නිල්මි පුටුවකට වෙලා කල්පනා කරන්න අරන් සෑහෙන වෙලාවක්.පහළ මාලයේ සිද්ධ වුණු අලකලංචිය නිල්මිට නුපුරුදු දෙයක් නෙවෙයි.ඒ වගේ අඬා වැළපීගෙන ආව ගෑනු කී දෙනෙක්නම් ඔය විදියටම ආපහු හැරිලා ගියාද?ඒත් සුරංගට ඒවා අරුම පුදුම දේවල් වෙන්නේ නෑ.ඒවා මහා ලොකු වීරකම් විතරයි.
“සල්ලිවලට මොනවද කරන්න බැරි නෝනෙ.”
සුමනම්මා නම් වෑංජනයක් ඒදන ගමන් එහෙම කිව්වේ ආඩම්බරෙන්.
සුමනම්මා හදපු පුංචි බේබි මහ මිනිහෙක් වෙලා මෙහෙම රැස් ව්හිදාගෙන ඉන්න එක ගැන සුමනම්මට සන්තෝසයි.සල්ලි උපයා පුංචි බේබි ගත්තෙ මොන විදිහට වුණත් සුරංග වීරයෙක් කියලා හිතන්න සුමනම්මා කැමති.කන්න අඳින්න හැමදේම ලැබෙනවානම් රැජිනක් වගේ ජීවත් වෙන්න ඉඩ ලැබෙනවා නම් නිල්මි වුණත් මේවට කම්පා වෙන්න ඕන නෑයි කියලා සුමනම්මට හිතෙන්නේ.
“පිරිමි ඉතිං එහෙම තමයි.කොහොමත් මුතුගල පරම්පරාවට මුළු පළාතම බයයි.”
ගෙදර වැඩ කරන අය හැමෝම දැරුවේ එහෙම අදහසක්.ගමේ හිටපු දුප්පත් මිනිස්සුන්ට ඉඩකඩම් අස්වැන්න මංකොල්ල කන එක සුරංග තාත්තත් කරල තිබුණේ මහා පරිමාණයෙන්.ඊට පස්සේ ඒ ව්‍යාපාර හැම එකක්ම සුරංගට පැවරෙනකොට සාධාරණකම කියන දේ සුරංග දැනගෙන හිටියේවත් නෑ.
“ඔය වගේ බලගතු කේන්දරයක් ලොකු මැණිකේ කොච්චර හෙව්වද?”
සුමනම්මා දවසක් මහ ආඩම්බරෙන් එහෙම කිව්වේ නිල්මි ගැබිනියක් වුණු අලුතම වගේ.කසාදෙට ටික කාලයක් යනකන් දරුවො හදන්න ඕන නෑ කියලා නිල්මි හිතාගෙන හිටියට මේ කසාදය ඇතුලෙ එහෙම දේවල් වලට ඉඩ ලැබුණේ නෑ.ඉතාම ඉක්මනින් පරපුර ගෙනියන්න පුතෙක් හදන්න නිල්මිට සිද්ධ වුණා.විවාහය වෙනුවෙන් සුරංග හොයලා තියෙන්නෙ ව්‍යාපාර දියුණු වෙන,පුතුන් ලැබෙන ගෑණු ලමයෙක්ගේ කේන්දරයක් මිස ලස්සන ගුණයහපත් කෙල්ලෙක් නොවන වග දැනගත්ත මොහොතේ නිල්මිට ඇතිවුණේ වේදනාවක්.
“කෙල්ලෝ නම් මං ඉසේ කෙස් ගානට ආස්සරේ කරල තියෙන්නෙ.”
ආදරේක නාමයක් නොදන්න සුරංග එහෙම කියන්නේ සමච්චලයට හිනාවෙන ගමන්.මහා ව්‍යාපාරික පවුලක එකම ලේලි උනාට හැම සැප සම්පතක්ම පය පාමුලට ලැබුණත් ආදරේ නොලැබෙන ලෝකයක් මහා හිස් එකක් කියන එක නිල්මි තේරුම් අරගෙන තිබුණා.
“ආදරේ කියලා ඔය ළමයා හොයන්නේ මොනවද? තමන්ට ලැබෙන දේවල් වලින් සීයෙන් එකක්වත් මේ පලාතේ අනිත් ගෑනු ලමයින්ට ඇති ද?අනිත් පුතාගේ පොඩි පොඩි සම්බන්ධකම් මහා ලොකුවට ඔලුවට ගන්න ඕන දේවල් නෙමෙයි”
එහෙම කතාවක් නැන්දම්මාගෙන් අහගත්තට පස්සේ සුරංග නොසලකා හැරීම සහ ඔහුගේ වෙනත් සම්බන්ධතා ගැන කිසිම දෙයක් නොකියන්න නිල්මි හිතාගත්තා.
“ලොකු මහත්තයාට අදටත් ගෑනු ඉන්නෙ.ඒ උනාට ලොකු මැණිකේ දන්නවා ලොකු මැණිකෙට තමයි හැමදේම අයිතිය කියලා.”
සුමනම්මා එහෙම කියන්න පුරුදුවෙලා හිටියා.
සුරංගගේ සල්ලාලකම නිසා ගැබිණියක කොට පත්වුණු තරුණියකට සල්ලි දීලා නිශ්ශබ්ද කරන්න යන විදිය බලාගෙන හිටපු නිල්මිට තීරණයක් ගන්න කාලේ හරි කියලා හිතෙන්න පටන් ගත්තා.පළාතේ මිනිස්සු මේ දේවල් වලට සාප කරන්නේ නිල්මි ට විතරක් නෙමෙයි පුතාටත් එක්කමයි.එලිවෙනකන් අඬලා අඬලා හිතේ දුක කාමරේ ඇතුලෙම දිය කරලා දාලා එලියට බැස්සට පස්සෙ මිනිස්සුන්ට නිල්මි පෙනෙන්නෙත් සුරංග ගේ හැම ජරා වැඩක් ම අනුමත කරන ගෑනියෙක් විදිහට.හදවත ඇතුල තියන දේවල් අනිත් අයට ඔප්පු කරන්න බැරි නිසාම නිල්මි නිහඬව ජීවත් වුණා.
“අපේ පවුලේ කිසිම ගෑනියෙක් දික්කසාද වෙන්නේ නෑ අපි ඒකට ඉඩ තියන්නෙත් නෑ”
තවදුරටත් ඉවසන්න අපහසුයි කියලා නිල්මි හෙලි කරපු අවස්ථාවේ සුරංගගේ අම්මා එහෙම කිව්වේ බොහොම තරහින්.ඇය ඒ දේවල් අතිශය සාමාන්‍ය බව හිතමින්අවුරුදු තිස් ගානක් ගෙවපු බව කියද්දි නිල්මි හිනා වුණා.
“තාත්තා ගමේ මිනිස්සු හූරා කකා අවුරුදු කීයක් ගෙව්වද? එයා මිනිස්සුන්ට කරන හිරිහැර අම්මා අනුමත කරා.මිනිස්සුන්ගෙන් බලෙන් උදුරගන්න දේවල්වලින් අම්මත් හොඳින් කාල ඇඳල හිටිය.සුරංග කරන්නෙත් ඒකම උනාට අම්මේ මට එයාට අනුබල දෙන්න බෑ.මිනිස්සු සාප කරන්නේ මටත් එක්ක.”
දික්කසාදය ගැන කියලා නිල්මි එහෙම කියද්දී ලොකු මැණිකේ ඇය දිහා බැලුවේ තරහින්.නමුත් ඒ තරහ තවදුරටත් දරා ගත යුතු නැති බව නිල්මි හිතුවා.එහෙම හිතුවක්කාර තීරණයක් අරගෙන නිල්මිට මොනවායින් මොනවා වෙයිද දන්නෙ නෑ කියලා ලොකු මැණිකේ කියන්නේ බොහොම උජාරුවෙන්.
“ඩයනා කුමාරිත් එලියට බැහැල ගිය වෙලාවක් තිබුණා අම්මේ.දරන්නම බැරි තැනක ජීවත් වෙනකොට මොන සැප සම්පත් තිබුණත් එළියට බහින්න කෙනෙකුට හෘද සාක්ෂියක් තියෙන්න ඕන.අම්මට ඒක නැති නිසා අම්මා තාත්තගේ හැම නරක වැඩක් ම අනුමත කරන්නැති.ඒත් මට එහෙම බෑ මං සුරංගගේ මේ දේවල් අනුමත කරන්නේ නෑ.”
සැප සම්පත් සහ මුදල් කියන දේවල් එක්ක හෘද සාක්ෂිය අමතක කිරීම ඕනෑම කෙනෙකුට පහසු බව නිල්මි දන්නවා.නමුත් ඒකට පැවැත්මක් තියෙනවද? ඩයනා කුමාරියගේ ඉරණමම තමන්ට අයිති වෙයිද කියන එක පැහැදිලි නැතත් එළියට බහින්න නිල්මි හිතා ගත්තා.සල්ලාලකම් සහ කොල්ලකෑම මහ ඉහළින් අගය කරන පවුලක ලේලියක් වෙලා ඉඳලා තේරුමක් තියෙනවද?
හැම දේකටම වඩා වටින්නේ තමන්ගේ හෘද සාක්ෂිය!
නිල්මි හිතුවේ ගෙදර යන්න ඇඳුම් බෑගයක් ලෑස්ති කරන ගමන්.තමන් ඉන්න අපහසු තැනකින් ගැලවෙන්න එතන තියෙන භයංකාර කම තේරුම් ගන්න හැම ගැහැනියකටම ශක්තිය ලැබෙනවනම් කියලා නිල්මි හිතුවේ තමන් ගැන ආඩම්බර වෙන අතරේ.