අකල් වැහි -14

“මිනිස්සු පාලකයන්ට වැඳගෙන හිටිය කාලේ ගියා චේතන.දැන් ඉන්නෙ අලුත් පරම්පරාවක්.ඔයාලට බත් පැකට් එකටයි,අරක්කු බෝතලේටයි රවට්ටා ගන්න බෑ.මැරෙන්නෙ එකපාරයි කියලා ඒ කොල්ලො කෙල්ලො දන්නවා.”

ජංගම දුරකථනයෙන් අරගලයේ විස්තර බලන අතර නොසරුප් වදන් පිට කරන චේතනට හිරුදි පැවසුවේ සමච්චලයෙනි.ඔහු හිඳින්නේ කෝපයෙනි.ඇයට ඉන් එහා සතුටක් නොවේ.නමුත් චේතන සහ ඔහුගේ නායකයන්ගේ කෝපය සතුටක් කර ගත යුතු නොවන වග ඇය ඉනික්බිතිව සිතුවා ය.

“තමුසෙ මොනවද භාග්‍යා මේ රටේ උන් ගැන දන්නෙ?”

චේතන අසන්නේ කෝපයෙනි.හිරුදි කිසිවක්ම නොකියා හුන්නා ය.පුරවැසියන් ගැන අල්ප තක්සේරුව චේතනලාගේ විනාශය පිණිස බව ඇය දන්නී ය.එනිසාම වචන නාස්තියේ තේරුමක් නැත.

“අනේ මන්දා ඉතිං.ඔයා තරම් නම් මම දන් නෑ.”

ඇය එසේ පවසා ඩිස්නි චිත්‍රපටියට යොමු වන්නට ඉයර් ෆෝන් යුගලය සවනෙහි රුවා ගත්තා ය.චේතන ඈ දෙස බැලුවේ නොරුස්සන බැල්මත් සමච්චලයත් එකට කලතමිනි.

“රට ගිනි ගන්නකොට තමුසෙ කාටුන් චිත්‍රපටි බල බල ඉන්නවා.”

ගිනි ගන්නා රට නිවන්නට තැත් කරන තරුණ පිරිස සමඟ දෙතුන් වතාවක්ම එක් වී නිවීමට හේතු සෙවූ බව නොකියා හිරුදි නිහඬව සිටියා ය.චේතන කියන්නේ තර්කන බුද්ධියක් ඇති මිනිසෙකු නොවේ.ඔහු පාර්ලිමේන්තුවේ කතා කරද්දී ලැජ්ජාව දැනෙන්නේ හිරුදිට ය.

“මම හිතන්නේ දැන් නිවෙන කාලේ ඇවිල්ලා.මං ආස නෑ චේතන ඔයා බීල ඔහේ කියෝනකොට ඒවා අහන් ඉන්න.මං අම්ම කෙනෙක් වෙන්න ඉන්නෙ.මගේ දරුවා ඔයා වගේ කුකුල් කේන්තිකාරයෙක් කරන්න පොඩ්ඩක්වත් ආස නෑ මං. ඒ නිසා ඔයාට පුලුවන්නම් මං ළඟදි ඔය බොරුවට කියෝන ඒවා නවත්ත ගන්න.”

මේ ගැහැනියට මෙතරම් හයියක් කොහෙන් ආවදැයි චේතන සිතී ය.කම්මුල හරහා එල්ල කරන්නට සිතුණු අතුල් පහර ඔහු වලක්වා ගත්තේ දැඩි සංයමයකිනි.ඔහුගේ දරුවෙකු ඇගේ කුසේ වැඩෙමින් හිඳියි.ශාරීරික හානි කරන්නට යාම ඒ දරුවාට හානියක් වන්නට ඉඩ තිබේ.ඒ දරුවා අනාගතය වඩා යහපත් කරන රැස් වළල්ලකි.අනාවැකිකාරිය පැවසූයේ එවැනි කතාවකි.ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයාට වඩා චේතනට ඒ ගැහැනිය විශ්වාස ය.

