කුස්සියට යන අමිතගේ අම්මාට ඔනෙලා දවස් කීපයකින් යනවා යන්න හරියටම ඔලුවට වැටෙන්නේ දැන්.ඒ වේගයෙන්ම ආපසු හැරෙන ඇය අමිත සොයා එනවා.
“ඈ පුතේ,මොකද්ද කිව්වෙ, අර සුදු නෝනා මෙහෙන් යනවා කියලද”
“ඔව් අම්මෙ,එයාගෙ ප්‍රශ්නෙ විසඳිලා.ටික දවසකටනෙ මෙහෙ හිටියෙ”
“ඒකත් එහෙමද”
සුසුමක් හෙලමින් කතා කරන සිය මවගේ මුහුණේ ඇති දුක්බර බව දැක අමිතට ඇතිවන්නේ පුදුමයක්.
“මේ මොකෝ,අම්මෙ,නිකන් දුකෙන් වගේ”
“නෑ ළමයො,නිකන්”
අමිත ප්‍රශ්නාර්ථයක් සමග ඇය දෙස බලා සිටිද්දී වෙනයම් කල්පනාවකින් ඇය වේගයෙන් ඉවත් වෙනවා.අමිතට ඇයගේ හැසිරීම තේරුම් ගන්නට නොහැකි සේම ඒ සඳහා උත්සාහයක ඔහු නොයෙදෙනේ දීර්ඝ කලක් තම දෙමාපියන් සමග ජීවත් වී උපයා ගත් අත්දැකීම් නිසාවෙන්.
ඇගේ ඊලඟ පියවර වන්නේ සිය සැමියා සොයා යාමයි.ඔහු සවස් යාමයේ කලයුතු වැඩක් නොමැති හෙයින් කෙටි නින්දකට හුරු වී තිබේ.
“ඒයි,පොඩ්ඩක් නැගිට්ටනම්”
“හ්ම්ම්,ඒපාර මොකද?”
“සුදු නෝනා රට යනවයි කියන්නෙ”
“ඒ ළමයා ටික දවසකටනෙ ආව කිව්වෙ”
“යන්න කලින් අපේ පුතා ගැන අදහසක් දාමුද?එහෙම එකක් එයාලගෙ හිත්වල නැත්නම් අපි යෝජනා කරල බලමු කෝකටත්”
“අපි යෝජනා කරන්න දෙයක් නෑනෙ හාමිනේ,ඒ ළමයින්ට ඕන නම් කරගනීනෙ.”
“නෑ,නෑ මම නම් කියන්නෙ තියෙන රාජකාරී වැඩ නිසා ඒ අයගෙ ඔලුවලට ඕවා එන්නෙ නැහැ.මම නම් ලමිස්සි වුන කාලෙම ඉඳලා සූදානම් වුනේ දීග යන්න.හම්මේ ,කොච්චර බලාපොරොත්තු තියන්ද හිටියෙ…කවුද හිතුවෙ ඔහේ වගේ කෙනෙක් එක්ක දීග එන්න ලැබෙයි කියලා…”
“අනේ මගෙන් මොනවත් නාහ ඉන්නව තමුසෙ,මා එක්ක ආවයින් හොඳට ගියා.”ඔහුගේ මුහුණේ තිබෙන්නේ උපහාසයක් මිස අපහාසයක් නොවේ.දිගු ජීවන ගමනේදී ඒබව හොඳින් වටහාගෙන සිටින නිසා ඇයට සිනහවක් ඉපදුනත් එය නොපෙන්වා සුපුරුදු පරිදි බොරු කේන්තියක් මවාගෙන ඉවතට යාම ඇයට පුරුදුය.
ගස්සාගෙන ඉවත යන ඇයගේ සිත බෙහෙවින් ව්‍යාකූලය.සිය ලේලිය ලෙස ගමක හෝ නගරයේ කෙල්ලකට වඩා මේ විදේශ තරුණිය කෙතරම් අගනේද?ඇය විදෙස් ලලනාවක් වුවත් බෙහෙවින් විනීත ඇවතුම් පැවතුම් ඇත්තීය.කාරුණිකය.සෙමින් කතා කරන්නීය.දකින සෑම විටම ඉතාමත්ම ප්‍රසන්නව සිනහ සෙන්නීය.භාශාව නොදන්නා නිසා කතා බහ අසීරු වුවත් ඇය ගේ ඉරියව් ඔස්සේ කියන කතා මිහිරිය.පුතාගේ මුදලින් කා සිටීම ගැන කිසියම් අමානපයක් තිබුණත් එය විවාහයක් දක්වා යන්නේ නම් ඒ වියදම් කිරීමෙන් කිසිදු පාඩුවක් ද නැත. ඇය උගත් එකියක් සේම,තම පවුල ගම්මුන්ගේ ඉරිසියාවට,අවධානයට මෙන්ම ගෞරවයට පාත්‍ර කරන වර්ගයේ එකියකි.අහල ගම් හතක කිසිවෙක් සුද්දියක් විවාහ කරගෙන ඇති බවක් ඇයගේ මතකයේ නැත.තමාගේ වෑයම සිය පුත්‍රයා ට කියන්නේ කෙසේදැයි ඇයට සිතාගත නොහැක්කේ මෙතෙක් තමා විසින් කල කිසිම යෝජනාවකට ඔහු කැමති නැති වූ බව සිහි වීමෙනි.භාශාව නොදන්නා නිසා ඇය සමග මේ ගැන කතා කිරීමද සිදු කිරීමට නොහැක.කරන්නේ කුමක්දයි කල්පනා කරන ඇයට මිත්සලා ගේ ඉංග්‍රීසි දැනුම ඔනෙලා සමග කිසියම් කතා බහකට සෑහෙන තරම් හොඳ බව මතක් වේ.රාත්‍රියේ හෙමින් සීරුවේ ඇයව අල්ලාගෙන මේ ගැන කතා කලයුතු බව සිතා ලය පිරෙන හුස්මක් ගන්නා ඇය නැවත සිය සුපුරුදු රාජකාරී කටයුතු අතරට එකතු වෙන්නේ පෙරට වඩා සැහැල්ලුවෙන්.
සාප්පු සංකීර්නයේ ඇවිදින මිත්සලා පෙර නොවූ විරූ මේ සුන්දර ලෝකයෙන් මත් වී සිටිනවා.අයියා විසින් ඇයට ද කැමති දෙයක් ගන්නා ලෙස කලින්ම පැවසුවත්,තමා ගමේ දී ඇඳුම් දහයක් පහක් හයක් හෝ ඊටත් වැඩියෙන් මිලදී ගැනීමට වියදම් කරන මුදල එක ඇඳුමකට හෝ එක භාණ්ඩයකට වැය කිරීමට ඇයට හිතෙන්නේ නැති තරම්.මිල වැඩි වගේම ඒවා සියුම් බවත්,වෙනත් අමුතුම ලකයක් ඇති බවත් ඇයට පෙනෙනවා.ගමේ සිටින සිය මිතුරියන් දිනෙක මේ විසිතුරු බලා ගැනීමට රැගෙන ඒමට ඇය දැනටමත් අදිටන් කරගෙන අවසන්.
ඔනෙලාට අවශ්‍ය කලමනා ලෙස ඇය ඉතාමත්ම අත්‍යවශ්‍යම කිහිපයක් පමණක් මිලදී ගත්තා.ඇය පෙර නැවතී සිටි හෝටලයට යාමටත් එහි සිටි හිතවත් කාර්‍ය මණ්ඩලය හමුවීමටත් ඇය අමතක කලේ නැහැ.ඔනෙලාගේ ඉල්ලීම මත මිත්සලා ජීවිතයේ ප්‍රථම වතාවට ඩෙනිම් ජීන්ස් එකක් සහ ලස්සන ටී ශර්ට් එකක් මිලදී ගත්තා.සාප්පුවේදී ඒ ඇඳුම ඇඳගෙන පිටතට ආ ඇයට තමා මෙතරම් සුන්දරද කියා සිතා ගැනීමටත් අපහසු වුණා.අමිතට පවා පුදුම හිතුනේ ඇඳුමකට එවන් වෙනසක් සිදු කිරීමට හැකියාවක් ඇතැයි ඔහු නොසිතා සිටි නිසාවෙන්.
අමිත විසින් රැගෙන ආ මනරම් වටපිටාවක් සහිත බීම හලේ තිදෙනා පළතුරු බීම පානය කරමින් සිටින අතර අමිතගේ සන්සුන් හැඟීම් සහිත මුහුන මත,දෑස් මත ඔනෙලා ගේ දෑස් නතර වෙනවා.ඔහු දෑසින් සිනහවක් පාමින් ඇය දෙස බලා සිටින්නේ කතාවට වඩා එම හැකියාව ඔහු සහජයෙන් රැගෙන ආවක් බැවින්.සමුගැනීම කෙතරම් දුෂ්කර වුවත් එය කවදා කෙසේ හෝ විය යුතු බව ඔනෙලා දන්නවා.තමාට දැනෙන මේ සමීප බව සමහරවිට අමිතට නොදැනෙනවා ඇති.දැනුනත් ඔහු ලෙහෙසියෙන් සිය හැඟීම් පිට කරන කෙනෙක් හෝ එවැනි පුරුද්දක් ඇති කෙනෙක් හෝ නොවන බව ඔනෙලා වටහාගෙන සිටින්නේ.මේ සුන්දර මිනිස් ජීවියා සමග තමන් ගත කරන අවසන් දිනය අද පමණක් නොවේද?ඔහුට ආදරෙයි කීමට සිත විටින් විට බල කලත්,තම නිල පෙම්වතා සිහිවීමත්,එය අවීනිත දෙයක්දෝයි සිතීමත්,නිසා නිතරම ඇය සිය හැඟීම් ආයාසයෙන් නවත්වා ගන්නවා