“මං හිතන් ඉන්නේ ලංකාවෙන් යන්න.”
හිරුදි සිතිජට එසේ පැවසුවේ ඔහු හමු වූ මොහොතක ය.සිතිජ කිසිවක්ම නොකියා හිරුදි දෙස මොහොතක් බලා හුන්නේ ය.දැන් බොහෝ දෙනෙකු කරන්නේ රට අතැර නික්ම යාම ය.උපන් දේශය ජීවත් වීමට නුසුදුසු තැනක් බවට පත් වෙමින් තිබියදී විකල්ප නැති බව සිතිජ ද නොදන්නවා නොවේ.
“උපන් බිමට වැඩිය තැනක් කොහෙද තියෙන්නේ කියලා සින්දුවට කිව්වට මේ රටේ ජීවත් වෙන්න මිනිස්සුන්ට හේතු නෑ හිරූ දැන්.”
ගාලු මුවදොර අහසට ඉහළින් රංචු ගැසෙන වැහි වළාකුළු දෙස බලමින් සිතිජ එසේ පැවසුවේ සුසුමක් ද සමඟිනි.අතැර යාම ඉතා පහසු දෙයක් බවට පත් වෙමින් තිබේ.
“ඔයා ඉන්න තත්වෙ එක්ක ඒ ගමන හොඳයි කියනවා ඇරෙන්න කියන්න වෙන කිසිම දෙයක් නෑ.තව මාස කීපෙකින් මේ රටේ බේත් නැති වෙන්න පුලුවන්.නූපන් දරුවන්ට ජීවත් වෙන්න තියන අවස්ථාව පවා නැත්තටම නැති වෙලා යන්න පුලුවන්.එහෙව් කාලෙක දන්න කියන මනුස්සයෙක් රට දාලා යනව කියන්නෙත් ආශිර්වාදාත්මක පණිවිඩයක් හිරූ.”
සිතිජ කතා කරන්නේ වේදනාව පිරී ගිය හඬකිනි.මේ තරුණයා මේ බිම මේ අගාධයෙන් ගොඩ ගන්නට දිවා රෑ නොබලා වෙහෙසෙයි.චේතන සහ ඔහුගේ සගයන් කරන්නේ මේ රට නොනවත්වාම අගාධයට රැගෙන යාම ය.තරුණයන් දෙදෙනෙකු මේ මොහොතේ අහසට පොළොව මෙන් කටයුතු කරන අන්දම ගැන හිරුදි සිතුවේ වේදනාවෙනි.
“ඉස්සරහට බෙහෙත් පවා නැති වෙන්න පුලුවන්.”
සිතිජගේ කටහඬ කැඩී යන්නේ වේදනාවට වග හිරුදිට වැටහේ.ඇය සුසුමක් හෙළුවා ය.අත්‍යවශ්‍ය ඖෂධ නොලැබී යන කාණ්ඩයට ඇය අයත් වන්නේ නැත.නමුත් ඇයට ඒ ඉරණම බාර ගන්නට සැරසෙන සාමාන්‍ය ජනතාව ගැන මහත් වේදනාවක් දැනේ.
“ඔය හැමදේම වෙන්න පුලුවන් දේවල් හිරූ.ඒත් අපි වැඩ කරන්නේ ඔය කිසිම දෙයක් නොවෙන්න ඉඩ හදන්න.ඒත් අපිව ෆේල් වෙන්න පුලුවන් කියලා හිතද්දී මට මහා දුකක් දැනෙනවා.”
හිරුදි සටන්කාමියාගේ දෑස් විනිවිද බැලුවා ය.ඔහුගේ නෙත් බොර පැහැයට හැරී තිබේ.ඒ නෙත් අතරින් ඔහුගේ හෘද අභ්‍යන්තරයට කිමිද බලන්නට ඇයට සිතේ.ඔහු මේ රටේ මිනිසුන්ට අත්වන්නට යන ඉරණම ගැන වේදනාවෙනි.ඔහු වැනි උගත් මිනිසෙකුට වැඩිදුර අධ්‍යාපනය ලබන්නට මේ රට අතැර දමා යන්නට එතරම් දිනක් ගත වන්නේ නැත.නමුත් සිතිජ උත්සාහ දරන්නේ ලක් පොළොවේ රැඳෙන්නට ය.රැඳෙමින් වඩා යහපත ඉටු කරන්නට ය.ඒ යහපත ඉටු කරන්නට ජනතාව ඔවුන්ගේ ඡන්දයෙන් තෝරා ගත් තේජන සමාජ ශාලාවල කල් මරමින් සුරාව සහ ස්ත්‍රිය මත්තේ ඇලෙමින් කල් ගත කරයි.මේ මොනතරමක අසාධාරණයක්දැයි හිරුදි සිතුවා ය.
