යුක්‍රේන යුවතිය 4

0
2119
ukraine yuwathiya

වාග් සංග්‍රාමයෙන් පසු සතුරු හමුදාව කාමර වලට පසු බැස්සා.අමිතට හිනා.ඒත් හවස් වරුවේ තවත් මොන මොනවා හරි කරුණු කාරණා වලින් සන්නද්ධ වෙලා ජෝඩුව එලියට බහින බව අමිත දන්නවා.මිත්සලා අහිංසකයි.ඇය ඒ මුකුත්ම දන්නෙ නැහැ.

“චූටි අයියෙ,අයියගේ ගේ හරිම ලස්සනයි.අපි ගිය සැරේ එද්දි ට වඩා මේ සැරේ වෙනස්”

“උඩ ඉන්නෙ ඔනෙලා,එයා ඉන්ටීරිය ඩිසයිනර් කෙනෙක්.ඉතින් එයා ඉන්න ගමන් කරන්නෙ මේ ගේ ලස්සන කරන එක තමා නංගි”

“අනේ හරිම ෂෝක් අයියෙ,මටත් ආසයි එයාව අඳුන ගන්න.ඒත් හරියට ඉංග්‍රීසි තමා බැරි”

“දැන් හවස නැන්දයි මාමයි කතා කරනව කිව්වනෙ.එතකොට අහන් ඉඳලා ටිකක් ඉගෙන ගන්න”

මිත්සලාගේ හිනාව ට සාලය දෙදරනවා.අම්මාගේ ඔලුව දොර රෙද්ද අස්සෙන් මතුවෙනවා”

“යසයි ගෑනු ළමිස්සිගෙ හිනාව,කාමරේට ගිහින් ඇඳුම් මාරු කරගන්න.ඊට කලින් වතුර ටිකක් නා ගන්න.අම්ම කිව්වා දෙකෙන් පස්සෙ නාන්න දෙන්න එපා කියලා.නාලා කමු “

මිත්සලා නිහඬව කාමරය ඇදෙනවා.අම්මා එලියට පැමිණ සාලයේ තිබෙන පාර්සල් අදිනවා.

“මම බත් ගෙඩි ටිකක් බැදන් ආවා.වැලි තලප පාර්සලේකුයි,මාළු ඇඹුල් තියල් පාර්සලේකුයි නැන්දා දුන්නා.තව ඔය ලටපට ඇති.පුතා නෑවද?තාත්තයි නංගියි නාලා ආවම කමු”

අම්මා දැන් කතා කරන්නේ කලින් කිසිම දෙයක් සිදු නොවූ අයුරින්.වෙනදා මෙන්ම කුස්සියට ගොස් ගෙනා බඩු අස්පස් කරමින් වටපිට බලනවා.

“පුතා ගේ රෙපයාර් කලාද?සෑහෙන්න වියදම් කරල වගේ.හරිම ලස්සනයිනෙ කුස්සිය.මට කකුල තියන්නත් ලෝබයි.එලියෙන් පොඩියට දර කුස්සියක් හදා ගන්න ඕනි මම දැන් ඉන්න නිසා.මට මේවගෙ වැඩ කරන්න නම් බයයි”

“නෑ අම්මෙ,ඔය ඔනෙලාගෙ වැඩ,එයා ඒවා දන්න කෙනෙක්.එයාගෙ රටේ ලොකු උගත් නෝනා කෙනෙක්”

“හැබෑට”,ඒ දැරිවිගෙ වයස කීයක් විතර වගේද පුතේ”

“වැඩි වයසක් නැහැ.මගේ වයසෙ විතර ඇති”

“ඒකනෙ වරද,ගින්දරයි පුලුනුයි ලං කරන්න එපා කියල අපේ සමාජෙ නිතරම කියනවා.පොඩ්ඩක් වයසක ගෑනියක් නම් ….”

“අම්මා තේ කහට එකක් බොමුද?වැලි තලප කෑල්ලක් කාලා”

“හ්ම්ම්ම්,ඉන්න මම හදන්නම්.පුතා වතුර උණු කරලා දෙන්න”

