සැමියාගේ පෙර විවාහයේ දරුවාට වෛර කල බිරිඳක්

(මනෝ උපදේශිකා රශ්මි රාජපක්ෂ මහත්මියගේ වෘත්තිය අත්දැකීම් ඇසුරෙනි. වෘත්තිය සදාචාරය වෙනුවෙන් නම් ගම් මනඃකල්පිත වේ)

“අම්මාල කොච්චර කිව්වත් මම කැමති නෑ ආයෙ සුමාලි එක්ක එක ගෙදරක ජීවත් වෙන්න. ඒ තියා මම එයාගේ මූණවත් බලන්න කැමති නෑ”

රනුක් එහෙම කිව්වෙ යුතුකමට තමන්ගෙ නැන්දම්ම මාම එක්කල කතා බහ කරන්න ආව ගානට සුමාලිගේ මූණවත් නොබලා.

“අනේ එහෙම කියන්න එපා පුතේ, අපේ එක්කෙනා මහ මෝඩියක්, මම පුතාට ආය ඒක අමුතුවෙන් කියන්න ඕන නෑනෙ. ඒ වුණාට අනෙ පුතේ මේ වතාවටවත් සමාව දෙන්න. මම කොහොමද පුතේ මගෙ දරුවට මෙහෙම වෙනව බලන්නෙ?”

සුමාලිගෙ අම්මා කඳුලු වක්කර වක්කර වාඩිවෙලා හිටපු පුටුවෙන් නැගිටලා රනුක් හේත්තුවෙලා හිටපු කණුව ලඟට ඇවිත් එහෙම අහද්දි හිත හෙල්ලුනාට සුමාලි කරපු දේට තමන්ගෙ හිත රිදිච්ච විදිය කාටවත් තේරෙනවද?

“එහෙනම් ඇයි අම්මා සුමාලිට තේරුන් ගන්න බැරිඋනේ මගෙ දරුව ගැන මට ඒ වගේම වේදනාවක් දැනෙන විත්තිය?”

රනුක්ගෙ වචන අහන් ගේ ඇතුලට වෙලා ඉඳපු සුමාලි එළියට ආවෙ අඬාගෙනමයි.

“අනේ මට සමාවෙන්න රනුක්. මට සමාවෙන්න. දහස් වාරයක් සමාවෙන්න. මම දන්නව මම කල දේ වැරදි කියල. අනෙ මේ වතාවට විතරක් මට සමාව දෙන්න”

කකුල් දෙක ළඟ වැටිල අඬන සුමාලිව අත් දෙකෙන් උස්සන ගමන් රනුක් බලාගෙන හිටියෙ කම්පා වෙච්ච මූණෙන්.

ඒත් සුමාලිට මේ වෙලාවෙ දැනෙන වේදනාවට වඩා වේදනාවක් සුමාලි එදා කරපු දේ නිසා තමන්ගෙ හිතට දැනුණ බව සුමාලි දන්නවද?

ප්‍රශ්නෙ පටන් ගත්තෙ අහම්බෙන්.

සුමාලියි රනුක් බැඳල දැන් අවුරුදු කීපයක් වෙනවා. රනුක්ගෙ පලවෙනි කසාදෙ දික්කසාද වෙලා අවුරුදු දෙක තුනකට විතර පස්සෙ තමයි එයා සුමාලිව බැන්දෙ.

සුමාලි ආසම විදියෙ වෙඩින් එකක් අරගෙන එද්දි උනත් රනුක් කවදාවත් හිතුවෙ නෑ තමන්ගෙ පලවෙනි කසාද එකම දරුව වුන පුංචි මේලිව සුමාලිට මේ තරම් පේන්න බැරිවෙයි කියල.

මේලි උන්නෙ එයාගෙ අම්මා ඒ කියන්නෙ රනුක්ගෙ කලින් වයිෆ් ළඟ. වෙන්වෙලා හිටියට දරුව වෙනුවෙන් නඩත්තු ගෙවන අතරම ඉඳල හිටල දවසක තමන්ගෙ තාත්තගෙ ගෙදර ඇවිත් නතරවෙන මේලිගෙන් සුමාලිට වෙන්න පුලුවන් ප්‍රශ්නයක් ගැන කවදාවත් රනුක්ට හිතුනෙ නෑ.

“මේලි වීකෙන්ඩ් එකේ දවස් දෙකක් අපි එක්ක ඉන්න එනවලු”

රනුක් ඒ පණිවිඩේ සුමාලිට කිව්වෙ වෙනදට ඒ පණිවිඩේ දෙන විදියටමයි. ඒත් එදා වෙනදට නොදකින අමුත්තක් රනුක් සුමාලිගෙ මූනෙ දැක්කා.

“ඇයි බබා?”

“මුකුත් නෑ” කිව්වට සුමාලි ඉන්නෙ මේලි එන එක ගැන අවුලෙන් කියල තේරුණ රනුක් “ඔයා ඒකට අප්සෙට් ගන්න එපා ඉතින්, දවස් දෙකකටනෙ එයා එන්නෙ. අනික මට එයාට එන්න බෑ කියන්න බෑනෙ බබා. ඒ මගේ දරුව. මම කොහොමද තාත්තා කෙනෙක් විදියට එහෙම කරන්නෙ” කියල කිව්වෙ සුමාලිව අස්වසන්න වගේ.

ඒත් වාහනේට තෙල් ගහගන්න එළියට ගියපු රනුක් ආයෙ ගෙදර එද්දි සුමාලි තමන්ගෙ බඩු ඔක්කොම අරගෙන මහගෙදර ගිහින්. නිකන් නෙවෙයි රනුක්ට එයාව කන්ටැක්ට් කරගන්න පුලුවන් හැම විදියක්ම බ්ලොක් කරලා.

