ආරණ්‍යා තිගැස්මෙන් සහ වඩා පීඩිතව ගිය සිතුවිලි දරා සිටියදීම මේඝ ඔහුට කියන්නට ඇති දෑ පැවසී ය.
“මට ඔයාගෙන් අහන්න දෙයක් තියනවා.අතීතයක් ගැන අමතක කරලා අපි දෙන්නට තියෙන්නෙ වෙනම ජීවිත කියලා තේරුම් අරන් ඔයාට මේක අහන්න පුලුවන්ද?”
මේඝ කියන්නේ ඈත්ව යන සිහිනයක් බව දැනි දැනීම ආරණ්‍යා එය අසා හුන්නා ය.
“මං ඔයාට ආදරෙයි ආරණ්‍යා.ඒක මට දැනෙන්න අරන් දැන් ටික දවසක්.මම ඒක ඔයාට නොකියා ඉන්න කැමති නැහැ.ඔයාට කැමති තීරණයක් ගන්න.”
ආරණ්‍යා කිසිවක්ම නොකියා කදෝකිමියන් රැස් කන සේපාලිකා ගසට නෙත් අලවා ගත්තා ය.ඔහු ඇගේ ඒකපාර්ශ්වික ප්‍රේමය ය.කිසිම ප්‍රේමාන්විත හැඟීමක් නැතිව ගලා ආ ජීවිතය කැළඹූ දෑස ය.හිමි වේදැයි නොදැනම බැඳුණු යෞවනයා ය.දැන් ඔහු ඇයට ආදරය කරන බව ප්‍රකාශ කරයි.
එහෙත් ඒ ආදරය අප්‍රකාශිත වූවානම් මැනවැයි ඇයට සිතෙන්නේ දැන් ය.ලක්ෂි සේනාධීර මාරාන්තික රෝගයකිනි.මරණ මංචකයේදී අවසන් ඉල්ලීම් ඉදිරිපත් කරන මව්වරු ආසියාතික රටවල විරල නොවේ.තමන්ගේ ප්‍රතිවාදිනියකගේ දියණිය එකම පුතුට විවාහ කරවන්නට ලක්ෂි නොකැමති වනු ඇත.
“ඒ කතාවට මගේ උත්තරේ ඔයා කොහොමටත් දන්නව අයියෙ.”
ආරණ්‍යා පැවසුවේ ස්වරය බිඳ ගන්නේ නැතිව ය.හැඟීම් පිටතට නොපෙන්වන තදබල තීරණයක ඇය එල්බ ගෙන සිටියා ය.
“ඒත් අපි දෙන්නම එහෙම දෙයක් අපේ හිත්වල ඇති වුණා කියල අමතක කරමු.”
තමන්ට ජීවිතය තුළ බොහෝ දෑ අහිමි කළ ආදර කතාවක හිමිකාරයාගේ පුතුට තම දියණිය පවරන්නට මේකලා නොකැමති වන බව මහේන් දනියි.ජාලිය පවා පැවසූයේ මේඝ මහේන් මෙන් සිතන මිනිසෙකු බව ඔහු විශ්වාස කරන වගකි.
“ජීවිතේට චැලේන්ජ් එකක් ගන්න ඔයා බය ඇයි ආරණ්‍යා?”
මේඝ අසද්දී ආරණ්‍යා කදෝකිමි ගසෙන් නික්මෙන කදෝකිමියන් ගනිමින් මොහොතක් ගෙවා දැම්මා ය.
“මං ජීවිතේ ගැන රිස්ක් ගන්නවා.ඒත් ආදරේ ගැන රිස්ක් ගන්න බයයි.මං මගෙ අම්මගෙ ඇත්ත හිනාවක් දැකලා නෑ.එයා හිනාවෙනවා.ඒත් ඒක හරිම ව්‍යාජ හිනාවක්.එයා සුව නොවිච්ච තුවාලයක් දරාගෙන ජීවත් වෙනවා.මං ඒකට හරිම බයයි.”
ආරණ්‍යා එසේ කියා මොහොතක් නිහඬව සිටියා ය.මේඝ ආදරය කරන්නට සූදානම් නම් ඒ ආදරය වහා පිළිගන්නට ඇය සූදානමින් හුන්නා ය.නමුත් ලක්ෂිගේ රෝගය සියල්ලම වෙනස් කර හමාර ය.