“මේක හොඳටම අහගන්නවා භාග්‍යා.ඔය ළමයා මගේ ළමයෙක් ගාන්න එපා.අපේ පවුලේ අනාගතේ ඔය.ඒ ළමයගෙ අයිතිය අපේ පවුලට.ඒ නිසා ඒ ළමයා සිල් ගන්න එකෙක් නෙවෙයි.අපි වගේ එකෙක් වුණාවෙ.”

හිරුදි නික්ම යන චේතන දෙස බලා සිටියේ සංවේගයෙනි.සාමාන්‍යයෙන් දරුවෙකු කුස දරද්දී ඒ දරුවාගේ වැඩි අයිතිය වෙනුවෙන් අම්මා සහ තාත්තා අතර ඇති වන්නේ සුන්දර වාදයන් ය.

“ඔයාට කියන්න නංගි,කුෂාන්ගේ වාහනේ සද්දෙ ඇහෙනකොටම මේකා උඩ පැන පැන බඩ අස්සෙ නටනවා.මං එක්ක දවසම හිටියත් එච්චර ගාණක් නෑ.”

අක්කාගේ පුතු ලැබෙන්නට හුන් කාලයේ ඇයට එවැනි සොඳුරු පැමිණිලි තිබිණ.අදට ද අක්කාත් කුෂාන් අයියාත් එවැනි සුන්දර වාදයන් දවස පුරාම කරන්නට වග බලා ගනියි.ඒ ආදරයේ සුන්දරම තැන් ය.උතුරා යන තරමට ආදරය කරන්නට දැන හුන් තමන්ට ප්‍රේමයේ අරුත ගැන නොදන්නා මිනිසෙකු හා විවාහ වන්නට සිදු වූයේ කිනම් පාපයක් නිසාදැයි හිරුදි සිතුවා ය.

“ඔයා තාත්තා වගේ වෙන්නේ නෑ රත්තරං.ඔයා මනුස්සකමේ සුවඳ දන්න රත්තරන් පුතෙක් වෙන්න.මං ඔයාට එහෙම වෙන්න කියා දෙනවා.”

හිරුදි කුස පිරිමදිමින් මුමුණා ගත්තා ය.

චේතන මෙතරම් අසංවර මිනිසෙකු වීමට ළසඳා දේවතිලක වග කිය යුතු බව හිරුදි වටහා ගත්තේ විවාහ වූ අලුතම ය.ධනයෙන් ද බලයෙන් ද අන්ධ වී ඕනෑ දෙයක් කරන පුතු ගැන ඇය කතා කරන්නේ අභිමානයෙනි.වරද වරදක් බව දරුවෙකුට ඉගැන්විය යුත්තේ අම්මා ය.එසේ උගන්වන්නට අපොහොසත් වීම චේතන වැනි මිනිසුන් බිහිවීමට හේතුවක් බව හිරුදි විශ්වාස කළා ය.

“අරගල කරන කොල්ලො කෙල්ලන්ට උයන අපේ අම්මා..”

සිතිජගේ ෆේස්බුක් සටහනක් ඇගේ ඇස ගැටුණේ ඒ මොහොතේ ය.ආහාර පාර්සල් විශාල ප්‍රමාණයකට ව්‍යාංජන බෙදමින් හිඳින කරුණාව උතුරා යන මුහුණක් ඇති අම්මා දෙස හිරුදි බොහෝ වෙලාවක් බලා සිටියා ය.ඒ අම්මා ඇගේ ක්‍රමයකට අරගලයට දායක වී හිඳින්නී ය.ඒ මුහුණේ ඇති අව්‍යාජ බව හිරුදි බොහෝ වෙලාවක් විඳ ගත්තා ය.

“රත්තරං පුතෙක් හදපු රත්තරං අම්මෙක්..”

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles