“මං ඔයත් එක්ක කතාබහ කරන්න පටන් ගත්තෙම පාරමී නිසා.ඇත්තටම අපිව ළං කරේ පාරමී.”
හිමාෂා එසේ ආරම්භ කර තිබූ වට්ස් ඇප් පණිවිඩය රවිඳුට ආවේ රාත්‍රියේ ය.ඇය දවස පුරා මඳ සිනාවක් පෑම මිස කතාබහකට උනන්දු නොවූ බව ඔහුට සිහි වූයේ ද ඒ මොහොතේ ය.
“පාරමී ඉන්නේ ඔයාව මැරි කරන්න හැමදෙයක්ම ලෑස්ති කරන ගමන්.එයා දැන් ඉන්නේ එයාගේ හීන දිනා ගත්තු සන්තෝසෙන්.ඒ වගේ වෙලාවක එයාට මම ගැන දැනෙන්නෙ බයක් නම් හොඳ යාලුවෙක් විදිහට මම කරන්න ඕනේ ඔයාලගෙන් ටිකක් ඈතින් ඉන්න එක.වැඩිය කතාබහ නොකර ඉන්න මම තීරණය කරොත් ඒකට හේතුව ඒ දේ මිසක් ඔයාගෙන් මට වුණු වැරැද්දක් නෙමෙයි කියලා මතක තියාගන්න.”
ඒ වචන ලියා එවන්නට හිමාෂා බොහෝ වෙහෙසක් ගත්තා ය.ඇයට ඒවා ලියද්දි ඇතිවූ රිදුම තරමටම රිදුමක් එය කියවද්දී රවිඳුට ඇති වූයේ ය.
ආදරය පවසන්නටත් පෙර අවසන් වීම තරමේ රිදුමක් තවත් නොවේ! හිමාෂා සිටියේ ඒ රිදීම විඳ ගනිමිනි.
“ඔයා ඉන්නේ ලොකු පටලැවීමක හිමා.පැටලැවිල්ල මොකක්ද කියලා මම දැනගෙන හිටියත් අද දවසේ ඔයාට ඒක කියන්න බැරි උනාට මට සමාවෙන්න.”
රවිඳු එසේ ලියා යැව්වත් හිමාෂාගෙන් කිසිදු පිළිතුරක් නොලැබිණි.පාරමී ඇගේ ගෞරවය ගැන නො සිතන තරමටම හිමාෂා තමන්ගේ ගෞරවය ගැන සැලකිලිමත් බව රවිඳු හොඳින්ම දනියි.වටිනාකමක් නොලැබෙන තැනක විවිධ අපවාද අසමින් රැඳෙන්නට ඇයට උවමනාවක් නැති බව ඔහු සිතී ය.තමන්ට ගෞරවයක් නොලැබෙන විවාහයකින් පවා නික්ම ආ හිමාෂාට මිත්‍රත්වයකින් ඉවත් වීම පහසු දෙයකි.නමුත් ඇගේ මිත්‍රත්වය අහිමි කරගන්නට ඔහුට උවමනා වූයේ නැත.
රවිඳු ගෙමිදුල පුරා සක්මන් කරන්නට වූයේ නොසන්සුන්ව ය.අයියාගේ රිය මිදුලේ නවත්වන තුරු ම ඔහු එහෙමෙහෙ ඇවිදිමින් මානසික පීඩාව පිට කරන්නට වූයේ ය.සෑම රාත්‍රියකම අම්මා තාත්තා දකින්නට පැමිණීම නිවසට මෑතකින් ඉදිකරගත් නිවසක වෙසෙන අයියගෙ සිරිතකි.රවිඳු හිස ඔසවා කාරය දෙස බැලුවේ ය. කලනි හෝ කුඩා පුතු එහි නොවේ.කලනි අක්කා නොමැති නිසාම හදවතේ ඇති වේදනාව අයියා සමඟ බෙදාගන්නා හදිසි සිතුවිල්ලක් රවිඳුට ඇති විණ.
“මොකද අවුල? ආයෙ මොකක් හරි ප්‍රශ්නයක්ද?”
සහෝදරයකුට අනෙකා කියවා ගැනීම ඉතා පහසු කාර්යයකි.දුමිඳු එක් බැල්මකින් මල්ලිගේ නොසන්සුන් බව කියවා ගත්තේ ය.නමුත් මෙවැනි බොහෝ අවස්ථාවන්වල දී රවිඳු ඒවාට පිළිතුරු නොදෙන බවද ඔහු දැන සිටියේ ය.එනිසා දුමිඳු ඇසුවේ උත්තරයක් උවමනා ප්‍රශ්නයක් නොවේ.ඔහුට අවශ්‍ය වූයේ මල්ලිගේ නොසන්සුන් බව වටහාගත් බව හෙළි කිරීම පමණි.
“ඔව්.සෑහෙන ලොකු ප්‍රශ්නයක්. අනේ මට උදව් කරනවාකෝ අයියා.”
මේ හඬ කුඩා කාලයේදී බෝලයක් වද්දා ජනේල වීදුරුවක් බිඳ දැමූ කුඩා පිරිමි දරුවාගේ හඬට සමාන බව දුමිඳුට සිතිණ.ඒ කාලයෙන් පසු මල්ලි තමන්ගේ උදව් ඉල්ලා නැත.නමුත් ඔහු උදවු පතන්නේ නම් ඔහුට ඕනෑම මොහොතක උදව් කරන්නට දුමිඳු කැමැත්තෙන් පසු වෙයි.ඒ බව දෑස් බැල්මකින් හැඟවූ ඔහු රවිඳු දෙස බලා සිටියේ ය.දැන් රවිඳුට ඇත්තේ කතා කරන්නට ය.
“අර ඔෆිස් එකේ කෙල්ලක්.මට කැමතියි කියලා ගෙදරට කියපු එක මහා විනාසයක් හලෝ.”
ඒ කතාව කලනි හරහා දුමිඳු දැන සිටියේ ය.රවිඳු සමග කිසිත් සම්බන්ධයක් නැති තරුණියක් එවැනි උගුලක් අටවා ඇති බව කලනි පැවසූයේ අප්‍රසාදයෙනි.ඒ කතාබහ සිහිවී දුමිඳුට නැඟුණේ උස් සිනාවකි.නමුත් අම්මා ඒ හඬ අසා පැමිණිය හැකි බව සිතූ ඔහු වහා සිනාව හකුළා ගත්තේ ය.රවිඳු අයියා දෙස බලා සිටියේ නොරිස්සුමෙන් ය.
මේ සිනාවිය යුතු කතාවක් නොවේ!