වැඩිහිටියන්ගේ නොසැලකිලිමත්කම නිසා මිලිනව ගිය තවත් පුංචි මල් කැකුළක්.

බණ්ඩාරගම අටලුගම සිදු වූ අට හැවිරිදි පුංචි අයිෂාගේ ඝාතන අපරාධය මේ මොහොතේත් ලාංකිකයක් කම්පාවට පත් කිරීමට සමත්. මේ සටහනෙන්, ඒ සිදුවීමෙහි පසු විපරමක් කරන්නට අප බලාපොරොත්තු වෙනවා. මේ වගේ සිදුවීම් ගැන සමාජයේ විවිධ මත තිබෙනවා. නමුත් මේ අනතුර ගැන නොව මේ සිදුවීම සහ ඊට බලපාන්නට ඇති හේතු ගැනත් කරුණු අධ්‍යනයක් තමයි අප මෙයින් සිදු කරන්නේ. අප මේ ගැන සාකච්ඡා කරන්නට තෝරා ගත්තේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ති රේණුකා මහත්මියයි. එතුමිය මේ ඝාතන අපරාධයේ පරීක්ෂණවලට මුල සිට ම සම්බන්ධ වූ නිලධාරිනියක් සේ ම මේ ක්ෂේත්‍රයේ අත්දැකීම්වලින් ප්‍රවීණයෙක්. මෙය ළමා ඝාතන අපරාධවල අවසාන සිදු වීම හෝ පළමුවෙනි සිදුවීම නොවෙයි. නමුත් මෙවැනි අවාසනාවන්ත සිදුවීම් නැවත නැවත සිදුවීම වැළක්වීමට දායක වීම එතුමියගේත් අපේත් එක ම අරමුණයි. ඒ වෙනුවෙන් අප මේ ලිපියෙන් මේ පිළිබඳ ව ඇගේ අදහස ගෙන එනවා. රටේ අනාගතය අපේ දරුවෝයි. ඔවුන් රැක ගන්නට අප හැකි සෑම අයුරින් ම කටයුතු කළ යුතු යි. 

මේ දරුවාගේ පවුල් පසුබිම කොයිවගේ ද?

ඇයට තවත් වැඩිමහල් සහෝදරයෙක් සහ බාල සහෝදරියක් ඉන්නවා. ඇය පවුලේ දෙවෙනි දරුවා. පියා කුලීවැඩ කරන්නේ. අම්මා රැකියාවක් කරන්නේ නෑ.

මේ අවාසනාවන්ත සිදුවීම සරලව විස්තර කරොත්?

දරුවා ගෙදර ඉන්නකොට අම්ම කියලා තියෙනවා කඩේට ගිහින් කුකුල් මස් ටිකක් ගේන්න කියලා. රුපියල් තුන්සීයක් දීලා තියෙනවා. ඒකත් අරන් කඩේට ගිහින් කුකුල් මස් මිලදී ගෙන ආපසු එන විටදී තමයි දරුවා මේ අවාසනාවන්ත සිද්ධියට මුහුණ දීලා තියෙන්නේ. දරුවා බොහෝ වේලාවක් නිවසට නොපැමිණීමෙන් තමයි මව කලබල වෙලා සෝදිසි කර තිබෙන්නේ. 

ඇත්තටම නිලධාරිතුමියනි මෙහෙම කුඩා දරුවෙක් තනිවම කඩේ යැවීම අසාමාන්‍ය නැද්ද? වෙනදටත් මෙ පවුලේ මෙහෙමද මෙහෙමද?

ඇත්තටම මේ සමාජය තුළ එහෙම නැහැ. මීට වඩා කුඩා දරුවන් පවා මේ ග්‍රාම්‍ය උප සංස්කෘතිය තුළ හුදකලාව කඩේ යැවීම, නිවසේ වැඩවල තනිව යෙදීම සාමාන්‍ය දෙයක් බවයි විමර්ශන වලදී අනාවරණය වුණේ. 

ඉතින් මේ හුදකලා තැන් වලදී දරුවන් ඕනෑම අනතුරකට පත් විය හැකියි නේද?