සුමාලි මගෙ ලඟට ආවෙ ඒ විදියට.

“දැන් සුමල් කියනව එයා කැමති නෑ කියල මම එක්ක ආයෙ මැරේජ් එක කන්ටිනිව් කරන්න. එයා මට කතාකරන්නෙම නෑ”

“ඉතින් ඔයාම නේද එයාට ඔයාව කන්ටැක්ට් කරගන්න පුලුවන් ක්‍රම බ්ලොක් කරේ?”

“ඔව්. මම ඒත් හිතුවෙ නෑ එයා මට මෙහෙම කරාවි කියල. මම දන්නව මගෙ අතින් වරදක් වුන බව. ඒ ඔක්කොටම වඩා මම ඉක්මනට හිතන්නෙ නැතුව ගත්ත ඇක්ශන් එක වැරදි බව.

අනේ ඒත් මම හිතුවෙ නෑ රනුක් ආයෙ සෙට්ල් වෙන්න බෑ කියාවි කියලා”

සුමාලි උන්නෙ මානසිකව ගොඩක් කඩන් වැටිලා.

තමන් හිතන්නෙ නැතුව ගත්ත කලබලකාරී තීරණය ගැන හරිම කම්පාවෙන්.

අපි හැමෝම මේ වගේ මෝමන්ට්ස් වලට ඕන තරම් මූණ දීල තියෙනව. සමහර අවස්තාවන්වලදි අපි අරගන්න කලබල කාරී තීරණ වල ප්‍රතිවිපාක, ප්‍රතිපල අපිට ලැබෙන්නෙ හිතාගන්න බැරි තරම් දරුණු විදියට.

සුමාලිට වුනෙත් ඒක.

සුමාලි දැනගෙන හිටියා විවාහ වෙද්දිම රනුක් එයාගෙ කලින් විවාහයේ දරුවට ආදරයෙන් සලකන ඉතාම හොඳ තාත්තා කෙනෙක් බව. මුල් කාලේ මේ ගැන කිසිම ගැටලුවක් සුමාලිගෙ හිතේ නොතිබුනාට, “මේලි මගෙ දරුවෙක් නෙවෙයි, එයා රනුක්ව මගෙන් ඈත් කරනවා” කියන අදහස හිතට ආවෙ කාලයත් එක්ක.

ඒ අදහස් එක්ක කාටවත් වරදක් කරල නැති පුංචි මේලිට ඉරිසියා කරපු සුමාලි, එකම එක දවසක ගත්ත හිතුවක්කාර, කලබලකාරී තීරණය එයාගේ ජීවිතේ උඩුයටිකුරු කලේ නොහිතපු විදියට.

මේ වගේම තව විවාහයන් අපිට ඕන තරම් මේ සමාජයේ දකින්න ලැබෙනවා.

අපි යම් කිසි කෙනෙක්ට එයාගෙ හිතවතෙක් එක්ක තියන මානසික හෝ නීතිමය බැඳීමක් ගැන දැනගෙන සබඳතාවයක්, බැඳීමක් අරඹනවනම් අපි තේරුම් ගන්න ඕන, ඒ මානසික හෝ නීතිමය බැඳීමට අකුල් නොහෙලන්න.

මොකද අපි ඒ පිළිබඳවම පලමු අවස්තාවේ සිටම දැනුවත් වෙලා සිටි නිසා. එතනදි අපිට කිසිම සදාචාරාත්මක අයිතියක් නැහැ ඒ මානසික හෝ නීතිමය බැඳීම මුල් කරගෙන ගැටුම් ඇති කරගන්න.

සුමාලිට තිබුනේ ඒ නොහැකියාව. කලින් තමා විසින්ම පිළිගත් රනුක්ට තමන්ගෙ පෙර විවාහයේ දියණිය සමග තියෙන නීතිමය හෝ මානසික බැඳීම පිළිගන්නට නොහැකි වීම අවසානයේ සුමාලිට වගේම්ම රනුක්ටත් ගෙන ආවෙ ලොකු මානසික පීඩාවක්.

ජීවිතේ හැම මොහොතකම අපි දෙයක් කරන්න කළින් දෙතුන් පාරක් හොඳින් හිතන්න ඕන. පනින්න පෙර සිතා බලනු කියන පිරුල පැරණි ජන සමාජයේ ඉඳල අද වෙනකනුත් ආවෙ ඒ පිරුලෙ තිබුන යතාර්තවාදී බව නිසා.

දෙයක් කියන්න කලින්, දෙයක් කරන්න කළින් අපි ඒ කියන හෝ කරන දෙයින් ලැබෙන ප්‍රතිපලය ගැන දැනුවත්ව හිඳීම ඕනම බැඳීමකදි ඉතාම වැදගත්. ඒ තේරුම් ගැනීම මත තමයි අපිට පුලුවන් කම ලැබෙන්නෙ ඒ බැඳීම ගැටුම්, වියවුල් අඩු සුන්දර බැඳීමක් බවට පත් කරගන්න.

අමතක කරන්න එපා.

වටිනම දේවල් අහිමිවෙන්න, ජීවිතයෙන් ඈත්වෙන්න අපි වැරදියට තියන එක පියවරක්, අපි වැරදියට කියන එක වදනක් වුණත් ඇති.

ඉතින් හැම බැඳීමකදිම මතක තියාගන්න,

පනින්න පෙර සිතා බැලිය යුතු බව!

Related Articles

Don't Miss


Latest Articles