කාලය ගලා යන්නේ බොහෝ කාරණා විසඳමිනි.කඳුළු බිංදුවක් වූ මුතු ඇටය යළි සෞභාග්‍යමත් දේශයක් වගට පත් කරන සටන සිතිජ ප්රමුඛ සටන් සගයෝ අත් නොහැරිය හ.ඔවුන් ඒ වෙනුවෙන් බොහෝ දේ ඉටු කරද්දී චේතනට තබා තමන්ගේම අම්මාටවත් කිසිවක්ම නොපවසන්නට ප්‍රවේසම් වී හිරුදි රට හැර ආවා ය.
ඒ පැමිණීමට අට මසක්ම ගෙවී අවසන් ය.අක්කාගේ නිවසට ආ ගමන කිසිදු උපද්‍රවයක් නොවන්නට හේතු වූයේ චේතනලාට කිසිම බලයක් ඉතිරිව නොතිබීම බව හිරුදිට විශ්වාස ය.ඈ ඒ සැනසීමෙන් ඊයේ දෛවෝපගත ගමනක් පැමිණියා ය.ජීවිතය ඇයට තිළිණ කළ අසීරුම හෝරා කිහිපයකට පසු ඈ සැනසීම තුරුළු කර ගත්තා ය. ඒ සැනසීම කිරි සුවඳ විහිදවමින් නිදයි.
“සිතිජ කතා කරා.”
රෝහල් කුටිය සමාධි පැවසුවේ කිරිකැටියාගේ හිස මුදුව පිරිමදින අතර ය.හිරුදි අක්කා දෙස බැලුවේ විමතියෙනි.ඔහු තවම ඈ හරිහැටි කවුරුන්දැයි නොදන්නී ය.නමුත් ඕනෑම මොහොතක ඇමතුමක දුර හිඳින්නට මේ අට මස පුරාම සිතිජ ප්‍රවේසම් වූයේ ය.
“ඔයා මේක අහලා කලබල වෙන්නේ නෑ කියලා මං දන්නවා.ඒකයි මේ වගේ වෙලාවක මේක කියන්නේ.”
සමාධි ඇයට පුරුදු නිවුණු හඬ සහිතව කියන්නී ය.හිරුදි අඩක් පුදුමයෙන් ද අඩක් සසැලෙමින් ද අක්කා දෙස බැලුවා ය.
“ඊයේ චේතනව ඇරෙස්ට් කරලා.නිසල්ගේ මරණෙ සම්බන්ධයෙන්. අර හංගලා තිබ්බ සීසීටීවි රෙකෝඩ්ස් එහෙම සිතිජලාට හොයා ගන්න පුලුවන් වෙලා.නිසල්ට කරපු මරණ තර්ජන එහෙමත් සාක්කි විදියට ගන්න පුලුවන්.”
හිරුදිගේ මුහුණට තුනී සිනාවක් නැඟී ආවේ ය.ඇය හිස හරවා අක්කාගේ දෑතේ නිදන කිරිකැටියා දෙස බැලුවා ය.
“පුතා උපදින්නේ චේතනට රාජ යෝගයක් අරන් කියලා කියපු අනාවැකිය මතක් වුණා.ඊයේ පුතා උපදින වෙලාවේ ඒ රාජ යෝගෙ පළ දීලා එහෙනම්.”
පාලකයන්ගේ අමනෝඥ ක්‍රියාවලට පසුගිය කාලය පුරාම දඬුවම් ලැබෙමින් තිබිණ.තරුණ අරගලයකින් නිවැරදි වෙමින් තිබෙන රටක වෙනදා මෙන් හිතූ දේ කරන්නට ඉඩ නැති වග පාලකයන් අවබෝධ කර ගනිමින් සිටි අතර චේතනට ද තිබුණේ එක් චෝදනාවක් පමණක් නොවේ.ඔහු බොහෝ කාරණා සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වෙමින් සිටියේ ය.
“මගේ ජීවිතේ හිටිය වැදගත්ම මනුස්සයා කෙහෙම්මල් කේන්දරයක් නිසා මට නැති වුණා.මේ දරුවා ගැන කියපු අනාවැකියත් බොරුයි කියලා පේනවනෙ.”
හිරුදි පවසන්නේ කලකිරීමෙනි.
“මොකක්ද ඉඩම් වගේක සිද්ධියකට ඒ මහා අනාවැකිකාරිටත් හිරේ යන්න වෙයි කියල මම දැක්කා සෝෂල් මීඩියා වල තියනව.ඔය කේන්දර කාරයොත් රට විනාස කරන්න පුලුවන් තරම් හවුල් වුණා.ඕකුන්ටත් අමන පාලකයන්ට තරම්ම දඬුවම් ලැබෙන්න ඕන.”
සමාධි පැවසූයේ හද උපදින අපුල වචන බවට හරවමිනි.චේතන නම් අප්‍රසන්න මිනිසා නැගණියගේ ජීවිතයට පැටලවීම ගැන ඇගේ කෝපය කෙලින්ම එල්ල වන්නේ අම්මාට ය.අම්මාට මේ මොහොතේ දැනෙන්නේ කුමක්දැයි ඇමතුමක් දී අසන තරමේ ආශාවක් සමාධිට ඇති විණ.
“අක්කා..චේතන දන්නව ඇතිද නිසල්ගේ ගැන හොයන්න මමත් මෙහෙ ඉඳන් උදව් කළා කියලා.”
හිරුදිගේ කටහඬ කල්පනාකාරී ය.ඇයට චේතනට ඒ ගැන දන්වන ආශාවක් ඇති වන්නට ඇතැයි සමාධිට සිත් ව්ණ.
“චේතන මන්දා.සිතිජට නම් සැකයක් තියනවද මන්දා ඔයා කවුද කියලා.චේතනගේ වයිෆ් අතුරුදහන් වෙලා ටික කාලයක් කියලා මට කිව්වා.මොකුත්ම නොකියා හිටියට මටත් මහ වරදකාරී හැඟීමක් ආවා ඒක අහලා.”
සිතිජ ඉතා අපූර්ව ගණයේ මිතුරෙකි.ඒ අපූර්ව මිතුරාට හෙළි නොකළ භයානක රහසක් ඇතැයි යන කාරණව හිරුදිට ද ගෙන ආවේ වේදනාවකි.එහෙත් ඇය ඒ කතාන්දරය ඔහුට කියන්නට හැකි ක්‍රමයක් කල්පනා කළා ය.දරුණු ගණයේ රහසක් සැඟවීම ඇතැම්විට ඔහුගේ මිත්‍රත්වය සදහටම අහිමි කරන්නට ද හේතු වනු ඇත.
“වංචාවක් කරා කියලා නොහිතුණත් රහසක් හංගපු වරද මගෙත් හිතේ තියනව අක්කා.රටක් ගොඩ ගන්න වැඩ කරන තරම් ලොකු හිතක් තිබ්බ සිතිජට කෙල්ලක් එයාගෙ ඇත්ත හංගපු එක ගැන කේන්තියක් වෛරයක් ඇති වෙයි කියලා මට හිතෙන් නෑ.ඒත් මට හිතෙනව ඇත්ත කියන්න කාලෙත් ඇවිල්ලා කියල.”
හිරුදි එසේ කියද්දී සමාධි ඇය අත හුන් බිලිඳාට මුදු හාදුවක් තැබුවා ය.අනතුරුව නැගණිය දෙස බැලුවේ දිලිසෙන දෙනෙතකිනි.
“නොකියා හිටියට සිතිජ ඔයාට ආදරෙන් කියලත් මට හිතෙනව නංගි.”
සෑම මිත්‍රත්වයක් ම ආදරයකින් අවසන් වී ඉනික්බිතිව සියල්ලෝම සතුටින් ජීවත් වූහ යැයි ලියා තැබිය යුතු නැතැයි හිරුදි සිතුවා ය. ඇයට ඔහු ගැන ප්‍රේමයක් ඉපදුණු වෙලාවන් අනන්තවත් වේ.නමුත් එක්ව කතාවක් ලියන්නට ඒ කුඩා හැඟීම් ප්‍රමාණවත් නොවේ.
හිරුදි දුරකථනය අතට ගත්තා ය.රහසට තවත් ආයුෂ තිබිය යුතු නොවේ.