යුක්‍රේන යුවතිය – 5

0
2229
ukraine yuwathiya

ඔනෙලා ඉතාමත්ම විනීතව දෑත් එකතුකොට තමන්ට නුපුරුදු අමුත්තන් තිදෙනාට නුහුරු හඬින් “ආයුබෝවන්” කිව්වා.අනෙක් තිදෙනාගේ දෑස් පමණක් නොව අමිතගේ දෑස ද පුදුමයෙන් විසල් වුණා.ඉන් නොනැවතුනු ඇය “ඉතින් කොහොමද”කියා විමසුවා.

අමුත්තන් වෙනුවෙන්ම සිංහල වචන කිහිපයක් ඉගෙන ගන්න ඔනෙලා සිය කාලය වැය කර තිබුණා.තත්පර කිහිපයක් ඇතුලේ සියල්ලන්ගේම ආදරය දිනා ගැනීමටත් තමා පිළිබඳ ඇති අවිශ්වාසී සැක සංකා දුරු කිරීමටත් ඇයට හැකිවුණා.ඉතාමත්ම විනීත ඉරියව් විදහාපාමින් සිටි ඔනෙලා සංකර සුද්දියක් ලෙස අම්මා ඇතුළු පිරිස මවාගෙන සිටි සිහින සාහසික ලෙස ඉරා දමමින් සිටිනු දුටු අමිතට ඇතිවුනේ කිව නොහැකි සතුටක්.අම්මා අමිතගේ සරදම්කාරී ඇස් බැල්මෙන් මිදී සිටින්නට උත්සාහ ගත්තා.

මිත්සලා ඔනෙලාගේ සිංහල ගුරුවරිය වීමට පොරොන්දු වූ අතර ඔනෙලා ඇගේ ඉංග්‍රීසි ගුරුවරිය වනු ඇති.ඔවුන් අතර භාෂාවන් වෙනස් වුනත් මිනිස් ඉරියව්,හැඟීම් කියවීම් ඔස්සේ එකිනෙකා අවබෝධ කරගැනීම, කල්ප කාලාන්තරක තිස්සේ මිනිසාට ලැබී තිබුන සහජ ඉව මේ සංවාදය ඉදිරියට ගෙන යාමට ඔවුනට ඉවහල් වුණා.අම්මා තේ පිළිගැන්වූ අතර ,ඔනෙලා වැලි තලප වලට ආශක්ත වී තුන්වෙනි වැලි තලප කැබල්ලත් අතට ගන්නවා දුටු අම්මාගේ මුහුණ සතුටින් දිලිසුණා.

“අපි පුතේ වෙලාවක මේ නෝනාව අපේ ගම පෙන්වන්න එක්ක යමු.හරිම සතුටු වෙයි.අනුරාධපුර,නුවර පැත්තෙත් එක්කන් යන්න තියෙනව නම් හරිම වටිනවා.අපේ උරුමයන් දැකලා පුදුම වෙයි.”

“එතකොට අම්මගෙ ගමේ අර කතා හදනව කිව්ව මිනිස්සු?”

“අනේ උන් ඕනි එකක් කියා ගත්තු දෙන්,අපිට මොකෝ,උන්ට ඕනි විදියට අපට ඉන්න බැහැනෙ”

මිත්සලා ට සිනහව නවත්වා ගන්නට නොහැකි වූ අතර අම්මා ගේ එක රැවුමකින් එය සමනය වුණේ අමිතව සිනහ ගන්වමින්. තාත්තාගේ මුහුණේ නම් තිබුනේ තවමත් අවිනිශ්චිත බැල්මක්.ඒ ඔනෙලා පිළිබඳ නොව විටින් විට වෙස් පෙරලෙන සිය බාරියාවගේ ක්‍රියා කලාපය නිසා ඇතිවුන එකක්.ඇය තව මොහොතකින් ඔනෙලාට විවාහයක් කර දීමටත්,ඇයගේ කේන්දර බැලීමට උත්සාහ නොකලොත් එය පුදුමයක් බව ඔහු කල්පනා කරමින් සිටියා.අමිත සිනහ වෙමින් කතා කළා.

“ඔනෙලා ඉක්මනින්ම එයාගෙ රටට හරි නෑයො ඉන්න වෙන රටකට යයි.එයා ඉන්නෙ ඇවිදින්න තරම් මානසිකත්වයක නෙවෙයි.එයාගෙ රටේ යුද්ධයක්.එයාගෙ නෑයො,යාළුවො ඒකට අහුවෙලා ඉන්නෙ.ඉතින් එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙමු.එයා ආපහු ආවොත් බලන්න බැරියැ.”