ඔව්. ඇත්තටම මේ දරුවට මේ අනතුර නොවුණත් නොසැලකිලිමත් රියදුරෙක් ආවානම් රිය අනතුරක් වෙන්න තිබුනා. කැමරා දර්ශන වල පැහැදිලිව සටහන් වෙලා තියෙනවා දරුවා පාර පුරා කෙළිදොළින් එහෙ මෙහෙ දුවමින් ගමන් කරන විදිය. නොසැලකිලිමත් රියදුරෙක් ඒ මොහොතේ පාරේ ගියා නම්, රිය අනතුරක් පවා වන්නට තිබුණා. 

දෙමව්පියන්ගේ  හැසිරීම මේ සිද්ධියට බලපානවා කියා ඔබ සිතනවා ද ? 

පැහැදිලිව ම ඔව්.දරුවෙක්ට ලැබිය යුතු ආදරය,රැකවරණය,ආරක්ෂාව,පෝෂණය වැනි අත්‍යවශ්‍ය ළමා අයිතිවාසිකම් මේ දරුවාට නොලැබී ගිලිහීයාමේ තත්ත්වයක් විමර්ශනවලදී අනාවරණය වුණා. දෙමාපියන්  මතක තබා ගත යුතු කරුණ වන්නේ ඇසිපිය හෙළන මොහොතකදී දරුවාට ළමා අපරාධයක් වෙන්න පුලුවන් බව.

මේ ආරාධනාව සිදු කළ තැනැත්තා මේ පවුලේ මිතුරෙක් ද?

අසල්වැසියෙක්. ඒ වගේම මවගේ දුරින් නෑයෙක්. අම්මා තාත්තා ඇසුරු කරන පවුලේ හිතවතෙක්. දරුවා ඒ ගෙදරට ගිහින් ඔහුගේ ඒ වයසෙම ළමයි එක්ක සෙල්ලම් කරමින් පසුවුණ බව සොයා ගැනුණා.

ඔහු යම්කිසි මත්ද්‍රව්‍යක් භාවිතා කර තිබුණා ද?

ඔව්. ඔහු අයිස් සහ මත් කුඩු මේ අනතුර සිදු කරන විට භාවිතා කර තිබුණා.

අවසාන වශයෙන් ඔබට මේ ගැන කියන්න තියෙන්නේ මොනව ද?

ළමා අයිතිවාසිකම්වල සඳහන් වන පෝෂණය,රැකවරණය,ආරක්ෂාව,සෞඛ්‍යය වැනි මූලික අවශ්‍යතා දෙමාපියන් ලෙස අප අනිවාර්යෙන් සම්පූර්ණ කළ යුතු යි. ඒ වගේම ඇසිපිය හෙළන සැනින් දරුවෙක්ට අපරාදයක් වෙන්න පුලුවන් බව දෙමව්පියන් තරයේ සිහි තබා ගත යුතුයි.

මෙවැනි ඕනෑ ම සිද්ධියකදී බොහෝ විට සිද්ධිය වාර්තා කිරීම හැර පසු විපරමක් සිදු වන්නේ නෑ. ඒ නිසා ම නැවත එවන් දේ වළක්වා ගන්නට නම් කළ යුත්තේ මොනවාද යන්න සමාජය දැනුවත් වීමෙන් වැළකෙනවා. වගකිවයුතු මාධ්‍ය ආයතනයක් ලෙස අප උත්සාහ කරන්නේ මෙවන් සිදුවීම්වලදී ඔබට නොපෙනෙන, නමුත් අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් ලෙස සමන්ති රේණුකා මහත්මිය එම පර්‍යේෂණවලට සහභාගී වී ලබා ගත් වෙනත් පැතිකඩක් පිළිබඳ ඉදිරිපත් කිරීමයි. මෙවැනි සිදුවීම් අධ්‍යනය කළ විට  පෙනී යන දෙයක් තිබෙනවා. දෙමව්පියන්ගෙන් දරුවන්ට සිදුවෙන නොසැලකිලිමත්කම් නිසා අපයෝජකයින්ට වඩාත් වාසි සහගත වෙනවා. ඉතින් වක්‍රාකාරයෙන් අපයෝජනවලට ඒවාත් බලපානවා. බුද්ධිමත් දෙමව්පියන් ලෙස ඔබේ දරුවා පිළිබඳ පූර්ණ අවධානය ලබා දෙමින් , සියලු  මූලික ළමා අයිතිවාසිකම් සුරකිමින් ඔහු වැඩෙන තුරු වගකීම් සහගත වෙනු ඇතැයි අපේ බලාපොරොත්තුවයි.

Related Articles

Don't Miss


Latest Articles