“මම අද රවිඳුට කෑම එකක් ගෙනාවා.ඒ මනුස්සයා දවල්ට කන්නේ නෑ කියන්නේ.”
හිමාෂා හිස ඔසවා බැලුවේ පාරමීගේ පැමිණිල්ල ඇසී ය.පාරමීගේ මුහුණ තිබුණේ අඳුරට හැරී ය.හිමාෂා හසරැල්ලක් තොල් අතරට ගෙන මිතුරිය දෙස බැලුවා ය.
“මම ඔයාට කිව්වනෙ පාරෝ.සමහර වෙලාවට අපි අනිත් අයට ආදරේ පෙන්නන්න හැදුවට ඒ ආදරේ එයාලට හිරිහැරයක් වෙන්න පුලුවන්.එහෙම වෙන්න දෙන්න නරකයි.”
පාරමී එය පිළි ගන්නට අකමැති වූවා ය.ඇය හිඳින්නේ ඔහු ගැන ප්‍රේමයෙනි.ඒ ආදරය හැකිතාක් පෙන්වීම ආදරය දිනා ගන්නට පහසුම මාර්ගය බව ඇය සිතුවා ය.
“ඔයාට බැරිද මං වෙනුවෙන් රවිඳුට කතා කරන්න?”
පාරමීගේ දෑස් අසරණකමින් පිරී තිබේ.හිමාෂා මිතුරිය දෙස බලා සිටියේ කියන්නට දෙයක් සිතා ගන්නට අසීරුවෙනි.ඇයට සත්‍යය වටහා දිය යුතු වුව ද එය සිතන තරමට පහසු නැති බව හිමාෂාට වැටහෙයි.
“පාරෝ,මේ වෙලාවේ රවිඳු ඉන්නේ එහෙම දෙයක් කතා කරන්න පුලුවන් මානසිකත්වයකින් නෙවේ නේද?”
ඇය එසේ අසද්දී පාරමීගේ මුහුණ පරවී ගියා ය.තමන් හිමාෂා වෙනුවෙන් සෑම මොහොතකම හුන්නා නම් ඇයට තමන් වෙනුවෙන් මෙය කළ නොහැකිදැයි පාරමීට සිතෙයි.එහෙත් ඇය වචන පිට නොකරන්නට ප්‍රවේසම් වූවා ය.
“මාව ගණන් නොගත්තට දැන් රවිඳු ඔයා එක්ක පුදුම තරම් යාළුයි.”
පාරමීගේ ඊළඟ චෝදනාවට හිමාෂාට සිනාවක් උපන්නා ය.මිතුරිය සිතන්නේ අතිශය බොළඳ ආකාරයකිනි.ඒ ගැන හිමාෂාට අහිතක් නූපදී.
“හොඳ යාලුවෙක් දරාගන්න එකයි,තමන් ගැන බලාපොරොත්තුව ඉන්න කෙනෙක් දරා ගන්න එකයි අහසට පොළොව වගේ වැඩක්.ඒකයි එතන වෙනස.”
එසේ කීවද ඇයට පාරමී ගැන රවිඳු සමඟ කතා කරන්නට සිත් විණ.කාර්යබහුල නොවූ මොහොතක් බලා හිමාෂා රවිඳු වෙත ගියේ එනිසා ය.
“වැඩක් නැද්ද රවිඳු?”
වැඩ කන්දක ගිලී හුන් රවිඳු හිස ඔසවා හිනැහිණ.ඔහු මොනතරම් හිනැහෙන්නට උත්සාහ දැරුවද ඔහුගේ දෑස් ඇත්තේ කඳුළට සමීපව යැයි හිමාෂාට සිතේ.කියන්නට ආ කතාව නොකියා හිඳින්නට තරම් ඇයට සිතිණ.
“සෝෂල් මීඩියා වල එහෙම තියෙන හැටියට අපි අයිස් කඳු උඩ ඉන්න මිනිස්සුනෙ හිමා.රාජ්‍ය සේවකයො කියන්නෙ එහෙම උන් කියලනෙ ඉතිං හැමෝම කියන්නේ.”
හදවතේ වේදනාව නොදැනෙන්නට රවිඳු සරල විහිළුවක් කර හිනැහිණ.හිමාෂා ඒ සිනාවට එක් වන අන්දම පාරමී ඈත මේසයකට වී බලා සිටියේ මඳ ඉරිසියාවකි.රවිඳු තම මිතුරිය සමඟ හිනැහෙන තරම් සැහැල්ලුවෙන් තමන් සමඟ හිනැහෙන්නේ නැත.එය ඇයට මහත් වේදනාවකි.
“අපේ ජානකී මිස්ලා එහෙම එක්ක ඒ කතාව වැරදිත් නෑ.රට වෙනස් කරන්නේ මේ අපේ පරම්පරාව කියලා ඔයාට හිතෙන් නැද්ද? අපේ රටේ සිස්ටම් චේන්ජ් වෙනවනම් හැමතැනකම වෙනස් වෙන්නෝන.හැමතැනම ඉන්නේ තමන්ගේ පහසුවට වැඩ කරන පරණ මිනිස්සු.මේව වෙනස් කරන උණ තියෙන්නේ අපිටනෙ ඉතින්.”
කියන්නට ආ කාරණාව පසෙකලා හිමාෂා පොදු සමාජීය කතාවකට එළැඹුණා ය.ඉනික්බිති ඇයට කියන්නට තිබුණේ රාජ්‍ය සේවයේ අර්බුදය නොවේ.මිතුරියගේ අර්බුදය ගැන ය.
“පාරමීව රිජෙක්ට් කරන්නත් එපා රවිඳු.පව්..”
ප්‍රතික්ෂේප වීමේ වේදනාව තමන් තරම් දන්නා කෙනෙකු නැතැයි කී රවිඳු ඈතකට වී මේසයට ඇස් ඔබා හිඳින පාරමී දෙස බැල්මක් හෙළුවේ ය.
“එයා රිජෙක්ට් වෙනවට මම ඇත්තටම බයයි හිමා.ඒ නිසා අපි අතරේ තියන යාළුකම විතරක් පරිස්සං කරගන්න පාරමීට බැරි වෙයිද?”
ඔහුගේ හඬ ආයාචනයකට ළඟ බව හිමාෂාට සිතේ.හිමාෂා කිසිවක්ම නොකියා නැඟී සිටියා ය.තමන්ට ආදරය නොකරන සැමියෙකුගෙන් මිදී එන්නට තරම් සවිමත් සිතක් තිබූ හිමාෂාට ආදරය නොකරන පිරිමියෙකුගේ ආදරය පතන පාරමී ගැන දැනෙන්නේ වේදනාවකි.නමුත් පාරමීට මේ සත්‍යය පහදන්නට අසීරු බව ද ඇය දැන සිටියා ය.