අකල් වැහි -12

නිසල් හෙට්ටිආරච්චි එවකට සරසවි සිසුවෙක් විය.නිපුනිටත් හිරුදිට උසස්පෙළ රසායන විද්‍යාව වෙනුවෙන් නිපුනිගේ නිවසේ අමතර පන්තියක් පැවැත්වූයේ ඔහු ය.හිරුදිත් ඔහුත් අතර ගුරු සිසු බැඳීමෙන් ඔබ්බට බැඳීමක් ඇති වෙමින් පවතින බව හිරුදි ද තේරුම් ගත්තේ විභාගය අවසන්ව ඔහු දකින්නට නැති වෙද්දී ය.ප්‍රේමයෙන් බැඳී ගිය පසු ඇසට ඇස මුණ නොගැසීම වේදනාවකි.නිසල් උගන්වද්දී ඔහුගේ මුහුණේ ඉංගිතයන් ගැන එතරම් සිතන්නට හේතුව ද ඔහුගේ දෙනෙත් බැල්මට හසු වෙද්දී වහා බිම බලා ගන්නට කාරණාව ද ප්‍රේමය මිස අනෙකක් නොවන බව හිරුදිට වැටහෙන්නට පටන් ගෙන තිබිණ.

“මං හිතන්නේ මං ඔයාට ආදරෙයි.”

ඒ පණිවිඩය ගුරුවරයාට යැවූ පණිවිඩයක් නොවේ.සිත් ගත් තරුණයාට යැවූ පණිවිඩයකි.සත්මහල් ප්‍රාසාදයක ජීවත් වන යුවතියකට ප්‍රේම කරන්නට යාම බොහෝ අභියෝගයන්ට ලක් වන්නක් බව දැන දැනම නිසල් ඒ ප්‍රේමය පිළි ගත්තේ ය.ප්‍රථම රැකියාව බාර ගන්නට සැරසෙමින් හුන් ඒ කාලයේ සුන්දර යුවතියකගේ ආදරය පිළි ගන්නට ලැබීම ම ඔහුට දැනුණේ මුළු ලෝකයම හිමි වීමක් පරිද්දෙනි.

“ආයේ ක්ලාසස් ටික පටන් ගන්නෝනෙ අම්මා.මට මේ පාර එස් තුනකින් මෙහා ෂුවර් නෑ.”

හිරුදි එසේ කියද්දී මල්ලිකා ඇය දෙස බලා සිටියේ පුදුමයට පත් මුහුණකිනි.

“නැහි නැහී විභාග ලියන්න තරම් තමන් හිඟන්නියක්ද ළමයො.”

අක්කා වූ සමාධි හිඳින්නේ පශ්චාත් උපාධියට සැරසෙමිනි.ඇය ලංකාවේ විශ්ව විද්‍යාලයකින් ප්‍රථම උපාධිය හදාරන්නට ගැනීම පවා මල්ලිකාගේ දැඩි දෝශ දර්ශනයට ලක් වීමට හේතුවක් විණ.සමාධි ආදරය කළේ සරසවි මිතුරෙකුට ය.
ඔහු සාමාන්‍ය පවුලක සාමාන්‍ය තරුණයෙකි.ඒ ආදරය ඇය පවුලෙන් විසිව යන්නට තරම් හේතුවක් වූයේ මල්ලිකාගේ සිහින දියණිය ඉටු නොකිරීම ය. නමුත් ඇය බාල දියණිය ගැන සිහින දැක්කා ය.සමාධි සාමාන්‍ය රුවක් ඇත්තියකි.නමුත් හිරුදි නෙත පැහැර ගන්නා රූපයක් ඇති යුවතියකව වැඩෙමින් හුන්නා ය.ධනයේ බලය ද රූපයේ අනුහස ද ඇති දියණියගෙන් තමන්ට ඕනෑ කරන සිහිනය වෙත යන්නට මල්ලිකා පිඹුරුපත් සැකසී ය.

“ඔයාට ප්‍රපෝසල් එකක් ඇවිල්ලා තියෙන්නෙ.”

ඒ භයංකාර වචන පහ ජීවිතය උස්සා පොළොවේ ගැසූ අන්දම හිරුදි අදට ද සිහි කරන්නට නොකැමති ය.ඇගේ කේන්දරයේ සැමියා රජෙකු කරන ප්‍රබල යෝගයක් ඇති බව අම්මා උද්දාමයෙන් කියන්නට ගත්තා ය.නිසල්ට රජ වන්නට ඕනෑ නැත.නමුත් චේතන දේවතිලක ඒ සිහිනයේ ගිලී හුන්නෙකි.

“මට දැන්ම මැරි කරන්න ඕනෑ නෑ.මට අක්කි වගේ ඉගෙන ගන්න ඕන.අනික මට කෙමෙස්ට්‍රි ටියුෂන් දුන්නු සර් එක්ක මගේ සම්බන්ධයක් තියනවා.”

පැවසූ වදන් ආපසු ඇද ගැනීමට කිසිම හැකියාවක් නොවේ.එවැනි හැකියාවක් වූවානම් හිරුදි ඒ වදන් චේතනට නොපවසා ආපසු ඇදගන්නට වග බලා ගන්නී ය.කිසිම වගවිභාගයකින් තොරව තමා ප්‍රතික්ෂේප කළ යුවතියට චේතන පාඩමක් උගන්වා තිබිණ.

නමුත් නිසල්ට සිදු වූයේ හදිසි අනතුරකි.ඔහු අධික ලෙස මත්පැන් පානය කර අලුත්ම මෝටර් රථය තාප්පයක හප්පාගෙන තිබිණ!!

නිසල් අමධ්‍යප බවට ඔහුගේ මිතුරන් මොනතරමට හඬ නැඟුව ද මරණ පරීක්ෂණ වාර්තා කිසිවක්ම වෙනස් නොවිණ.ඒ පාළු මාවතකි.නිවසක සීසීටීවි කැමරා පවා නැති ප්‍රදේශයකි.

සියල්ල චේතනට ඕනෑ අන්දමට සිදුව තිබිණ!!

“ගෑනු නම් සීයක් එයි මාත් එක්ක.ඒත් මං ආදරේ ඔයාට”

චේතනගේ බාල ප්‍රේමණීය වදන් ඇඟ ලේ උණු කරවන්නේ නිසල්ගේ කාන්තිමත් දෑස නෙත් ඉදිරිපිට මැවෙන නිසා බව හිරුදි දන්නී ය.ඔහු මරා දැමුවේ ය.ප්‍රේම කළ වරදට ඔහු මරා දැමුවේ ය.

“නිපූ,කවදාහරි දවසක නිසල්ට සාදාරණයක් වෙයිද?”

හිරුදි පියවි ලෝකයට ආවේ නොදන්නා කෙනෙකු තේ කෝප්ප දෙකක් ඔවුන් අත තබද්දී ය.අතීතය දිග ඇවිද ගිය වග ඇයට වැටහුණේ ඒ මොහොතේ ය.ඇය නිපුනිගේ පිළිතුර අපේක්ෂාවෙන් ඇගේ මුහුණ දෙස බැලුවා ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles