ශරදාකාසේ -18

පංචලී බෝ මළුවේ සුදු වැලි තලාව මත හිඳ ගත්තා ය. ඇගේ හිත විහාර මළුවක් තරම් ශාන්තිදායක ව තිබිණ. විසි එක් වතාවක් බෝධිය පැදකුණු කිරීමෙන් දෙපා වලට දැනෙමින් තිබුණා වූ විඩාව, වැලි මළුවේ හිඳ ගත් ගමන් අතුරුදන් ව ගියේ ය. ඇගේ රතදරතර සැනසුම් සහගත මඳහසක් රැඳී තිබිණි. 

“මොකද්ද පංචලී උඹ මේ කියන කතාව…කවදාවත් කසාද බැඳගන්න බැරි මිනිහෙක්ගෙ දරුවෙක්ව උඹ හදාගන්න යනව කියන්නෙ…උඹට අමු කැවිලද…”

අම්මා ගේ කෝපයත්, වේදනාවත්, බියත් කැටි වූ හඬ පංචලී ගේ සවන් වල දෝංකාර දෙයි. ඒ වියපත් හඬෙහි හැඬුම්බර බවක් තැවරී තිබිණි. ඔවුහු ජීවිත කාලය ම දුක් විඳි දුප්පත් මිනිස්සු වෙති. ඔවුන් ගේ බලාපොරොත්තුව වූයේ පංචලී ය. නමුත් ඇය විවාහකයෙකුට දාව දරුවෙකු කුස ට විත් ඇති බව කියත්දී ඒ අම්මා ගේ හදවත සුණු විසුණු ව ගියේ ය. ඇය ට දැනුණේ සිය දියණිය බෝම්බයක් කුස බැඳ ගත් මිනිස් බෝම්බයක් සේ ය. පුපුරා යන්නට ඔන්න මෙන්න දෑසකින් ඕ තොමෝ  සිය එක ම දියණිය දෙස බලා සිටියා ය.

“අපි හිතුවෙ උඹ අපි ගැනත් බලා ගනී කියල. ඒත් දැන් උඹටවත් අනාගතයක් නැති කර ගෙන…මොකද්ද දුවේ උඹ මේ කර ගත්තෙ…”

අනතුරු ව ඇය පංචලී ගේ පපුවට වාරු වී හඬන්නට උත්සාහ කළා ය. නමුත් එක කඳුළු බිඳක් හෝ ඇස් වලින් ගිලිහුණේ නැත. හීල්ලුමක් සේ හුස්මක් පිට වූවා විතර ය.

පංචලී අම්මා ගේ දෙ උරහිස් තදින් අල්ලා ගෙන සිටියා ය.

“අපි…අපි මේක ඉවරයක් කරල අර ඉලන්දාරියට කැමැත්ත දෙමු පුතේ”

පංචලී තිගැස්සී ගියා ය. ඇගේ දෑත් වෙව්ලනු අම්මා ගේ කෘෂ වූ උරහිස් කටු වලට පවා දැනිණ.

“මං දරුවව නැති කරන්නෙ නෑ අම්මෙ”

එය ස්ථිරසාර තීරණයක් මත නැගුණ ස්ථිරසාර හඬකි.

“මං අම්මලවයි දරුවවයි තුන් දෙනාවම බලා ගන්නව”

“ඒත් උඹව රවට්ටපු මිනිහෙක්ගෙ දරුවෙක්..”

“එයා මාව රැවැට්ටුවද මන් දන්නෑ. හැබැයි මං එයාට ආදරේ කළා අම්මෙ. දැනුත් ආදරෙයි ඉස්සරහටත් ආදරෙයි. ඒ ආදරේ  වෙනුවෙන් මට මේ දරුව ඕන අම්මෙ. මං මේ පැටියටත් එයාට තරංම ආදරෙයි”

ඒ තරම් අවංක ලෙස මීට පෙර කිසි දා ක ඇය කිසිවෙකු ට විවෘත වී නැත. මුළු ලෝකය ම ඇගේ ආදරය අවිශ්වාස කළත් අම්මා ඇය සැක නො කරන බව පංචලී නිසැක ව දැන සිටියා ය. 

“මං එදා අම්මගෙ බඩට ආවෙ තාත්තෙක් ගැන අයිතියක් නැති දරුවෙක් විදිහටනං..අම්ම මාව බඩේදිම මරල දානවද අම්මෙ. නෑ නේද…මාත් මේ රත්තරං මැණිකට ආදරෙයි අම්මෙ. තාත්ත කෙනෙක් නැති වුණාට කමක් නෑ එයාට. අපි එයාව බලා ගමු අම්මෙ”

අම්මා ගේ ඇස් වල වූයේ විශ්මය පමණකි. ඉනික්බිති ඇය වචනයක් හෝ කතා කළේ නැත. වැඩට යන ලෙස ගෙදරින් පිට වූ පංචලී කෙලින් ම ආවේ පන්සලට ය. හිත ටිකක් කලබල වී ඇති බව ඇය දනී. ඇයට සන්සුන් වන්නට ඕනා වී තිබිණි. ඒ මිස අනාගතය ගැන සැක මුසු බියක් ඇයට දැනුණේ නැත. 

සුදු ඇත් පැටව් කුසයට වඩින්නේ සුද්ධෝදනලා වාගේ රජ සිටු වරුන් ගේ දේවියන්ගේ ය. ඇගේ කුස ඔත් කිරි කැටියා රජ පැටවෙකු නොවූවාට පංචලී ට දැනුණේ මහාමායාවක ගේ හද පිරි සතුට ය. මහාමායාව වූවත් අම්බපාලිය වූවත් සිය දරුවා ට ආදරය කරන්නේ එක ම මව්වත් හදකිනි. පංචලී සිය උදරය යන්තමින් ඇඟිලි තුඩගින් පිරිමැද්දා ය. ඒ කළලය තවම සෛල කිහිපයක එකක් විය හැක. නමුත් මහා ස්නේහයකින් ඇගේ ළය පිරී ගියේ ය. ශාරද පිළිබඳව ද වෙනස් ම විදිහේ ආදරයක් මේ මොහොතේ ඇය අත් වින්දා ය.

“තාත්ත අක්ක එක්ක ඉඳී. පුතාට අම්ම ඉන්නව”

යි සිතමින් නැගිට ගත් ඕ සන්සුන් සිතින් රැකියාවට ගියා ය. 

වෙනදා ට වඩා ඇය බෙහෙවින් පිරුණු පින් පාටක් දැරුවා ය. ඇගේ දෙතොල් මතින් මඳහස පළා නො ගියේ ය. උනන්දුවෙන්  ද කඩිසරව ද ඇය වැඩ කළා ය. ශාරද සමගින් ද රාජකාරී කටයුතු ඉතා සුහද ලෙස සිදු කළා ය. මේ ශුභ ආරංචිය පැටියා ගේ පියා ට දැනුම් දෙන්නට බැරි වීම ගැන ශෝකයක් ඇගේ සන්තානයෙහි නොවූවා නොවේ. නමුත් මොහොතක් ගානේ, ඇයට ම විශ්වාස කර ගත නො හැකි ලෙස ඇය ශක්තිමත් වෙමින් සිටියා ය. ශාරද ගේ දරුවෙකු සිය කුස මෝරන වග ඔහු ට නො කියන්නට ඇය තදින් සිතා ගත්තා ය.

“කසාද බඳින්න තීරණේ කළාට පස්සෙ ඔයා හරි සතුටෙන් නේ..”

ශාරද ඇනුම් පද කීවේ ය. පංචලී ඊටත් මඳහසක් පෑවා පමණකි. ඇගේ ඇස් වල දීප්තියක් විය. එය වූ කලී අධිෂ්ඨාන බලයකි. උත්කෘෂ්ට වූ ප්‍රේමයකි. හිමි කර ගැනීමේ චේතනාවෙන් මිදුණා වූ ආදරය ගැන හැඟීමකි.

පංචලී ගේ වෙනසට හේතුව ඇය ට විවාහයක් ගැන වූ හීනය හැබෑ වන්නට යාම යයි ශාරද වරදවා වටහා ගත්තේ ය. ඔහු ගේ හිතේ ඇති වූයේ වෛරී හැඟීමකි. 

