අකල් වැහි -22

“භාග්‍යා කොහෙද ඉන්නේ?”

ළසඳාගේ කටහඬ බිඳී ගොස් තිබේ.ඒ කටහඬ එපමණකට බිඳෙන්නට හේතුව සිතා ගන්නට නොහැකිව හිරුදි විපිළිසර වූවා ය.හිරුදි අරගලයේ නියුතු තරුණයෙකු වෙනුවෙන් රෝහලේ සිටීම ළසඳාගේ හඬ බිඳෙන්නට හේතුවක් විය යුතු නොවේ.ළසඳා එය දන්නවා නම් කරන්නේ කෝපාවිෂ්ඨ වී කෑගැසීම ය.

“වික්‍ටර් කාරයා ඇමතියා වුණාට නෝනට බයයි.ළමයිත් එහෙමයි.මේ කසාදේ කරගන්න නම් අල්ලගන්න ඕන ළසඳාව තමා.”

අම්මා එසේ ඇම යෙදූ හැටි හිරුදිට අමතකව නොයයි.ළසඳා පිය පුතුන් පාලනය කරන්නේ ඇගේම ක්‍රමයකට බව හිරුදි දැන සිටියා ය.මව් ස්නේහයක් ළසඳා වෙනුවෙන් නූපන්නද වැඩිහිටිකමට ගරු කරමින් හිරුදි බොහෝ තැන්වලදී මුවින් නොබැණ ඉන්නට වීර්යය ගත්තා ය.

“මං ඉන්නේ නිපුනිගෙ ගෙදර ආන්ටි.මට ගෙදර ඉන්න කම්මැලි හිතුණා.”

ළසඳා එක් වරම හඬන්නට ගත්තා ය.මේ ගැහැනියට කුමක් සිදු වීදැයි හිරුදි පුදුමයට පත් වූවා ය.

“මගේ පුතා හොස්පිටල් ඇඩ්මිට් කරලා.ඒ වුණාට ඔයා එන්න එපා.ඔයා නිදාගෙනද ඉන්නෙ භාග්‍යා? මේ වෙලා තියන කිසිම දෙයක් දන්නේ නැද්ද?”

සිදු වී ඇත්තේ නිරායුධ අරගලයකට අමානුෂික ප්‍රහාරයක් එල්ල වීම පමණක් යැයි හිරුදි සිතා හුන්නා ය.සිතිජ අනතුරට පත් වූ මොහොතේ පටන් ඇයට අවට ලෝකය ගැන විමසන්නටත් සොයා බලන්නටත් සිත් නොවිණ.මේ මොහොත දක්වාම ඇගේ හදවත ගැහුණේ සිතිජ නමිනි.සිතිජ තුවාල ලබා රෝහල් ගත කළ ආරංචියට හදවත රිදුම් දුන්නේ ය.නමුත් චේතන දේවතිලක හදිසියේ රෝහල්ගත කළ ආරංචිය ඇයට ගෙනාවේ සීතල හැඟීමකි.

“පුතාගේ වාහනේට මිනිස්සු වටකරලා ගහලා භාග්‍යා.පුතාට තුවාලයි.එච්චර විතරක් නෙවෙයි,උන් අපේ ගෙදර කුඩු කරලා දාලා.”

සැමියා නොදන්නා මිනිසුන් අතින් පහර කෑමත් ජීවත් වෙමින් සිටි නිවස ගිනිබත් වීමත් ගැහැනියක කන්නගී කෙනෙකු කරන්නට තරම් ප්‍රබල ආරංචියකි.නමුත් හිරුදිගේ හදවත සසල නොවිණ.මේ ලෝකයේ ඈ තදින් අප්‍රිය කරන මිනිසා තුවාල ලබා තිබේ.ජීවිතය විනාශ මුඛයට ඇද දැමූ නිවස ගිනිබත් වී ඇත.ඒවා ඇයට රිදවුම් දෙන ආරංචි නොවිණ.

“නිපුනිගෙ ගෙදරම ඉන්න.ඔයාලගෙ ගෙදර අයටත් ගෙදරින් අයින් වෙන්න කියලා වික්ටර් කිව්වා.”