අම්මාගේ මුහුණේ අපේක්ෂාවන් බිඳ වැටෙන පෙනුමක් සනිටුහන් වෙනු අමිතට පෙනෙනවා.ඇයට අවශ්‍ය මේ සුන්දර විදේශික ලලනාව ගමට ගොස් කිසියම් ලොකු කමක් සමග ප්‍රදර්ශනය කිරීම මිස වෙන යමක් නොවන අමිතට පැහැදිලියි.හැකිනම් ඉංග්‍රීසි වචනයක් දෙකකුත් කියමින් ඔනෙලා සමග ගම වටේ යන්නට එවිට ඇයට හැකියි.ඔනෙලාගේ කිසියම් දෙයකින් වශීවුන ඇයට මෙහි පැමිණීමට පෙර කියූ කිසිවක් මතක නැහැ.

නමුත් ඔනෙලාට ආගන්තුක සත්කාර කරන ඇයගේ හදවත අවංකවම තම දරුවෙකුට මෙන් සත්කාර කරන බවත් අමිත දන්නවා.එය ලාභ අපේක්ෂාවන් බලාගෙන කරන සැලකිල්ලක් නෙවෙයි.ගම්මුන්ගේ ජීවිතය,සිතුවිලි තේරුම් ගැනීම හරිම සංකීර්ණ දෙයක් බව වසර ගණනාවක් ගමක ඔට්ටුවුන ජීවිතයක් සහිත අමිත දන්නවා.නමුත් නාගරිකයන් සිතන්නේ ගම්මුන් ඉතාමත් අහිංසක,පිවිතුරු ජීවීන් කොටසක් ලෙසයි.හැකි ආකාරයෙන් අමිත ගේ ද උදව් ලබා ගෙන කෙටි සංවාදයක යෙදුන ඔනෙලා ආචාරශීලීව ඔවුන්ගෙන් සමුගෙන නික්ම යන්නේ නැවතත් දෑත් එකතුකොට සමුගනිමින්.

“අනේ හරිම සීදේවී නෝනා.වාසනාවන්ත පෙනුමක් තියෙන්නෙ.වයස කීයක් විතරද පුතේ ඒ ළමයට”

අම්මා හැරෙන්න්නේ කොයි පැත්තටද කියා අනුමාන කිරීමට අමිතගේ සහජ ඉවට පුළුවන්.මිත්සලා කඩිසරව මේසය අස් කරන අතර තාත්තා ගමන් මහන්සිය නිසා කෙටි නින්දක නිරත වෙනවා.

“මම කලිනුත් අම්මට කිව්වෙ අම්මෙ.අනික ඔනෙලාගෙ වයස අම්මට මොකටද”?

“දැන් ඉතින් ඒ දරුවගෙ රටේ යුද්ධයක් තියෙනව නම් වැඩිහිටියො විදියට අපට බැහැ නේද එයාව එහෙ යවන්න”

“ඉතින් අම්මා මොකද කරන්න යන්නෙ”

“නෑ මම කිව්වෙ,මොනවා වුනත් ගෑනු දැරිවියක්නෙ.එහෙම ආවට ගියාට ආරක්ෂාවක් නැතිව රට රාජ්ජවල තනිවම යවන්න පුළුවන්ද?ඔය යුද්ධෙකුත් තියෙන අල්ල පනල්ලෙ?”

“එහෙනම් අම්මා පාස්පෝට් හදන් ලෑස්ති වෙන්නකො.ගිහින් බස්සවල එන්න එහෙනම්.”

අම්මා ගස්සාගෙන කුස්සියට යන අතර මිත්සලා හඬ නොනැගෙන්නට කඳුලු වගුරවමින් සිනහා සෙන්නේ අමිතවද සිනා ගස්සවමින්.මොවුන් සමග ගනුදෙනු කරන ආකාරය ඔනෙලාට කිව යුතුද නැද්ද,තම දෙමාපියන් ඈත පිටිසර ගම් වැසියන් බවත් ඔවුන්ගෙන් යම් සිත් රිදවීමක් වුනොත් සමාවන ලෙසත් ඔනෙලාට කියනවාද?නැත්නම් අද මෙන් ඉතාමත්ම සුහදව ඔවුන් ඇසුරු කරාවිද?අනවශ්‍ය බරක් ඔනෙලාගේ සිතට දැමිය යුතුද සිතමින් අමිත කල්පනා සයුරක ගිලෙනවා.

මතුසම්බන්ධයි…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here