්ති වන්නට ඉඩ නොතබමිනි.අනතුරුව ඔහු සුසුමකට නිදහස් වන්නට ඉඩ හැරියේ ය.

“අපේ අම්මා ආදරේ වෙනුවෙන් විඳෝන ගෑනියක් නෙවෙයි.අපේ තාත්ති එක්ක ජීවිතේ ඉස්සරහට යාමක් නෑ කියල දැනුණු හැටියෙ එයා ඒ කසාදෙ අත් ඇරියා.හැබැයි එයා තාත්ති වෙනුවෙන් විඳවන් නෑ.”

බිනරි නැන්දා ජීවිතය විඳවන ගැහැනියක නොවන බව ආරණ්‍යා ද දන්නී ය.ඇය කුසල් මාමාගෙන් දික්කසාද වූව ද ඔහු ඇගේ පරම හතුරා කර නොගත් ගැහැනියකි.ස්වීඩනයේ ජීවත් වන කුසල් වෙත මෝක්ෂ යන ඕනෑම වතාවක බිනරි ඔහුට යම් ත්‍යාග සහ කෑම්බීම් පවා යවන්නට නොපැකිළේ.

“කුසල් කියන්නෙ බොහොම හොඳ මනුස්සයෙක්.හොඳ තාත්තෙක්.ඒ මනුස්සයට හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්න බැරි වුණාට කමක් නැහැ.ඒ මනුස්සකමට වෛර කරන්න මට බෑ.”

බිනරි නැන්දා කියන්නේ එහෙම ය.ආරණ්‍යා ඇයට මහත් ගැටළුවක් වූ පැනයක් දිනක් අම්මාගෙන් ඇසුවේ ද ඒ නිසා ය.

“බිනු නැන්දියි කුසල් මාමයි ඩිවෝස් වුණේ ඇයි අම්මා?”

මේකලා ඒ වචන අසා හිනැහුණා ය.අනතුරුව ඈ පැවසූ වචන ආරණ්‍යා ඇගේ බිනරි නැන්දාට ඇති ගෞරවය දෙගුණ තෙගුණ කරන්නට සමත් විණ.

“ඒ දෙන්නයි ඒ දෙන්නගෙ ලෝයර්ස්ලායි ඇරෙන්න ඒ කතාව වෙන කවුරුත්ම දන්නේ නැහැ සුදූ..”

ආදරය සම්බන්ධයෙන් රහස් රැකීම සමහර අයගේ සිරිත ය .තමන් විඳින ආදරය ගැන ඔවුන් වැඩිමනත් කාරණා එළිමහන් සමාජයේ කතාබහ කරන්නේ නැත.නමුත් වෙන්වීමක් සිදු වූ වහා අනිත් පාර්ශවයේ වැරදි ගැන අවශ්‍ය සහ අනවශ්‍ය තැන්වල කියවීමට ඔවුහු නොපැකිළෙති.ආදරය සහ වෛරය අතර කෙස් ගහක දුරක්වත් නැතැයි ආරණ්‍යාට සිතෙන්නේ එවැනි මොහොතක ය.

“මට ඒ කතාව අහන්න ඕනෑ නෑ කීවේ මේකලා නැන්දා ඒ ප්‍රශ්නෙ නිසා අවුලින් හිටිය තරම මං දන්න නිසා.මං දැකපු දේවල් මට මතක නැතත් මේකලා නැන්දා ඔය තරම් මානසිකව අස්ථාවර මනුස්සයෙක් වෙන්න ඒ ප්‍රශ්නේ බලපාපු බව මම දන්නව.ඔයා මේවා දැනගත යුතු දවසක් එයි කියල මම හිතුවා.ඒ දවස අද වුණු එක මට ප්‍රශ්නයක් නෙවෙයි.ඒක ඔයා දැනගත්තු විදියත් මට ප්‍රශ්නයක් නෙවේ.ඒත් නංගි ඔයාට පුලුවන් වෙන්නෝන මහේන් අංකල්ලා එක්ක ඔයා ඇති කරගන්න රිලේෂන්ශිප් එකයි නැන්දාගෙ අතීතෙයි ඝට්ටනය නොකර ඉන්න.”

මෝක්ෂ එතරම් දිගු කතාවක් කියද්දී ආරණ්‍යාට කියන්නට තිබුණේ එක් වාක්‍යයකි.එය මේ කතාවට සම්බන්ධයක් ඇති වාක්‍යයක්දැයි ඇය නොසිතුවා ය.එහෙත් ජීවිතයේ වඩාත්ම සමීප කෙනෙකුට ඒ කතාව කියන්නට ඇයට ඕනෑ විය.

“මං මේඝට ආදරෙයි”

ආරණ්‍යා එතැනින් එහා කිසිවක්ම නොපැවසුවා ය.එහෙත් ඇගේ දෙකම්මුල් දිග ගලා බසිනා කඳුළු දිග කතාවක් කියමින් තිබෙන බව මෝක්ෂ වටහා ගත්තේ ය.

“ඔයා එයාට ආදරෙයි නම් ඒක අලුත් කතාවක්.”

ඔහු එසේ කියා ප්‍රාණසම සහෝදරිය වැළඳ ගත්තේ ය.මේඝ ද ආරණ්‍යාට ආදරය කරන බව මෝක්ෂට නොරහසක් නොවේ.මේ යුවළ ඒ ආදරය එකිනෙකාට පවසාගත් පසු ඔවුන්ගේ ජීවිත හරහා හමනා ඕනෑම කුණාටුවක ඔවුන් හා එක්ව ඉන්නට මෝක්ෂ ඔහුටම පොරොන්දු වූයේ ය.

“ආදරේ කිරිල්ල ගැන අනාවැකි කියන්න බෑ චූටො.ආදරේ කරලා බලන්න.එන හැටියකට නැව අරන් යං.නැවක් පෙරළුනාමත් ජීවිතේ රැක ගන්න පුලුවන්.ඊටපස්සෙ හම්බෙන බෝට්ටුව නැව එක්ක සසඳන්නේ නැතුව හිටියම හරි..”

මෝක්ෂ එසේ කියා ආරණ්‍යාගේ හිස පිරිමැද්දා ය.ඕනෑම හඬා වැටීමකදී තුරුළු විය හැකි සහෝදර උණුසුම තුළ අනුරාගයක උණුසුම තිබිය හැකි බව කියන නිසලි ආරණ්‍යාට සිහි විණ.බැඳීම් ගැන සරල තේරුම් පමණක් කියන්නට සමත් හිතවතුන් බොහෝ ජීවිත සුණුවිසුණු කර දමන්නට සමත් වේ.නේහාගේ අම්මා නොවූවානම් තමන් සහ මේඝ සහෝදරයන් නොවන්නට ඉඩක් නොමැති බව සිතද්දී ආරණ්‍යාට නැවතත් ඉකි ගැසිණ.

ජීවිතය කුමන අතකට පෙරළී ගිය ද මේඝව දිනා ගන්නට ඇය තරයේ අදිටන් කර ගත්තා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here