“අයියේ, අම්මා සනීප කරගන්න.අපි ඔය කතාව ගැන ඊට පස්සෙ හිතමු.”
ඉපදෙන්නටත් පෙර මිය ගිය ආදරය කඳුළක්ව ඇසින් වැටෙන බව ආරණ්‍යාට දැනේ.ඇය අන්ධකාරයට වී මොහොතක් සිටියා ය.
“ආදරේ කියන්නෙ ආදරේට.බාහිර සාධක ඒවට වැඩක් නෑ.”
මෝක්ෂ දිනක් ඇයට පැවසුවේ ඔහුගේ ප්‍රේමයක ගැටලුවක් ගැන ආරණ්‍යා ප්‍රශ්න කළ මොහොතක ය.
“ආදරේ කරන මනුස්සයා තමන්ගේ කරගන්න එච්චර හිතන්න එපා චූටි දුව.මං නම් මට ආදරේ දැනිච්ච කිසිම කෙනෙක්ව මඟ ඇර ගත්තේ නෑ.මේකලා වගේ එක ආදරයක් මත්තෙ නහිනවද එහෙම නැත්තං මේඝ නොගැළපෙන බවක් හිතුණොත් එතනින් අයින් වෙලා හොඳ තැනක රැඳෙනවද කියන එක ඔයාගෙ තීරණයක්.”
බිනරි එසේ පැවසුවේ ආරණ්‍යා අද ඇගෙන් සමු ගන්නට පෙර ය.
මේඝ,ඔහු සදාකාලික ප්‍රේමය කර ගන්නා සිහිනයක ආරණ්‍යා රැඳී හුන්නා ය.දැන් ඒ සිහිනය ගැන ඇයට දැනෙන්නේ වේදනාවකි.
“අම්මා මට එයාගෙ ලෙඩේ ඉස්සරහට දාලා නීති දාන්නෙ නැහැ.අපි දෙන්නා ආදරේ කරන එක අම්මා ප්‍රශ්නයක් කර ගන්න අවශ්‍යයි කියලා මං හිතන්නෙත් නෑ.ඒත් ඔයාගෙ අම්මට ඒක ගැටලුවක් නම් මම ඔයාගෙන් ඈත් වෙන්න කැමතියි ආරණ්‍යා.ඔයාගෙ අම්මා මගෙන් මගේ තාත්තාව දකිනවට මම ආස නෑ.එයා ඒකෙන් තව දුරටත් පීඩා විඳින්න ඕන නෑනෙ..”
මේඝ සමුගන්නට පෙර එසේ කීවේ ය.ආරණ්‍යා දුරකථනය ක්‍රියා විරහිත කර දමා කල්පනාවට වැටුණා ය.
තද අන්ධකාර රාත්‍රීන්වල බලාපොරොත්තුවක ආලෝකය රැගෙන කදෝකිමි ඇස් දැල්වේ.ඒ කදෝකිමි ඇසකට තාරකා සහසක එළියකට වඩා දීප්තිමත් එළි විහිදවන්නට හැකි වේ.
අම්මාගේ “කදෝකිමි ඇස්” පොතේ එහෙම වාක්‍ය ඛණ්ඩ කිහිපයක් තිබූ ආරණ්‍යාට සිහි වේ.කදෝකිමි ඇසක්ව දැල්වෙන්නට තිබූ බලාපොරොත්තුව වියැකෙන බව දැනෙද්දී ආරණ්‍යා තෙත කම්මුල් පිසදා ගත්තා ය.මරණයට ළඟා වෙමින් රෝගීව හිඳින ලක්ෂි තමන්ගේ එකම පුතු ඔහුගේ පියාගේ අතීත පෙම්වතියගේ දියණියට හිමි වනු දකින්නට නොසතුටු වන බව ආරණ්‍යාට සහතික ය.
ප්‍රේමයේ වේදනාව අම්මා සේම දරා ගන්නට ඇය හිත හදා ගත්තා ය.ඇතැම්විට පිළිස්සුණු හදවතට ඔසුවක් වන්නට අප්පච්චි මෙන් කෝමාරිකා පැළයක් ලෝකයේ කොහේ හෝ ඉන්නට ද බැරි නැත.
උණුසුම් දෑතක් ඇගේ උරහිස වටා එතෙන තුරුම ආරණ්‍යා අඳුරට නෙත දල්වා හඬන්නට ගත්තා ය.