“තමුසෙ නිසා වුණේ මගෙ පවුල කැඩුණ එක විතරයි”

ඔහු චෝදනා කළේ ය. ඇය සිය සන්තාප සමුදාය හද තුළ හිර කර ගෙන නිහඬ ව නිසල ව සිටියා ය. එසේ සිටින්නේ කෙසේ ද කියා පංචලී දැන සිටියේ නැත. වෙනත් ගැහැනියක නම් මේ වගේ තත්වයකදී නිකං ම පසු බා යන්නේ නැත. ශාරද වෙනුවෙන් සිය අයිතිවාසිකම් ඉල්ලා සිටිනු ඇත. සිය දරුවා ගේ අයිතිවාසිකම් ඉල්ලා සිටිනු ඇත. ඒ කිසිත් නො කොට, ඇය ඔහු ගෙන් ඈතට යමින් සිටියා ය. 

නිශාමනී සිය දියණිය සෙල්ලම් කරන හැටි බිම හිඳ ගෙන බලා සිටියා ය. එසඳි හුරතල් හුරුබුහුටි දැරියකි. ඇය දෙස බලා ගෙන නිශාමනී ට අන් සියල්ල අත් හළ හැකි ය. අම්මා කෙනෙකුට දරුවෙකු කියන්නේ ඇගේ සසර දිගු කරන්නා වූ බන්ධනයයි. දරුවෙකු ලැබූ ගැහැනියක ඉන් පසු ජීවත් වන්නේ ඒ දරුවා වෙනුවෙනි. ඇගේ ලෝකය වන්නේ දරුවා ය. ඈ බලා සිටින්නේ දරුවා දෙස ය. ඈ සිනහ වන්නේත් හඬන්නේත් දරුවා වෙනුවෙනි. සැමියා සමගින් ඇය ට කතා බහ කරන්නට තිබෙන්නේ ත් දරුවා ගේ කෙළි කවටකම් ගැන ය. අම්මා කෙනෙකු කියන්නේ එහෙම විසිතුරු හැඟුමන් පොදියකි. ලොව වෙන කිසිදු හැඟීමක් ඊට සම කළ නො හැකි ය.

විවාහක ගැහැනියකට දරුවෙකු අවශ්‍ය ය. නො එසේ ව ඇය ට සමාජයට මුහුණ දීම පහසු නැත. මිනිස්සු ඇගෙන් දරුවෙකු ගැන ම විමසති. දරුවෙකු බිහි කරන තුරා ඒ ගැන විමසති. විවාහක ගැහැනියකට දරුවෙකු ඕනෑ කරන්නේ ඒ නිසා ය. ඇය දස මාසයක් දරුවෙකු කුස දරා හිඳින්නේ සිය පතිනිවතෙහි අභිමානය වෙනුවෙනි. අවිවාහක ගැහැනියකට දරුවෙකු යනු භීතියට කරුණකි. ලැජ්ජාවට කරුණකි. ඒ දරුවා කුස තුළ ම මරා දැමෙන්නේ එබැවිනි. අවිවාහක ගැහැනියක දරුවෙකුට ආදරේ කරත් නම් ඒ ඇය සිය පෙම්වතාට අසීමිත ව ආදරය කරනවා නම් පමණකි. නො එසේ ව ඇය ට දස මසක් දරුවෙකු කුස දරා ගෙන සමාජය ඉදිරියේ පෙනී සිටින්නට තරම් ආත්ම ශක්තියක් නොමැත්තේ ය. ස්ව කැමැත්තෙන් එවන් බරපතල තීරණයක් ගත නො හැක්කේ ය. 

ආකාස හැන්දෑවේ දිය නාගෙන පැමිණෙන විට නිශාමනී තේ එක තනා ගෙන සිටියා ය. ඒ වතාවත් ඈ ‘ශරදාකාස’යට පැමිණි දා සිට කරනා දේ ය. ඒ තේ කෝප්පය ගනිත්දී ආකාස ගේ ඇස් වල ලියවෙන කතාව ප්‍රේමයට ආසන්න එකක් බව නිශාමනී ට දැනී සෑහෙන කාලයකි. නමුත් ඇය ඒ නො දැනුණා සේ සිටියා ය. ආකාසට නොව ශාරදට වුව ඒ ගැන අංශු මාත්‍රික සඳහනක් නො කරන්නට පරිස්සම් වූවා ය. 

සිය පිරිමි හදවත මෝහනයට පත් කළ නිශාමනියට වුව ඔහු ගේ හැඟීම දැනුම් දෙන්නට කිසි දා ආකාස උත්සාහ කොට නැත. නමුත් හස්ති රාජයෙකුට සිය දළ දෙක අගනේ යම් සේ ද ඔහු ට ද ඇය අගනේ විය. ඒ ප්‍රේමය හදවත තුළ මිහිදන් කරන්නට ආකාස කිසි දාක තැත් කොට නොමැත. ඔහු ඒ ප්‍රේමය ජීවත් කරවූයේ ය. ඒ ප්‍රේමය මත්තේ තෙමේ ද ජීවත් වූයේ ය.

“අයිය මට කියනව ඔයාට මේක තේරුම් කරල දීල මේ ප්‍රශ්නෙ ඉවර කරන්නයි කියල. මොනා හරි දෙයක් වුණානං ඒක අමතක කරල සමාව දෙන්න බලන්න”

ආකාස නැවත ද වතාවක් සිය යුතුකම වෙනුවෙන් පෙනී සිටියේ ය.

“මල්ලි තව සිය වතාවක් කිව්වත් දහස් වතාවක් කිව්වත් මට වෙනස් දෙයක් කියන්න නෑ. සමාව දීල අමතක කරන්න බැරි තරං දැං මට එයා පිළුණු ගඳයි. ඒ නිසා අපි තවත් ඔය ගැන කතා නොකර ඉමු”

“මං පංචලීට කතා කරන්නද…”

නිශාමනී ගැස්සී ගියා ය.

“මොනාද..”

“ඒ දෙන්න අතරෙ තියෙන සම්බන්දෙ නතර කරන්න කියල කියන්නං. ඒක ආශ්‍රයක් විතරයිනෙ. මෙතන තියෙන්නෙ මැරේජ් එකක්නෙ”

“මැරේජ් එකක් විතරයි. ඔව් මල්ලි.මෙතන ආදරයක් නෑ. ඒත් එතන ඒක ඇති. පංචලී ළඟ ඒක තියනව”

ආකාස ඇදෙස හොඳින් බැලුවේ ය. නිශාමනී ඒ බැල්ම මග හැරියා වුණත් ඇය ට ඔහු ගෙන් වහං විය හැකි වූයේ නැත.

“මොකද්ද ඒ කතාව…ඔයා කොහොමද ඒක දන්නෙ…”

“මං එයාව මීට් වුණා”

ඇය සිටියේ බිම බලා ගෙන සුවච කීකරු දැරියක් සේ ය. එහෙව් දැරියක වරදක් කොට තාත්තා අතට හසු වූ වෙලාවක සිටිනු ඇත්තේ ද මේ බැල්මෙනි.

“ගිහිං කෙහෙවලු පටලෝගත්තද…”

ආකාස ගේ හඬ තරමක් සැර වූයේ ය. නිශාමනී මන්දස්මිතයක් නගා ගත්තා ය.

“ඔයා හිතන්නෙ මං එහෙම කෙනෙක් කියලද…”

“ඒ ගෑනි කිව්වෙ නැද්ද මාව හදන්න එන්නැතුව තමුසෙගෙ මිනිහ හදා ගන්නවයි කියල…”

“එයා එහෙම ළමයෙක් නෙවෙයි”

ආකාස බලා සිටියේ සිය දෑසින් මේ කුඩා සිරුරක් හා ලොකු හදවතක් ඇති ගැහැනිය වැළඳ ගෙන ය. ඔහු සිතුවාටත් වඩා ඇයට තිබෙන්නේ ලොකු හදවතකි. 

“එයා ශාරදට ගොඩක් ආදරෙයි. මං හිතන්නෙ මං එක දවසක්වත් ශාරදට එහෙම ආදරේ කරල නැතුව ඇති”

“මොකද්ද…”

“එයාගෙ ඇස් වල තිබුණේ ඒ ආදරේ විතරයි. මිනිස්සු එයා ගැන කොයි විදිහට හිතුවත් මට එයා ගැන එහෙම හිතන්න බෑ. නෙළුම් මලක් මඩේ ඉඳල වතුර දෙබෑ කරගෙන ඇවිත් පිපෙන්නෙ පෙති වල මඩ බින්දුවක්වත් නැතුව ආකාස. පංචලීව මට දැනුණෙ ඒ වගේ”

“පිස්සුද නැත්තං හැටිද ආ…ඔයා අයිය එක්ක ආවෙ ගෙදරින් එපා කියද්දි”

නැවත ද නිශාමනී සිනහවක් නගා ගත්තා ය. ඒ සිනහව යට වේදනා පොදියක් වන බව ආකාස ට දැනිණ.

“ඔව්. ආදරේ කොයි පාටද කොයි හැඩේද කියල අපිට කියන්න බෑ මල්ලි. ආදරේට තියෙන්නෙ හිතක හැඩේ කියල මට දැන් හිතෙනව. මං එයාට ආදරේ කළා. එයා එක්ක ආව. දරුවෙක් හැදුව…ඒ ඔක්කොම හරි. හැබැයි ඒ කිසි දෙයක් නොලැබෙනව කියල දැනගෙනයි පංචලී ආදරේ කළේ. එයාගෙ ඇස් වල කිසිම තෘෂ්ණාවක් නෑ මල්ලි. එයාගෙ අතිං අල්ලං ඉඳල ශාරද එන්නෙ අපෙ ගෙදරට කියල…ශාරද නිදියන්නෙ අපේ බෙඩ් රූම් එකේ කියල…ශාරද ජීවත් කරවන්නෙ මාවයි එසඳිවයි කියල…දැනගෙනයි එයා ආදරේ කරන්නෙ. ඒක සෙල්ලමක් ද මල්ලි. සෙල්ලමක්නං ඒක ගිනි පාගනව වගේ සෙල්ලමක්. ඒ ගෑනි හැම මොහොතකම ජීවත් වෙන්නෙ ඒ ගින්දර උඩ…ආසාවටද….වල් කමටද…වල් කමටනං මේ වගේ කසාද බැඳපු එක මිනිහෙක්ට ඇලිල ඉන්න ඕනද…ඒ දේවල් කර ගන්න කොල්ලො හොයා ගන්න බැරිද…කසාද බඳින්න ඕනනං වෙන මිනිහෙක්ව බැඳගන්න බැරිද…පුළුවං මල්ලි. එහෙම තියෙද්දි ඒ ගෑනි ශාරද ළඟින් ඉන්නෙ ආදරේ නිසා. ආදරේ කියන දේ කොටුවක් ඇතුළෙ රාමු කරන්න බෑ කියල මං ඉගෙන ගත්තෙ පංචලී ගෙ ඇස් දෙක දැක්කහම. ඇත්ත අපි මිනිස්සු. අපිට මොළයක් තියනව. අපි හැඟීම් පාලනය කර ගන්න ඕන. හැබැයි ආදරේ හංගගන්න බෑ මල්ලි. හිත ඇතුළෙ දාල වහල තිබ්බත්…ආදරේ ඇස් වලින් කතා කරනව”

නිශාමනී ඒ අන්තිම ටික කීවේ ආකාස ගේ ඇස් වල එල්ලී ගෙන ය. එසේ කරන්නට ඇය ට වූ ආත්ම ශක්තිය ගැන ඇය ට ආඩම්බරයක් දැනිණ. ආකාස ගේ පපුව ඇතුළේ භූමි කම්පාවක පෙරළීමක් ඇති විය. ඔහු සිය ඇස් වලින් පොළොව හාරා ගිලා බසින්නට වූයේ ය.

අනෙක් කොටස්

More Stories

Don't Miss


Latest Articles