“ඔයා අර පොඩි බබාට ළං වුණා වැඩියි අනේ”
පාරමී එසේ පැවසුවේ උපන්දින සාදයට පසු මුණ ගැසුණු පළමු සඳුදාවේ ය.රවිඳු නොකැමති දෑසින් ඇය දෙස බැලුවේ ය.නොලැබෙන සිහිනයක් පසුපස නොනවත්වාම ගමන් කරන ඇය රිදවාගන්නේ ඇයට පමණක් නොවන බව රවිඳු දැන සිටියේ ය.ඔහුට ද ඇගේ මේ බලාපොරොත්තුව නිසා රිදවා ගැනීමට සිදුවන බව සහතික ය.ඒ නොකැමැත්ත දෑස් මත තබා ගෙනම රවිඳු ඇය දෙස බැලුවා ය.
“පොඩි බබාට ළං වුණා වැඩී කියන්නේ.ඒ කිරි දරුවෙක්නෙ.කසාද බඳින්න බෑ.”
ඔහුගේ වදන් මත තැවරුණු කෝපය පාරමීට වැටහේ.ඇය කලබලයට පත් වූවා ය.
“නෑ.නෑ..ඔයා චූටි බබාලට හරි ආදරෙයි කියල මං දන්නව.ඒත් මං කිව්වෙ දිනාරා දුව ඉන්නෙ තාත්තෙක් නැතුව දුකින්.”
රවිඳු දෙතොල් මතට සරදම් සිනාවක් පැළැන්දේ ය.පාරමී දමනය කළ හැක්කේ ඒ සිනාවට ය.
“ඒ දරුවා ආස කරන සෙල්ලං බඩුවක් ගිහින් දුන්න පලියට මට ඒ බබාගෙ තාත්තා වෙන්න පුලුවන්ද? අනික පුංචි උන් ආදරේ වෙන්නෙ ආදරේ දුන්නම.ෆේස්බුක් දාන්න හිතන් සෙල්ෆි සීයක් විතර ගත්තට දරුවො ආදරේ වෙන් නෑ.”
පාරමී ඒ කතාව නෑසුණා සේ බිම බලා ගත්තා ය.නමුත් ඇය කතා කර අවසන් නැත.
“මම කියන්නේ රවිඳු බරපතල කාරණාවක්.ඒ බබා බලාගෙන හිටියේ තාත්ත එනකම්.තාත්තගේ ගේන්නං කියලා පොරොන්දු වුණු ගිෆ්ට් එකත් අරගෙන ගිහින් තිබ්බෙ ඔයා.එයා ඔයාට කේක් කපන්න පවා කතා කරේ තාත්තගේ තැනට ඔයාව අරගෙන.”
ඒ වචන අසා රවිඳු හඬනගා හිනැහී ය.
“තාත්තා කෙනෙක්ව රීප්ලේස් කරන්න පුලුවන්ද පාරමී එහෙම? ඕක ඔයා කොහොමටත් සෑහෙන්න වරද්ද ගන්න තැනක්.ඔයා හිතාගෙන ඉන්නේ ඕනෙම කෙනෙක්ට ජීවිතයට ඉක්මනින්ම රීප්ලේස් කරන්න පුළුවන් කියලා.එහෙම කරන්න බෑ කාවවත්.අම්මා තාත්තා තියා ආදරේ කරපු කෙනෙක්ගේ තැනක් ගන්නවත් ලේසියෙන් කෙනෙකුට අමාරුයි.”
ඔහු ඒ කියන්නේ තමන්ට බව පාරමී දැන සිටියා ය.ඒකපාර්ශවික ප්‍ර්‍රේමය මෙසේ ගිලිහී යාම ඇයට සැබෑවටම දරා ගැනීමට අපහසු ය.ඇය එතනින් නැඟී සිටියේ රිදවා ගත් හදවතිනි.
“අපි කවුරු කවුරුත් එක එක දේවල් අහිමි වෙච්ච මිනිස්සු පාරමී.හැබැයි අපි කාටත් වඩා අහිමි වීමක ඉන්නේ දිනාරා බබා.දරුවෙකුට නොතේරුම් වයසෙදිම තාත්තා අහිමිවෙනවා තරම් වේදනාවක් නෑ.ආදරේ දැනෙන තැනකට ඉක්මනට කිට්ටු උනාට තාත්තෙක් වෙන්න එහෙම ලේසියකට බෑ කියලා දරුවා දවසක තේරුම් ගනී.එතකං එයා එයාට ආදරේ දෙන තැන් වලට කිට්ටු වෙනවා.අපි එක මහලොකු දේවල් විදියට ගන්න නරකයි.”
පාරමී ඒ ගැන වැඩිදුර සිතන්නට නොගියා ය.ඇයට හිමාෂා ගැන බිඳුවකුදු සැක නොවේ.කොහොමටත් නැවත විවාහයක් තරයේම ප්‍රතික්ෂේප කරන ඇය රවිඳුට බැඳෙන්නට ඉඩක් නොවේ.නමුත් රවිඳු ඇයට බැඳේ දැයි හිමාෂාට ඇත්තේ බියකි.ඇය ඒ බියෙන් ආතුරව ගියා ය.
“ඒ ගැන කිසිම නරක දෙයක් හිමාට කියන්න තරම් මෝඩ වෙන්න එපා පාරමි.අම්මා කෙනෙක් හැටියට ඊයේ හිමා අසරණ වුණු විදියට මං ආසම නෑ.සහන්ට හිතන්න තිබුණා හිමා එහෙම අසරණ වෙයි කියලා.මොනවා කරන්නද? මිනිස්සු ලෝක දෙකක තනි වුණාම ඔහොම වෙනවා.”
රවිඳු පාරමීට පැවසුවේ අවධාරණයෙනි.තමන්ගේ සිතුවිලි හිමාෂාට හීන් සීරුවට හෙළි කරන්නට පෙර පාරමී එය අවුල් කර දමනවා දකින්නට ඔහුට නුවුමනා ය.