“ළමයින්ගේ අධ්‍යාපනේ බිඳ වැටෙන්න අරන්.ඉස්සරහට මිනිස්සුන්ට කන්න නැති වෙයි.කමියුනිටි කිචන් පටන් ගන්න වැඩේ ගැන අපි හිතන්න පටන් ගත්තා.ඒ හැමදේම කරන්න අපි මෙතන ඉන්න ඕන හිරූ.ඒ නිසා මට නම් රට අතාරින්න කිසිම අදහසක් නෑ.ඔයාලත් ගියාට පස්සෙ මේ කදුළු බිංදුව අමතක කරන්න එපා.මේ රට දැන් මුතු ඇටයක් නෙවෙයි.කඳුළු බිංදුවක්.”
සිතිජගේ වේදනාවෙන් ඉතා කුඩා අංශුවක්වත් චේතනට නොදැනේ.
වරද ඇත්තේ එතැන වග හිරුදි සිතුවා ය.මේ සටන්කාමියා අනාගතය ගැන බියෙන් සසැලේ.චේතනලාට එහි වගේ වගක් නොවේ.
“ඉස්සරහට මිනිස්සුන්ට කන්න නැති වුණොත් ඔයාලා මොනවද කරන්නේ?”
චේතනගෙන් එසේ ඇසූ කල ඔහුට දෙන්නට තිබුණේ සරල පිළිතුරකි.
“ආ.මිනිස්සු ඔය කැලෑ කොළයක් හරි කාලා ඉඳී.මේ රටේ මිනිස්සු පලා කොළයක් හරි කාලා බඩගින්න නිවා ගන්න මිනිස්සු භාග්‍යා.”
මොනවා හෝ වෙන්නට ඉඩ හැරීම පාලකයාගේ සිරිත නොවේ.නමුත් චේතනලා සිදු කරමින් හිඳින්නේ එය ය.
“මිනිස්සුන්ට කන්න නැති වෙලාවට දේශපාලකයෝ ඇවිල්ලා හාල් කිලෝ එක එක බෙදලා වීරයෝ වෙයි.ඔයාලා වැරදිකාරයො වෙයි.”
සිදු විය හැකි දෙය ගැන සිතිජට කියන්නට හිරුදි සිතුවා ය.සිතිජ ඒ අසා හිනැහුණේ ය.
“අපිට ඕවයින් ලකුණු වැඩක් නෑ හිරූ.මිනිස්සුන්ගේ බඩගින්න නිවන එක,ලෙඩකට බේත් හොයලා දෙන එක කරන්න ඕන මනුස්සකම වෙනුවෙන්.ඒක රට පාලනය කරන්න සුදුසුකම් හදා ගැනිල්ලක් වෙන්නේ නෑ.”
මේ සටන්කාමියා මේ ඇති වෙමින් පවතින අර්බුදය කෙසේ හෝ මැඩලන්නට හදවතින්ම කැප වී හිඳියි.ඔහු අසලට වී ඔහු කරන්නේ කුමක්දැයි බලා හිඳීමේ හදිසි ආශාවක් හිරුදිට ඇති විය.රට අතැර යාම වෙනුවට මහා මන්දිර අතැර පැමිණ ඔහුට ශක්තිය දෙන්නට තරම් තමන් ශක්තිමත් තරුණියක වූවානම් මොනතරම් අපූරුදැයි හිරුදිට සිතෙන්නට විය.නමුත් මේ මොහොතේ ඈ සිටින්නේ ද තමන්ගේ ගැලවීම පතන සිහිනයක ය.චේතනගෙන් මිදී ජීවිතය වෙනත් තැනක පැළ කරගන්නට ආ ආශාව කල් දමන්නට හිරුදිට සිත එකඟ කරගන්නට නොහැකි ය.