අම්මා සියල්ලම අමතකව මෙන් දීසියක් ගෙන පිළිවෙලට වැලි තලප කැබලි පිළිවෙලට අසුරයි.අමිත උණු වතුර උතුරුවා අම්මාගේ පදමට තේ සෑදිම පිණිස ඇයට අවශ්‍ය පහසුකම් ලංකරයි.අම්මාගේ තේ එක තරම් රස තේ එකක් තමන් වැඩ කරන ෆයිව් ස්ටාර් හෝටලයේ ඉස්තරම්ම තේ කොළ වලින්වත් පවා රසවිඳ නැති බව සිහිවන අමිතට ඇය සමග එකට එක කියමින් ඇයගේ සිත රිදවීම ගැන එන්නේ දුකකි.එහෙත් ඒ සියලු අපහසුකම් ඇති වන්නේ ඔවුන්ගේ ආකල්ප නිසා නොවේද?එයට එරෙහි වියයුතු නොවේද?ඒ ගැන ඇතිවන කතා බහ පවා ඔවුන් ඇති කරන්නේ අනෙකාගේ ඉවසීම අන්තයටම නැති කරමිනි.ඒ බහුතරයක් ආසියානු සමාජමය පැවැත්ම නොවේද?වැඩිහිටියෙකු වූ සිය දරුවා ඇකයෙන් මිදවීමට මව් පියවරුන් කෙතරම් අකමැති ද?

අම්මා තේ හදන තෙක් නිහඬව කල්පනාවේ යෙදී සිටින අමිතට ඔනෙලා නැතිව තමන් පමනක් තේ බීම ඇයට කරන වෙනස් කමක් දෝ සිතෙනවා.එහෙත් මේ ඇයව පහතට කැඳවීමට සුදුසු වෙලාවද?මේ අය ඇයගේ සිත රිදෙන යමක් පවසාවිද යන සැකය සමග කුමක්ද කරන්නේ යන්න අමිතට ගැටළුවක්.

“පුතේ අර සුදු ගෑනු ළමයා මේවා කාල නැතිව ඇති නේද?කෑල්ලක් දුන්නොත් හොඳයි නේද?”

ආගන්තුක සත්කාරයේ ලොල් අම්මා ට ඇය අමතක නැත.එහෙත් ඇය තුළ සිටින සාම්ප්‍රදායික සංස්තික ජීවියා,නොදන්නා සියල්ලම සැක කරන ජීවියා මිනිස් සබඳතා කෙරෙහි අවි අමෝරා සිටින්නේ ඇයි දැයි අමිතට සිතා ගන්නට අමාරුම කාරණය.

පඩි පෙළ අසලට යන අමිත සන්සුන් නිවුනු ස්වරයකින් ඔනෙලාට කතා කරනවා.කතා කරන තෙක් මග බලාගෙන සිටියා සේ වෙනත් ඇඳුමකින් සැරසී පහලට එන ඔනෙලා ගැන අමිතට පුදුම හිතෙනවා.ගැහැනු ගැහැනු එකිනෙකා ඉක්මවා අවස්තාව තේරුම් ගන්නවාදෝ සැකය ඔහුට එන්නේ වෙනදා ඇඳගෙන සිටින කෙටි කලිසම වෙනුවට ඇය ඇඳගෙන සිටින,ලංකාවෙන් මිලට ගත් තරමක් දිග බතික් සාය දැක්කම.

අම්මා කට ත් ඇරගෙන ඔනෙලා දිහා බලන් ඉන්නේ ඇය පඩි පෙල බසින තෙක්.ඔනෙලාට කතා කරන හඬ සමග මිත්සලාද තාත්තා ද කාමර වලින් එලියට බැස ඔනෙලාගේ ආගමනය බලන්නේ දලදා කරඬුව වඩම්මන ඇතාට දෙන තරම් අවදානයකින්.අමිතට හිනා යන්න ආවත් අසීරුවෙන් එය නවතා බලාගෙන සිටිනවා.

පහලට බසින ඔනෙලා ඉතාමත්ම මිත්‍රශීලීව අමුත්තන් දෙස බලා සිනා සෙනවා.

“කතා කරන්න ඕන කිව්ව නේද?අහන දෙයක් දැන් අහන්න පුළුවන්.හැබැයි මම භාෂා පරිවර්තකයෙක් නම් නෙවෙයි.ඔයාලට ඕන නම් ඕන කතාවක් කරගන්න”

හිස ගස්සවන අම්මා කුස්සියට ගොස් වැලි තලප රැගෙන කෑම මේසය මත තබනවා.කලකින් දුටු අමුත්තෙකුට නොව නෑයෙකුට මෙන් කඩි මුඩියේ තේ මේසය පිළියෙල කරන ඇය අනෙක් තුන් දෙනාටත් හිසින් සන් කරනවා.

“ඔය නෝනට කන්න කියාපන් පුතේ.වැලි තලප කියලත් කියාපන්”

අමිත සිනහාව අමාරුවෙන් නවතා ගෙන ඔනෙලාට තේ බීම සඳහා ඇරයුම් කරනවා.

මතු සම්බන්ධයි….

ශේන්‍යා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here