ළසඳා නිවැරදි මිනිසුන්ට හෙණ ඉල්ලන අතර පැවසුවා ය.සොබාදහමේ නීතිය පවතින්නේ සියල්ලටම ඉහළින් බව හිරුදි නොපැවසුවා ය.නමුත් ඈ ඒ ගැන සිතන්නට වූවා ය.

“ඔයා කාටවත් වරදක් නොකරපු අහිංසක කොල්ලෙක් නිසල්.ඔයාව මරලා දාන වෙලාවේ ඔයාට මොනවා හිතෙන්න ඇද්ද? ඔයාගේ අම්මව මාව මතක් වෙන්න ඇති.නිවැරැද්දේ එහෙම මැරිලා යනකොට මේ ලෝකේ කිසිම සාධාරණයක් නෑ කියලා ඔයාට හිතෙන්න ඇති.ඔයා මැරිලා ගියේ මං නිසා.තවත් කොල්ලෙක් රට වෙනුවෙන් කතා කරලා ගුටි කාලා.සිතිජටත් තාම සිහියක් නෑ.එයාටත් මොනවා හිතෙන්න ඇතිද නිසල්.සාධාරණේ වෙනුවෙන් පෙනී ඉඳලා එහෙම ගුටි කන්න වෙනකොට එයාට මොනවා හිතෙන්නද ඇතිද?”

දුරකථන ඇමතුම අවසන් කළ හිරුදි දිගු සිතුවිල්ලක එල්බ ගත්තා ය.මේ සිදු වූ දේ සියල්ලටම ගත වූයේ පැය කිහිපයකි.සියල්ලම සිදු වී අවසන්‍ ය.

නැත!

ඒ සිතුවිල්ල එතරමට නිවැරදි නොවේ.තවත් බොහෝ දේ සිදුවීමට නියමිත යැයි හිරුදිට සිතිණ.

“ඔයාට චේතන ගැන බය නැද්ද?”

සීතල ස්වරයකින් සැමියාට වූ අනතුර හෙළි කළ හිරුදිගෙන් නිපුනි පුදුමයෙන් විමසුවා ය.හිරුදි සිනාසෙන්නට ඇති බව නිපුනිට සිතුණේ ඇගේ දෑස දෙස බැලූ හන්දා ය.නැතිනම් මුව ආවරණය ඇගේ හැඟීම් සියල්ල සැඟවීමට සමත් ය.

“ඒ ඔයාගේ දරුවගෙ තාත්තා හිරූ.”

නිපුනි මිතුරියට අමතකව ගිය කාරණාවක් සිහි ගැන්වූවා ය.ඒ දරුවාගේ තාත්තා බව සත්‍යයකි.නමුත් චේතන ඒ දඬුවම ලැබිය යුත්තෙකු බව හිරුදිට සිතේ.

“චේතන ඔය හොස්පිටල් එකක් අස්සට රිංගා ගන්න ඇත්තේ එයාගෙම ආරක්ෂාවට.අනික ගෙයක් පිච්චුණා කියලා මොකටද දුක් වෙන්නේ නිපූ.මෙහෙමම යන්න තව ගෙවල් කීයක්නම් තියනවද? මේ ළගඳි මගේ නමටත් එකක් අරන් දැම්මා.ඕවට සල්ලි කොහෙන්ද? ඔය පව් මගේ අහිංසක දරුවා පිටිනුත් යයි කියලයි මට බය.”

චේතන දේවතිලකට එතරම් දෙයක් සිදුව නැති වග හිරුදිට සිතේ.ඔහුට හානියක් වූවානම් ළසඳා ඊට වඩා කලබල විය යුතු ය.වැන්දඹුවක වීම වැනි කාරණාවක් ගැන හිරුදිට කොහොමටත් බියක් නැත.ඇය ප්‍රේමවන්තයාගේ වියෝව හන්දා හදවතින් වැන්දඹු වූ කෙල්ලකි.මේ තරුණ දේශපාලඥයා ගැන ඇයට ඇත්තේ සීතල අයිස්මය හැඟීමකි.දරුවාගේ පියා ඔහු හන්දා චේතනට ඇමතුමක් දිය යුතු බව ඇයට සිතිණ.නමුත් ඒ සිතිවිල්ල පසෙකට විසිවී ගියේ කසුන්ගේ ප්‍රීතිමත් හඬ හන්දා ය

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles