“අපේ බබාව ලැබුණට පස්සේ හිමාෂාගේ බබාට ඔයාගෙන් ලැබෙන්න ඕන දේවල් දීලා දාන්න.මම කියන්නෙ ඉඩමක් වගේ මොනවා හරි.”
මල්මි එසේ පැවසුවේ රාත්‍රී ආහාර ගනිමින් සිටි මොහොතක ය.”අපේ බබා” සහ “හිමාෂාගේ බබා” යන යෙදුම් වලින් වේදනාවට පත් සහන් හිස ඔසවා බිරිඳ දෙස බැලී ය.ඔහුට ඒ යෙදුම් වලංගු නොවේ.ඒ ඔහුගේ වැඩිමහල් දියණිය සහ බාල දරුවා ය.
“එහෙම මොනව හරි දීලා දාලා අයින් කරන්නෙ කොහොමද මල්? ඒ මගේ පළවෙනි දරුවනෙ”
ඔහු වචන හැකිතාක් සංවර කරගන්නට උත්සාහ කරමින් මිමිණුවේ ය.මල්මි එවැනි වචනවලින් දමනය වන්නියක නොවේ.ඇය තමන්ගේ කතාව සාධාරණ කරන්නට යත්න දැරුවා ය.
“ඔයා ඉන්නේ අපේ බබා එක්ක.ඔයාගේ වාසගම තිබුණට දිනාරාට ඔයා එක්ක ළඟ බැඳීමක් නෑනෙ.එහෙමයි කියලා අහක දාන්න බෑ තමයි.අනික ගෑනු ළමයෙක්.හිමාෂාත් ගවමන්ට් සෙක්ටර් වැඩ කරලා මහ සැලරියක් ගන් නෑනෙ.ඒ නිසා ටිකක් වටිනා ඉඩම් කෑල්ලක් ලියලා දෙන්න.දවසක ඒ ළමයට ඒක තියනවනෙ.”
සහන් හිමාෂා සිටියදීම මල්මිට ආදරය කරන්නට පටන් ගත්තේ හිමාෂාගේ නොතිබූ ආකර්ෂණීය බවක් මල්මි සතුවූ නිසා ය.කිරි දරුවෙකු තුරුලට ගෙන නිවස තුළ තනි වූ ගැහැනිය තනි වූයේ ගැහැනු දරුවෙකු ද සමඟ නොවේදැයි සහන්‍ට එක්වරම සිතිණ.
“හිමාෂායි මායි අතර කිසිම නීතිමය බැඳීමක් නෑ.ඉමෝෂනලි අපි කොහොමත් බැඳිලා නෑ.ඒත් මට දිනාරාව මැරෙනකම් අතාරින්න බෑනෙ මල්.”
සහන් එසේ පවසා එයට හේතුව පැහැදිලි හඬකින් පළ කළේ ය.
“තාත්ත කෙනෙකුගෙයි දුවෙකුගෙයි බැඳීම මරණෙකින් මෙපිට කෙළවර වෙන් නෑ.ඒ දෙන්නා එක තැනක හිටියත් ලෝකේ කෙළවරවල් දෙකක හිටියත් බැඳීම බිඳෙන්නෙත් නෑ.”
ඒ බරපතල කතාවක් බව මල්මිට වැටහිණ.ඈට හිමාෂාගේ ස්වාමි පුරුෂයාව තනි අයිතියට ගැනීම අසීරු නොවිණ.නමුත් ඇගේ දරුවාට තාත්තා තනි අයිතියට ගන්නට හැකි නොවේ.සහන් ඔහුගේ කුළුදුල් දරුවා අමතක කර දමන්නට සූදානම් නැත.
“හිමාෂා ආයේ මැරි කරොත් නම් එයාගේ අලුත් හස්බන්ඩ්ට දිනාරා කිට්ටු වෙයි.තාම පොඩි වයසනෙ.ගෙදර ඉන්න තාත්තා තමයි දරුවට ඉක්මනින් කිට්ටු වෙන්නේ.”
සහන් කෑම මේසයෙන් නැගී සිටින්නට පෙර මල්මිට යෝජනාවක් කරන්නට සිතී ය.ඒ ගැන ඇය දරන අදහස පවා ඔහු දැන සිටියේ ය.
“අපිට දිනාරාව ගන්න තිබුණේ.ඔය කතාවම අම්මා කියන චරිතෙටත් ඇප්ලයි කරන්න පුලුවන්.එයාට ඔයා අම්මා වෙලා හිමාෂා අමතක වෙන්නත් තිබුණනෙ “
මල්මි කිසිත් නොකියා හිස් භාජන රැගෙන මුළුතැන්ගෙයට යන්නට ගියා ය.සහන් සතු දේපලවල වැඩි අයිතිය දිනාරාට ලැබුණ ද ඇයට කම් නැත.නමුත් දිදිනාරා සමඟ පවතින බැඳීම නිසාම සහන් තමන්ටත් නූපන් බිළිඳාටත් සහමුලින්ම අයත් නොවේයැයි දැනෙන හැඟීම මල්මිට දරා ගන්නට අපහසු ය.
“කමක් නෑ.ඔයා අයිති අපට.”
ඇය හිත හදා ගන්නට උත්සාහ කළා ය.
“මම ප්‍රෙග්නන්ට්.ඒක ඔයාට කියන්න ඕන කියලා මං හිතුවේ”
ඒ ආරංචිය හිමාෂාට දෙන්නට සිතුණු හේතුව තවමත් මල්මිට අපැහැදිලි ය.ඇතැම්විට සහන් හිඳින්නේ ප්‍රීතිය පිරුණු ලෝකයක බව ඇයට කියන්නට තමන්ට උවමනා වූවාදැයි ඇය සිතුවා ය.එහෙත් හිමාෂා තමන්ට සුබ පැතුවේ උණුසුම් හදවතින් බව සිහි වෙද්දී මල්මිට දැනෙන්නේ කියා ගන්නට අපහසු හැඟීමකි.ඇය තමන්ට සමාව දී අත් හැර දමා ඇතැයි මල්මි සිතුවා ය.
“දරුවන්ට තියන ආදරේ බෙදන්න බෑ මල්.මම අපේ චූටියා එනකම් ආදරෙන් බලන් ඉන්න තරමටම දිනාරා එනකනුත් බලන් හිටියා.මම ඒ දරුවෝ දෙන්නටම ආදරේ එක විදියට.ඔයා ආයේ වතාවක් අම්මෙක් වෙන්නත් පුලුවන්.අපිට ලැබෙන හැම දරුවටම මම වෙනසක් නැතුව ආදරේ වෙයි.ඒ දරුවන්ට තරම්ම මම ඔයාටත් ආදරෙයි.ඒ නිසා හිත රිද්දා ගන්න එපා”
ඉඳුල් භාජන සෝදන්නට සැරසෙන මල්මිගෙන් ඒවා අතට ගන්නා ගමන් සහන් පැවසුවේ ආදරයෙනි.ඒ වචන මල්මිට හිත සනසා ගන්නට ප්‍රමාණවත් විය.සහන් ඈ සනසා හිමාෂාගේ වචන සිහි කළේ ය.
“සහන්,අපි අතර තියන එකම නෑකම දිනාරාගේ අම්මයි තාත්තයි කියන එක.වෙන කිසිම නෑකමක් අපි අතර නැතත් මම කැමති දිනාරා කවදාහරි මැරි කරන දවසක්වත් එනකම් ඒ නෑකම ආරක්ෂා වෙනවට.ඒ නිසා ඔයාගේ ජීවිතේ මොන වෙනස්කම වුණත් ඔයා දිනාරාගෙ තාත්තා කියන එක අමතක කරන්න එපා.ඔයාට එයාගේ තාත්තා වෙන්න මගේ කැමැත්ත අකමැත්ත වැඩක් නෑනෙ”
ඒ වචන ඔහුගේ හදවතේ ඊයම් බරුවක් සේ ඇනී තියේ.කිසිම හේතුවකට දිනාරාව අතැර දැමිය යුතු නැති වග ඔහු තරයේම සිතට ගත්තේ එනිසා ය.